ෆිල්ම් වල අපි දකින ඇත්තට ප්‍රායෝගික නොවෙන සීන් මේවා තමයි

ඇත්තටම ඉතින් ඔය පිචර් නැතිනම් බයිස්කෝප් නැතිනම් ෆිල්ම්ස් කියන්නේ ඉතින් දේව වාක්‍ය, බයිබලේ වගේ නෙවෙයි නෙව. ඒවලත් සමහර වෙලාවට කතාවේ හිල් තියෙනවා. ඒවලත් ඇත්ත ජීවිතේට මෙලෝ ප්‍රායෝගික තේරුමක් නැති මැන්ටල් වැඩ තියෙනවා. හැබැයි එහෙමයි කියලා අපි ෆිල්ම් නොබල ඉන්නවද? නෑනේ, නෑනේ. හැබැයි ඉතින් ඔය අපේ සමහරු රහස් ඔත්තුකාරයෙක් වෙන්න ආසාවේ රහස් ඔත්තු බලන වැඩ ඉගෙනගන්නේ ස්පයි ෆිල්ම්ස් වලින්. එතකොට ෂෙයාර් මාකට් එකේ ආයෝජනය කරලා සල්ලි හම්බුකරන විදිය ඉගෙන ගන්න යන්නේ ෂෙයාර් මාකට් එක ගැන, හෙජ් ෆන්ඩ්ස් ගැන එහෙම තියෙන ෆිල්ම්ස් වලින්. ඉතින් පුළුවන්ද ගොඩ යන්න?

ආන්න ඒ නිසා අපි හිතුවා ෆිල්ම්ස් වල බහුලව දකින්න ලැබෙන, හැබැයි ඇත්ත ජීවිතේදී ප්‍රායෝගිකව සිද්ධ නොවෙන දේවල් ටිකක් ලිස්ට් එකකට ගන්න.

 

1. බුලට් කිසිදා ඉවර නොවේ

මතකද තෝර්: රග්නරොක් ෆිල්ම් එක? ඒකේ අන්තිමට අර දොරටුපාලක හාදයා නරක පැත්තෙන් හොඳ පැත්තට ඇවිල්ලා නොමළ මළවුන් සේනාව එක්ක ගේම ඉල්ලන්නේ M16A1 ඇසෝල්ට් රයිෆල් දෙකක් අත්දෙකට අරගෙන. ආයෙ වෙඩි තියාගෙන තියාගෙන යනවා කෑලි හැලෙන්නම. දැන් ඒක නෙවෙයි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් M16 රයිෆල් වල උපරිම බුලට් 30 ක මැගසින් තියෙනවා. හැබැයි M16A1 එකේ මැගසින් එකක සාමාන්‍යයෙන් එන බුලට් කැපෑසිටි එක බුලට් 20 යි. එතකොට කොහොමද ඕයි මේ යකා රීලෝඩ් කිරිල්ලක්වත් නැතුව විනාඩි දහයක් විතර වෙඩි තියන්නේ? ආයෙ වෙඩි සීයක් විතර තිබ්බට පස්සෙ තමයි බුලට් ඉවර වෙන්නේ?

ඇත්තටම ඉතින් මේ ඉවර වෙන්නෙ නැති බුලට් සීන් තව සෑහෙන්න ෆිල්ම්ස් වල අපි දකිනවා!

 

2. හාට් එක නැවතිලා!

මෙන්න මේක නං අපිට ෆිල්ම්ස් වල සෑහෙන්න පුරුදු සිද්ධියක්. ඔන්න ෆිල්ම් එකේ එකෙක් මැරෙන්න යනවා. පොරගෙ හාට් එකත් නැවතිලා, කෙලින්ම ෆ්ලැට්ලයින් වෙලා තියෙන්නේ. ආන්න එතකොට වීරයා උස්සගෙන එනවා අර ඩීෆිබ්‍රිලේටර් කියලා කියන හාට් එකට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් යවන ගැජට් එක. ඊට පස්සේ ඒකේ ආම්ස් දෙක මැරෙන්න යන එකාගේ පපුවට තියලා “ක්ලියර්” කියපු ගමන් ඩීෆිබ් එක ඔන් කරලා ෂොක් එකක් යවනවා. අර ෆ්ලැට්ලයින් වුණු එකා මේං උත්ථානය වෙනවා!

