සාමාන්‍යයෙන් අපි ෂොපින් ගියහම එහෙම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නේ ඕන දේයි එපා දේයි ගන්න එකෙන් වළකින එකනේ. මොකද, ඔය ලස්සනට බඩු අහුරලා තියෙන සුපර් මාකට් එකකට, සුපර් මෝල් එකකට එහෙම ගියහම ආයෙ කඩේම ගෙදර අරගෙන එන්න තමයි හිතෙන්නේ. හැබැයි ඔය අතරේ තියෙනවා අපිට දැක්ක ගමන් ලේසියකට ගන්න නොහිතෙන සමහර දේවලුත්. ඒ කියන්නේ දැක්කත් අපි ගන්න උනන්දු නොවෙන දේවල්. ඒකට එක්කෝ හේතුව වෙන්නේ ඒකේ තියෙන ප්‍රායෝගික අවශ්‍යතාවය හරි ප්‍රායෝගික වටිනාකම හරි අපිට නොතේරෙන එක. එහෙම නැතිනම් හේතුව වෙන්නේ ඒකෙන් කරන්නේ මොකද්ද කියලා අපි නොදන්න එක.
කොහොම වුණත් අපි ලිස්ට් එකක් හදන්න හිතුවා ඒ විදියේ දැක්ක ගමන් ගන්න හිතෙන්නෙ නැති, ඒත් අරගෙන තියාගන්න එක කිසිසේත්ම පාඩුවක් නොවෙන බඩු ටිකක්. මොකද, මේක කියවලා ඊලඟ දවසේ ඒවා ගන්න අහුවුණොත්, දෙපාරක් නොහිතා ගන්න පුළුවන් වෙන නිසා.
1. පිට කසන අතක්
මේක ඇත්තටම ගන්න සුපර් මාකට් යන්න ඕන නෑ. කොටුවේ ඇවිදගෙන යනකොට ඔය බිම තියාගෙන එහෙම පොඩි පොඩි සුකුරුත්තම් අයිටම්ස් විකුණන තැන් වල වුණත් මේක ගන්න තියෙනවා. මේක බැලූ බැල්මට පෙනුමෙන් ඇලුමිනියම් බටයක්. හැබැයි එක කොණක ප්ලාස්ටික් බෝලයක් තියෙනවා. අනික් කොණේ තියෙන්නේ ප්ලාස්ටික් වලින් හදපු, හරිම අපූරු, පුංචි මිනිස් අතක් වගේ එකක්. ඇත්තටම මිනිස් අතක් වගේ කියනවට වඩා රේක්කෙක නැතිනම් මුල්ලුවක දැති වගේ හදලා තියෙන එකක්.
දැන් මේකේ ප්‍රයෝජනේ මොකද්ද? ඔන්න අපි ගෙදර ඉන්නවා. හිටපු ගමන් පිට කසන්න පටන් ගන්නවා. අපිට අත කරකවලා පිටිපස්සට කරලා කසාගන්න පුළුවන් තැනකුත් නෙවෙයි. පිට කසලා දෙන්න කියලා ඉල්ලන්න කෙනෙකුත් නෑ. එතකොට කරන්න වෙන්නේ හිටපු තැනින් නැගිටලා ගිහින් බිත්තියක දාරෙක හරි, දොරේ දාරෙක හරි ඇතිල්ලෙන්න. හැබැයි මේ ගැජට් එක අත දිග මානේ තියෙනවා නම් එච්චර කරදර වෙන්න ඕන නෑ. පිට කසනවද? මේ ගැජට් එකෙන් පහසුවෙන් පිට කසා ගන්න!
2. පෙන් එක ෆෝන් එකට ගහන්න ඇඩැප්ටරයක්
දැන් කාලේ අපි කම්පියුටර් එක වගේම අපේ ෆෝන් එකත් එදිනෙදා වැඩ වලට හරිහරියට පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට කිවුවොත්, සමහරු ෆිල්ම්ස් බලන්නේ තමන්ගේ ස්මාට්ෆෝන් එකෙන්. ඒකට කම්පියුටර් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම්ස් ස්මාට්ෆෝන් එකට දාගන්නවා. ඒ වගේම සමහරු තමන්ගේ ස්මාට්ෆෝන් එකෙන් ෆොටෝස් ගන්නවා. ඊට පස්සේ ඒ ගත්තු ෆොටෝස් කම්පියුටර් එකේ සේව් කරනවා. මේ වගේ ගොඩක් වැඩ වලදී ඇත්තටම අපිට ස්මාට්ෆෝන් එකයි කම්පියුටර් එකයි සම්බන්ධ කරන්න වෙනවා. ඇත්තටම මේක ටිකක් විතර කරදරකාරී වැඩක්. මොකද දැන් තියෙන නවීනතම ස්මාට්ෆෝන් වුණත්, කම්පියුටර් එකට හයි කළාට පස්සේ එක එක සෙටින්ග්ස් ඔස්සේ ගිහින් තමයි පස්සේ අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පෙන් එකක් ගහන්න පුළුවන් නම් ලේසි නැද්ද?
