කුරුඳු වගාව ගැන දන්න නොදන්න දේවල්

දැන් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තේ, පොල්, රබර් වුණාට, ඉස්සර ඒ කියන්නේ 16, 17 සියවස්වල ලංකාවේ ප්‍රධනතම අපනයන භෝගය වුණේ කුරුඳුයි. අපි අද ඒ කුරුඳු වගාවේ ඉතිහාසය සහ කුරුඳු ගැන විස්තර ටිකක් හොයා බලමු. 

 

1. කුරුඳු ගැන 

ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ වෙනත් රටවලත් කෑම පිළියෙළ කිරීමේදී බහුලව යොදා ගන්න කුළුබඩුවක් තමයි කුරුඳු. ඒ විතරක්ම නෙමෙයි, කුරුඳු කියන්නේ රෝග රැසකටත් ප්‍රබල ඔෟෂධයක්. කුරුඳු සදාහරිත, බහු වාර්ෂික භෝගයක් වන අතර එය ලොරේසියේ කුලයට අයත් වෙනවා. සිනමෝමම් වේරම් තමයි එහි විද්‍යාත්මක නාමය වන්නේ. ලංකාව ඇරුණම ඉන්දුනීසියාව, චීනය, වියට්නාමය වැනි නැගෙනහිර ආසියාතික රටවල් කුරුඳු වගා කළත් හොඳම කුරුඳු තියෙන්නේ ලංකාවේ කියලා තමයි කියන්නේ. මේ කුරුඳු පොතු ආහාර රසකරන කුළු බඩුවක් විදියටත්, අතුරුපස වර්ග වල රසකාරකයක් විදියටත් පාවිච්චි කරනවා. 

 

2. ආරම්භය හා ඓතිහාසික සිදුවීම්

 

 

ඈත අතීතයේ පටන්ම කුරුඳු මිනිස්‌ පරිභෝජනයට සුදුසු භෝගයක්‌ ලෙසින් හඳුනාගෙන තිබූ බවට සාධක රැසක් තියෙනවා. කුරුඳු වගාව ආරම්භ වුණේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බවට සාක්ෂි තිබ්බත් දැනට ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, මාතලේ, බදුල්ල, මහනුවර යන දිස්ත්‍රික්ක වලත් මේ කුරුඳු බහුලව ව්‍යාප්තව තියෙනවා. ක්‍රි.ව. 1273-1284 කාලයේ ලංකාව පාලනය කරපු පළමුවැනි බුවනෙකබාහු රජතුමා විදේශ සබඳතාවක් ඇති කරගන්න ඊජිප්තුවේ සුල්තාන් රජු සමග වෙළෙඳ ගිවිසුමක්‌ අත්සන් කළ අතර ඒ ගිවිසුමේ ප්‍රධාන අපනයන භෝගය වූයේත් කුරුඳුයි. මෙරට කුරුඳු වෙළෙඳාම අරාබි ජාතිකයින්ගේ ආධිපත්‍යයට නතුකරගෙන තිබුණු බවටත් සාක්ෂි ඉතිහාසයේ සඳහන් වනවා, කිරින්ද, හම්බන්තොට ආදී වරායන් ආශ්‍රිතව අරාබි කාසි හා වෙනත් අවශේෂ හමුව තිබීමත් කුරුඳු වගාව අතීතයේ හොඳම අපනයන භෝගයක් වුණු බවට හොඳ සාක්ෂි වනවා.

 

3. කුරුඳු ප්‍රභේද

ශ්‍රී ලංකාවේ දැනට කුරුඳු විශේෂ අටක් පමණ හොයාගෙන තියෙනවා. අටක් දක්නට තිබ්බත් ගොඩාක්ම වැඩි වශයෙන් වගාකරන්නේ එක් වර්ගයක් පමණයි. ඒ සිනමෝමම් වේරම් කියන සාමාන්‍ය කුරුඳු වර්ගයයි. අනෙක් ඒවා මෙහි එතරම් වගා කරන්නේ නෑ. ඒවා වල් කුරුඳු ලෙසයි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ. ඒ වල් කුරුඳු ගොඩාක් කඳු ආශ්‍රිත ප්‍රදේශ වල තියෙන්නේ. ලංකාවේ නකල්ස් කඳු, හපුතලේ වගේම සිංහරාජ වනාන්තරය අවටත් මේ වල් කුරුඳු දැකගන්න පුළුවන් . 