හැබැයි ෆිල්ම්ස් වල මේ ඩීෆිබ්‍රිලේටර් පාවිච්චි කරන විදිය වැරදියි කියලා සෑහෙන්න ඩොක්ටර්ස්ලා ලියලා තියෙනවා අන්තර්ජාලේ. පළවෙනි එක, ඩීෆිබ් කරනකොට එහෙම ඇඳුම් උඩින්ම ඔහේ ඩීෆිබ්‍රිලේටර් එකේ ආම්ස් තියලා ඒක ක්‍රියාත්මක කරන්න බෑලු. ඒකට ප්‍රොසෙස් එකක් තියෙනවා. අනික ෆුල් ෆ්ලැට්ලයින් වෙලා ඉන්න එකෙක්ව “ඩීෆිබ්‍රිලේටර්” එකකින් ආයෙ ගොඩගන්න බෑ!

 

3. වෙඩි තියලා ඉවරයි, ක්ලිප් එක?

දැන් ඔය ෆිල්ම්ස් වල වීරයා හිටු කියලා වෙඩි තියනවනේ. එක්කෝ පිස්තෝලෙකින් නැත්තං රයිෆල් එකකින් වෙඩි තියන්නේ. එහෙම වෙඩි තියාගෙන යනකොට ගන් එකේ බුලට්ස් ඉවර වෙනවනේ. ආන්න එතකොට සිං ගාලා මැගසින් එක රිලීස් කළා, අලුතින් මැගසින් එකක් ගැහුවා, ලෝඩ් කළා, ආයෙ පට පට ගාලා වෙඩි තියන්න පටන් ගත්තා. එතකොට අර හිස් මැගසින් එක? ආ ඒක බිම වැටෙනවා. ආයෙ මොන ෆිල්ම් එකකවත් අපි දැකලා තියෙනවද එම්ටි මැගසින් එකතු කර කර ඉන්න වීරයෝ?

හැබැයි ඉතින් ප්‍රශ්නේ මේකයි. ඔය සාමාන්‍යම පිස්තෝලෙක මැගසින් එකක් වුණත් අඩුම ගාණේ ඩොලර් විස්සක්, තිහක්, හතළිහක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් වලින් බැලුවොත් 4000-8000 ත් අතරේ ගාණක්. ඉතින් ඕයි එච්චර ගාණක මැගසින් එකක් එහෙම බිම අතෑරලා එන්න තමුසෙලට පිස්සුද ඕයි?

 

4. බායි නෑ

සාමාන්‍යයෙන් අපි ෆෝන් එකකින් කතා කරන්නේ කොහොමද? කොහොම කතා කළත් අපේ සංවාදය අවසන් කරන්නෙ කොහොමද? බායි කියල නෙවෙයිද? එහෙම නැතිනම් කෙනෙක් බුදු සරණයි, ගෝඩ් බ්ලෙස් වගේ දෙයක් කියන්න පුළුවන්. ඇත්තටම හෙලෝ කියන එක වගේම බායි කියන එකත් දැන් අපේ කටට සම්පූර්ණයෙන්ම හුරුවෙලා තියෙන දෙයක්, ටෙලිෆෝන් එක්ක. හැබැයි ඉතින් ඔය ගොඩක් ෆිල්ම්ස් වල දැකල තියෙනවද බායි කියලා හරි එහෙම නැතිනං අඩුම තරමින් බුදු සරණයි කියලා හරි ෆෝන් එක තියනවා? නෑ නේද?

 

5. ඕන පෙන් එකක් ගහනවා

සාමාන්‍යයෙන් අපි කොයි තරම් බයද නොදන්න පෙන් එකක් අපේ මැෂින් එකකට ගහන්න? ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නේ පෙන් එකකින් වෙනත් මැෂින් වලට යන්න පුළුවන් වෛරස් වගේ අනවශ්‍ය මැල්වෙයාර්. ඒ හින්දම පෙන් එකක් ගැහුවට පස්සේ අපි පොඩ්ඩක් ආරක්ෂාකාරීව, වෛරස් ගාඩ් එකෙන් ස්කෑන් කරලා එහෙම තමයි ඒක ඕපන් කරන්නේ. අන්න ඒකට ෆිල්ම්ස් වල ඉන්න උන්දැලා! ආයෙ කෙලින්ම රාජ්‍ය රහස් තියෙන, ජාතික ආරක්ෂාවට අදාළ වෙන නෙට්වර්ක් එකකට වුණත් ඕන ගස්ලබ්බෙක් දෙන පෙන් එකක් ගහලා දානවා. ඔන්න ඉතින් ඒකේ තියෙන මැල්වෙයාර් එකකින් මේ ආරක්ෂිත නෙට්වර්ක් එකට ඇතුළු වෙන හැකර් අයියලා හිටු කියලා අර සංවේදී දත්ත හොරකං කරනවා. අඩුමගාණේ එහෙම ෂුවර් නැති පෙන් එකක් වගේ උපාංගයක් ගහලා බලන්න ඔය ආරක්ෂිත නෙට්වර්ක් වලට සම්බන්ධ නැති කම්පියුටරයක් තෝරගන්නවත් මුන්ට මොළේ නැද්ද අම්මපා?