ආන්න ඒ වැඩේට තමයි මේ ගැජට් එක ප්‍රයෝජනවත් වෙන්නේ. ඇත්තටම මේක OTG ඇඩැප්ටර් එකක්. ඒ කියන්නේ අපි මේ ඇඩැප්ටරේ ෆෝන් එකට ගහලා, ඊට පස්සේ ඇඩැප්ටරේට අපේ තියෙන සාමාන්‍ය පෙන් එකක් ගහලා අවශ්‍ය වැඩේ කරගන්නවා. ආයෙ වෙනම ෆෝන් එකට ගහන්න පුළුවන් OTG පෙන් හොය හොයා ඉන්න අවශ්‍යතාවයක් නෑ!
3. ඔළුව මසාජ් කරන ගැජට් එකක්
මෙන්න මේක නම් ගොඩක් දෙනෙක් දැකලා ඇති, ඒත් ඒකෙන් ගන්න ප්‍රයෝජනේ මොකද්ද කියලා හරිහැටි අවබෝධයක් නැති නිසා ගණන් ගන්නෙ නැතිව ගිහින් තියෙන ගැජට් එකක්. මේක නිකම් අර ඔළුවට හයි වෙන්න පුළුවන් හැඩේකට හදපු, අග බොහොම කුඩා වානේ බෝල ටිකක් තියෙන වානේ කූරු ටිකක් වගේ. මේක ඇත්තටම ඔළුව මසාජ් කරන්න හදපු ගැජට් එකක්. මේක ඔළුවට තිබ්බත් දිව්‍යලෝක සනීපයි. ඇත්තටම මේක ඔළුව හොඳට මසාජ් කරන්න, ඔළුවේ ලේ ගමනාගමය කාර්යක්ෂම කරන්න එහෙම සෑහෙන්න වටින ගැජට් එකක්.
4. වැසිකිළි පිරිසිදු කරන කැට
අපි ගෙවල් වල තියෙන බාත්රූම් වල ගොඩක් වෙලාවට දැන් කාලේ පාවිච්චි කරන්නේ අර වාඩි වෙලා ශරීර කෘත්‍යය කරන්න පුළුවන් ඇමරිකානු කොමඩ් නේ. ඒවා ඉතින් හොඳට පිරිසිදුව තියාගන්නත් ඕන. මොකද, අපි පිට කරන මළපහ මූත්‍රා නිසා බොහොම ලේසියෙන් මේ කොමෝඩ් පැල්ලම් ගැහෙන්න පටන් ගන්නවා. ආන්න ඒකට හොඳ උපකාරයක් තමයි මේ වතුරට දාලා තියන්න පුළුවන් විෂබීජ නාශක කැට. ඇත්තටම කොමඩ් එකට වතුර එන්න වතුර පිරෙන ටැංකියක් කොමඩ් එක පිටිපස්සෙන් තියෙන්නේ. අන්න ඒක පියන ඇරලා විවෘත කරන්න පුලුවනිනේ. අන්න එහෙම පියන ඇරලා ඒක පතුලට මේ කැටයක් දාන්න විතරයි තියෙන්නේ. දැන් සතියක් දෙකක් යනකල් කොමඩ් එක ෆ්ලෂ් කළහම එන වතුර නිල් පාටයි. ඒ වගේම අනවශ්‍ය පැල්ලම් ඇතිවීම, දුර්ගන්ධය ඇති වීම එහෙමත් අවමයි.
5. සින්ක් එකේ කුණු රඳවනයක්
සාමාන්‍යයෙන් අපේ ගෙදර කුස්සියේ සින්ක් එක කියන්නේ නිතරම පිරිසිදුව තියාගන්න ඕන තැනක්. මොකද කෑම බීම උයපු වළං වල ඉඳලා කෑම කාපු පිඟන් දක්වා දේවල් හෝදන්න අපි එන්නෙත් ඔතනටනේ. සාමාන්‍යයෙන් අපි සින්ක් එකකට ඉඳුල් අනං මනං හෝදලා අරින්නෙ නෑ. ඒවා වෙනම කුණු දාන එකකට දාලා තමයි වළං පිඟං හෝදන්නේ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපිට සියේට සීයක් සහතික වෙන්න බෑ මේ ඉඳුල් සහ කුණු ඔක්කොම කුණු එකට යනවාමයි කියලා. පිඟානක හෝ වළඳක තියෙන ළූණු පොතු කෑල්ලක් වුණත් අනිවාර්යයෙන්ම සින්ක් එක දිගේ පහළට යනවා. ඉතින් එහෙම වෙලා කාලෙකට පස්සේ බට බ්ලොක් වෙනවා.
ආන්න ඒ ප්‍රශ්නෙට හොඳ විසඳුමක් තමයි සින්ක් එක ඇතුළට දාලා තියන්න පුළුවන් පෙනේරයක් වගේ කුණු රඳවන. මේකෙන් වෙන්නේ කුඩා කුණු පවා රඳවගෙන, වතුර කාර්යක්ෂමව පෙරා හරින එක. අන්න එතකොට සින්ක් එකේ බට ඇතුළට පොඩ්ඩක්වත් කුණු ඉඳුල් යන්නෙ නෑ කියලා සහතික වෙන්න පුළුවන්!
6. කී ටැග්
කී ටැග් නං ආයෙ කොයි තරම් තියෙනවද? විශේෂයෙන්ම ඔය පාර දිගට තියෙන සුකුරුත්තං බඩු විකුණන කඩවල, පාරේ බිම තියාගෙන එක එක ෆැන්සි කෑලි බෑලි විකුණන තැන් වල වගේම ලොකු ලොකු කඩවල වුණත් අනිවාර්යයෙන්ම දකින්න ලැබෙන දෙයක් තමයි නොයෙකුත් විදියේ කීටැග්ස්. හැබැයි අපි කීටැග් එකක් ගන්න නොහිතන තරම්.
ඒත් මතක තියාගන්න, අපිට කීටැග් එකක් කොයි තරම් අගේද කියලා තේරෙන්න නම්, අපි කී ටැග් එකක් අරගෙන ඇවිල්ලා, ගෙදර දොරේ තියෙන අනං මනං යතුරු අරගෙන, එක් එක් යතුරු කාණ්ඩ කරලා වෙන වෙනම කීටැග් වලට අමුණලා ඕගනයිස් කරන්නම ඕන!
7. මොනිටර් කවර
දැන් ඔය අපි පාවිච්චි කරන ලැප්ටොප් තියෙනවනේ. ඒවල ස්ක්‍රීන් එක කෙලින්ම පහළට නවලා වහන්න පුළුවන්. හැබැයි හිතන්න අපේ ඩෙක්ස්ටොප් කම්පියුටර් වල ස්ක්‍රීන් එක හරි අමතර මොනිටර් එකක් හරි ගැන. ඒවා එහෙම පහළට නවන්න බෑ. ඒවා ඉතින් තියෙන විදියටම තියෙනවා. ඇත්තටම ඒකෙන් වෙන හානියකුත් නෑ. හැබැයි සාමාන්‍යයෙන් අපි මොනිටර් එක ඕෆ් කරලා ගියාට පස්සේ අත්දකින්න වෙන ප්‍රශ්නයක් තමයි, ඔය පුංචි සත්තු කැත කරපු පාරවල් මොනිටර් එක දිගට බේරිලා තියෙන එක. ඒක ඉතින් මේ හූනෝ වගේ පොඩි පොඩි සත්තු හිතලා කරන දෙයක්ද, නැතිනම් කලාතුරකින් වෙන අහම්බයක්ද දන්නෙ නෑ.
හැබැයි මේකට නොවරදින විසඳුම තමයි මොනිටරේ වැහෙන්න උඩින් දාන්න පුළුවන් මොනිටර් කවර් එකක් පාවිච්චි කරන එක. මොනිටරේට දූවිලි වදින ප්‍රශ්නෙත් ඒකෙන් විසඳෙනවා. මේ මොනිටර් කවර් එහෙමත් කම්පියුටර් කඩවල එහෙම තියෙනවා. අපි ගන්න හිතන්නෙ නැති වුණාට ප්‍රයෝජනවත්.
Leave a Reply