 

4. දේශගුණය හා පස

කුරුඳු කියන්නේ නිවර්තන ශාකයක්. ඒ කියන්නේ උෂ්ණය තරමක් තියෙන රටවල් වල වැවෙන ශාකයක්. ශ්‍රී ලංකාවේ තෙත් කළාපයේ තමයි ගොඩාක් කුරුඳු වගා කරන්නේ. ඒ වගේම වෙනත් අතරමැදි කළාප ප්‍රදේශවලත් කුරුඳු වගාව තියෙනවා. බොරළු සහිත ලැටරිටික් පස කුරුඳු වගාකිරීම සඳහා ගොඩාක් සුදුසුයි කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් කුරුඳු වගාවට පසේ PH අගය 4.5 සිට 5.5 දක්වා වෙන්න ඕනේ. ඒ වගේම ජලය බැසයන ප්‍රදේශයක් වෙන්නත් ඕනේ . වර්ෂාපතනය 1875mm ත් 3750mm ත් අතර පරාසය මේ කුරුඳු වගාවට ගොඩාක් යෝග්‍යයි. ලංකාවේ වියළි කළාපයේ කුරුඳු හොඳින් වගා කරන්න අපහසුයි.

 

5. හානි 

කුරුඳු වගාවට ගොඩාක් පළිබෝධ හානි නැති වුණත් ගොඩාක් වෙලාවට ගොඩක් ප්‍රදේශවල කෘමීන් නිසා අස්වැන්නට බලපෑම් සිද්ධ වෙනවා. කුරුඳු කඳ විදින කුඩා සළඹයාගෙන් ගොඩාක් දුරට මේ කුරුඳු වගාවට හානි වෙනවා. කුරුඳු රිකිලි විදින ගුල්ලා (ඇල්සිපන්ක්ලෝසස්), පැළ මැක්කන් වගේ ගොඩාක් කෘමීන්ගෙන් මේ කුරුඳු පැළ පීඩා විඳිනවා. ඒ වගේම ෆෝමොප්සිස් විශේෂයට අයත් දිලීරයක් මගින් මේ කුරුඳු පොත්ත රළුවීමේ රෝගය ඇතිවෙනවා. ගොඩාක් ශාක මුහුණ දෙන කොළ අංගමාරයටත් මේ කුරුඳු වගාව ගොදුරු වෙනවා. කළුපිටි පුස් රෝගයත් මේ ශාකය මුහුණ දෙන තවත් ගැටළුවක්…

 

6. ඖෂධීය ගුණය

කුරුඳු කියන්නේ අතීතයේ පටන් භාවිතා වූ කුළුබඩුවක් පමණක් නොව කුරුඳු කියන්නේ වටිනා ඖෂධයක්ද වනවා. කුරුඳු වල ප්‍රතිඔක්සිකාරක ගුණය ගොඩාක් තියෙනවා. මේ කුරුඳු මී පැණිත් එක්ක එකතු කරලා හදන බෙහෙත බොනවනම් ලෙඩ ගොඩාක් අඩුවෙනවා. 

කොලෙස්ටරෝල්, සෙම්ප්‍රතිශ්‍යාව, උදරයේ ඇතිවන අබාධ, පිළිකා, හිසකෙස් වැටීම පාලනය කරන්න මේ කුරුඳු ගොඩාක් වැදගත්. ඒ විතරක් නෙමෙයි, මේ කාලයේ අපිට අවශ්‍ය ප්‍රතිශක්තිකරණයත් ගොඩාක් මේ කුරුඳු වලින් ලැබෙනවා. කුරුළෑ ආසාදන සමනයට වගේම ශරීරයේ බර පාලනයටත් මේ කුරුඳු ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා 

 

7. විදේශ ආක්‍රමණ හමුවේ කුරුඳු වගාව

ලංකාව විදේශයන්ට යටත් වෙන්න එක අතකින් මේ කුරුඳුත් හේතුවක්. ලංකාවේ කුරුඳු වලට ලෝකේ හොඳ ඉල්ලුමක් තිබ්බා. ලන්දේසීන් මඩකලපුව අල්ලා ගනිද්දි මඩකලපුවේ කුළුබඩු පිරවූ ගබඩාවක් ඔවුන් විසින් සොයාගනු ලැබුවා. 

උඩරට යුගයේ කුරුඳු තලන්නට යොදාගෙන තියෙන්නේ සලාගම කුලයේ උදවියවයි. සෑම සලාගම පිරිමි ළමයෙක්‌ම අවුරුදු 12 දී කුරුඳු තැලීම ආරම්භ කරන්න ඕනේ. ඒ එක්කම ඒ කාර්යය මහළු විය දක්‌වාම කළයුතුය කියලා නීතියකුත් ඒ කාලේ තිබිලා තියෙනවා. ඒත් ඒ කාර්යයට ඔවුන්ට හම්බුණේ ගොඩාක් අඩු පඩියක්. ඒ පොඩි සොච්චමෙනුත් තමන්ගේ බදුත් ගන්න තරම් ඉංග්‍රීසින් කුරිරු වුණා…

 

ඉතින් හැමදාමත් වගේ මේ ලිපියෙනුත් ඔයාලගේ දැනුමට ගොඩාක් දේවල් එකතු වුණා කියලා අපි හිතනවා. ඒ වගේම මේ තොරතුරු යාළුවොත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා…

 

 

ශශින් ප්‍රබෝද්