 

6. ප්ලෑන කියලම මරණවා!

මේක ඉතින් ප්‍රායෝගික නොවෙන සීන් එකකටත් වඩා හෙනම මෝඩ වැඩක් තමයි. ඔන්න අපි කියමු අපි තමයි ෆිල්ම් එකේ දුෂ්ටයා. එහෙම නැතිනම් වීරයා. දැන් අපිට අපේ ප්‍රතිවාදියව අහුවෙනවා. දැන් අපි ඌව මරන්න යන්නේ. සාමාන්‍යයෙන් ෆිල්ම් එකේ දුෂ්ටයා කරන්නේ අර වීරයට පිස්තෝලෙත් දික් කරගෙනම තමන්ගේ සම්පූර්ණ දුෂ්ට ප්ලෑන් එක කියන එක. එහෙම ප්ලෑන් එක කියන්න පැය බාගයක් විතර යන අතරේ, වීරයා හොරෙන්ම අත් බැඳලා තිබ්බ ලණුව ලෙහාගෙන. ඉතින් ඔන්න දුෂ්ටයට සඳ ගුටි. වීරයා දිනනවා. ඕකෙම අනික් පැත්තත් වෙනවා. දුෂ්ටයා පරාජය වෙලා, ඌව මරන්නම වෙනවා. හැබැයි වීරයා තුවක්කුවත් දික් කරගෙන දුෂ්ටයට හෙනම දේශනාවක් දෙනවා. ආයෙ සිත නිවන කතා වගේ. ඒක යන අවුවස්සේ ඔන්න දුෂ්ටයගේ ගැන්සිය ඇවිත් වීරයට වෙඩි තියන්න පටන් ගන්නවා. දුෂ්ටයා බේරිලා පැනලා යනවා.

ඉතින් මොකෙක්ට හරි වෙඩි තියන්න ඕන නං දේශනා තිය තියා ඉන්නෙ නැතුව වෙඩි තියන්නනේ තියෙන්නේ! අහවරයිනේ කතාව!!

 

7. වීදුරු කඩාගෙන එන්නේ!

අපි දැන් කොයි තරම් ෆිල්ම්ස් වල දැකලා තියෙනවද වීරයා වීදුරු කඩාගෙන එන සීන්? ඒ කියන්නේ ඔය ගෙදරක ජනේලෙට දාලා තියෙන ප්ලේට් වීදුරු, ෂෝරූම් වල එහෙම දාලා තියෙන වීදුරු වගේ ඕනම වීදුරුවක් කඩාගෙන ආයෙ වීරයා එනවා. සමහර වෙලාවට දුෂ්ටයාව වීරයා විසින් විසික්කා කරලා දාන්නෙත් අර කියපු විදියේ වීදුරුවක් කඩාගෙන තමයි. හැබැයි ප්‍රශ්නේ මේකයි. මෙහෙම වීදුරු කඩාගෙන එන පොරගේ ඕන නං කටෙන් පොඩ්ඩක් ලේ එනවා වගේ සීන් එකක් තිබුණත්, වීදුරු කඩාගෙන බිඳගෙන ආපු නිසා සිද්ධ වුණු කැපීම් එහෙම නං ඇත්තෙම නෑ!

 

හැබැයි ඉතින් එහෙම වීදුරු කඩාගෙන එන්න ඇත්ත ජීවිතේදී ට්‍රයි කළොත් එහෙම නතර වෙන්න සිද්ධ වෙන්නේ වීදුරු වලට කැපුම් බර තොගයක් එක්ක තමයි!

 

දැන් එතකොට ඇයි දැන දැනම ෆිල්ම්ස් වල මේ වගේ ප්‍රායෝගික නැති දේවල් වෙන්නේ? ඒකට ඉතින් හේතු තියෙනවා. එකක් තමයි ෆිල්ම් එක හදන මිනිහා හොඳ රිසර්ච් එකක් කරන්නෙ නැතුව ඔහේ ෆිල්ම් කරන්න යන එක. හැබැයි සමහර දේවල් ෆිල්ම් එක ලස්සන වෙන්න, ආතල් වෙන්න ඕන නිසාත් එකතු කරන අවස්ථා තියෙනවා!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *