මෑත කාලයේ ඉන්දියාවට මුහුණ දෙන්න සිද්ධ වුණු විපත්

ඉන්දියාව කියන්නේ මහා අරුම පුදුම රටක්. මේ රටට ස්වභාව ධර්මයේ ආශීර්වාදය වගේම ඇතැම් අවස්ථාවල ස්වභාව ධර්මයේ ප්‍රචණ්ඩත්වයටත් මුහුණ දෙන්න සිද්ධ වෙනව. මේ දවස්වල අපි දකින්නේ සමස්ත ඉන්දියාවම ඒ ප්‍රචණ්ඩත්වයේ ගිලී යමින් තියෙන ආකාරය. මේක මහා කණගාටුදායක තත්ත්වයක්. අපි අද කතා කරන්න යන්නේ ඉන්දියාවට මෑත ඉතිහාසයේ මුහුණ දෙන්න සිද්ධ වුණු ස්වභාවික විපත් කීපයක් පිළිබඳව.

 

1. 2014 කාශ්මීර ජලගැලීම්

ඉන්දියාව හා පාකිස්ථානය නිදහස ලබාගැනීම කොතරම් ජයග්‍රහණයක් වුණත් මේ ජයග්‍රහණය එක්ක ලෝකයේ සුන්දරතම ප්‍රදේශයක් වන කාශ්මීරයට අසුන්දර කාලයක් උදාවුණා. ඒ  එම ප්‍රදේශයේ අයිතිය සඳහා රටවල් දෙකම උරුමකම් කියමින් අවි ගැටුම් වලට එළඹීමයි. ඒ අල්ලපනල්ලේ කාශ්මීරයට ස්වභාවික විපත් වලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. මෝසම් වැසි ඇද වැටීමත් සමගම කාශ්මීරයේ ප්‍රධාන ජල පෝෂකයක් වන ජේලම් නදියා උතුරා යෑමෙන් කාශ්මීරයේ ප්‍රධාන පෙළේ ජනාකීර්ණ ප්‍රදේශ අනතුරට පත් වුණා. ඉන්දීය රජයේ සහ හමුදාවල මැදිහත්වීම නිසා මරණ සංඛ්‍යාව 550කට සීමා වුණත් දේපළවලට සිදුවූ හානිය අති දැවැන්තයි.

 

 

2. 2013 උත්තරාඛන්ඩ් ජල ගැලුම්

මෙම ජල ගැලීම් කිසිසේත් අපේක්ෂා කළ ජලගැලීමක් නොවීම නිසා මෙහි විනාශකාරීකාරීත්වය දරුණු මට්ටමේ පැවතුණා. උත්තරාඛන්ඩ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයකටම බලපෑ මේ මහා දරුණු ගංවතුර තත්ත්වය සහ නායයෑම් නිසා හය දහසකට ආසන්න පිරිසකට දිවි අහිමි වුණා. එසේම සුප්‍රකට කේද්‍රනාත් පුදබිම තුළ බැතිමතුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගමනාගමන පද්ධතිය බිඳ වැටීම නිසා සිර වුණා.

 

 

3. 2007 බිහාර ජලගැලීම්

මෙම ජල ගැලීමේ ව්‍යසනකාරීත්වය කෙතරම් අති දැවැන්තදැයි කියතොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඉන්දියාව මුහුණ දුන් දැවැන්ත අභියෝගයක් ලෙස මෙම ජල ගැලීම හඳුන්වනු ලැබුවා. සංඛ්‍යාලේඛන වලට අනුව මිලියන දහයකට අධික ප්‍රමාණයක් මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්වූ අතර තිස් දහසකට ආසන්න නිවාස ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. පන් දාහකට ආසන්න ගම් ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පාහේ නැවත ගොඩ නැඟීමට සිදුවුණු අතර කෘෂිකර්මාන්තයට සිදු වූ විනාශය නොගිණිය හැකියි.

 

 

4. 2004 – ඉන්දීය සාගර සුනාමිය

මේ ස්වභාවික ව්‍යසනය පිළිබඳව ලංකාවේ අපට අමුතුවෙන් හඳුන්වන්න අවශ්‍ය නැහැයි කියලා අපි හිතනවා. ඉන්දුනීසියාවේ සුමාත්‍රාවේ බටහිර වෙරළ තීරයෙන් ඇරඹුණු මෙම අති දැවැන්ත සුනාමිය ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් දොළහකට කඩා වැදුණු අතර දෙලක්ෂයකට ආසන්න ජීවිත ප්‍රමාණයක් අහිමි කරනු ලැබුවා. කෙසේ නමුත් අනෙක් රටවල් වලට සාපේක්ෂව ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

 

 

5. 2001 ගුජරාට භූමිකම්පා

 

2001 වසරේ ඉන්දීය ජනරජ දිනය සමරන දා ගුජරාටයේ ඇතිවූ භූමිකම්පාව සමස්ත ඉන්දියාවම කම්පනයට ලක් කිරීමට සමත් වුණා. මිනිත්තු දෙකකට අධික කාලයක් පැවති මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.6 ත් 7.9 ත් අතර අගයක දෝලනය වුණා. මෙහි ප්‍රතිඵලය වූයේ 20,000කට අධික පිරිසකට ජීවිතය අහිමි වීම සහ 167,000කට අධික පිරිසක් තුවාල ලැබීමයි. එසේම ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයකට තමන්ගේ නිවාස අහිමි වුණා.

 

 

6. 1999 ඔඩීෂා සුළි කුණාටු 

පැයකට කිලෝමීටර් 260ක වේගයකින් පැමිණි මෙම සුළි කුණාටුව ඉන්දීය සාගරයේ උතුරු කොටසට බලපෑ අති දැවැන්තම සුළි කුණාටුව ලෙස හඳුන්වනු ලබනවා. මෙම සුළි කුණාටුවෙන් ඉන්දියාව පමණක් නොව අසල්වැසි බංග්ලාදේශය, මියන්මාරය සහ තායිලන්තය බැට කෑවා. නිවාස  දෙලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ අහිමි වූ අතර මිලියන දෙකකට ආසන්න පිරිසකට උන්හිටි තැන් අහිමි වුණා. එසේම වාර්තා වලට අනුව පහළොස් දහසක පමණ ප්‍රමාණයක් මිය ගියා.

 

7. 2019 බිහාරයේ අධික උණුසුම් කාලගුණය

2019 වසරේදී මුළුමහත් ඉන්දියාව පුරාම අධික උෂ්ණත්වයක් සහිත  කාලගුණයක් පැවතුණා. තත්ත්වය වඩාත් දරුණු වූයේ දිගුකාලීන නියඟයත් සමඟ ජල උල්පත් සිඳී යාම නිසයි. මේ තත්ත්වය නිසා විවිධ ප්‍රාන්තවල මරණ වාර්තා වූ නමුත් බිහාර ප්‍රාන්තය තුළ එම මරණ සංඛ්‍යාව 180ක් පමණ වුණා. ප්‍රාන්තයේ අගනගරය වන පැට්නාහි දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ක් වැනි ඉහළ අගයක් ගත්තා. ප්‍රාන්ත රජය මගින් සියළු පාසල් වසා දැමුණු අතර ගොඩනැගිලි කර්මාන්තකරුවන්ට දහවල් එකොළහේ සිට හවස හතර දක්වා කාලය තුළ සේවය කිරීම තහනම් කිරීමටද කටයුතු කළා.

 

එහෙම නම් ඉතින් ඉන්දියාවට මුහුණ දෙන්න වෙච්ච ස්වභාවික ව්‍යසන වල ඉතිහාසය දැනගත්තා වගේම වර්තමානයේ ඉන්දියාව මුහුණ දීලා ස්වභාවික ව්‍යසනයෙන් ඉක්මනින් මිදෙන්න කියලා ආශීර්වාද කරන්න ඔබත් එක්වෙන්න. අසල්වැසියෝ විදිහට අපිට කරන්න පුළුවන් එකම දේ ඒකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *