සාමාන්‍යයෙන් අපේ සමාජයේ වෛද්‍යවරු කියන්නේ බොහෝම යාන්ත්‍රික චරිත කියලා පිළිගැනීමක් තියෙනවා. ගොඩක් වෙලාවට මේක සිද්ධ වෙලා තියෙන්නේ ඇතැම් අවස්ථාවල ඉරිසියා සහගත ආකල්පයකින් කියලත් හිතන්න පුළුවන්. නමුත් අපේ රටේ වෛද්‍ය සේවය ගත්තොත් එහෙම කලාපයේ වගේම ලෝකයේම විශිෂ්ට වෛද්‍ය සේවයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි අද කතා කරන්න යන්නේ තමන්ට හුරු පුරුදු වෛද්‍ය වෘත්තියෙන් එහාට ගිහිල්ලා සාහිත්‍යකරණටත් පිවිසුණු වෛද්‍යවරුන් කීප දෙනෙක් පිළිබඳව.
1. බෝධිනී සමරතුංග
කොළඹ කේන්ද්‍ර කරගෙන අධ්‍යාපනය ලබපු බෝධිනී සමරතුංග වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා. එයින් පසුව නැවතත් සිය රට සියරට පැමිණීමෙන් පසුව ඇයට තමන්ගේ මූලිකම පත්වීම ලැබෙන්නේ යුද ගැටුම් ඇවිලුණු සමයක උතුරේ රෝහලකට. මෙහිදී භාෂාව ඇයට යම් අභියෝගයක් වෙනවා. නමුත් අවසානයේදී මේ සියළු අභියෝග ඇය සාර්ථකව ජය ගන්නවා. තමන්ට එහිදී මුහුණ දෙන්න සිදු වුණු අත්දැකීම් ඇය අවසානයේ පොතකට ගොනු කරනවා. ඒ තමයි “අනිත් කොන – a doctor’s heart sutra”. ඒ වගේම ඇය “මනුපුර සක්මන” නම් කාව්‍ය සංග්‍රහය හරහාත් තමන්ගේ ඒ අත්දැකීම් පාඨකයාට තිළිණ කරනවා. ඉන් පසුවත් ඇය තමන්ගේ අත්දැකීම් අළලා “සායනික සටහන් නොවේ” නමින් පොතක් ලියනවා.
2. නුවන් තොටවත්ත
නුවන් තොටවත්ත වඩාත් ප්‍රකට වුණේ කවියෙක් විදිහට. ඔහු මේ වෙද්දී “ප්‍රදීපාගාරයක හිඳ”, “හිණිපෙත පාමුල”, “ග්ලැසියරයක ප්‍රේමය”, “අකීකරු බිහිදොර” වැනි කාව්‍ය සංග්‍රහ කීපයක් නිකුත් කරන්න සමත් වෙලා තියෙනවා. ඉතා මෑතකදී ඔහු විසින් තවත් අපූරු වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ චිත්‍ර කතා ස්වරූපයෙන් දරුවන්ට විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක කරුණු සමීප කරවන්න. “බබාලා එන්නේ කොහේ ඉඳන්ද” සහ “බඩ ඇතුළට සවාරියක්” මේ කෘති පෙළට අයත් ජනප්‍රිය කෘති දෙකක්.
3. ධනුෂ්කා නිෂාදි කුලරත්න
ආයුර්වේද වෛද්‍යවරියක විදිහට සේවය කරන ධනුෂ්කා නිෂාදි කුලරත්න තමන්ගේ මුල්ම කාව්‍ය ග්‍රන්ථය විදිහට “සඳ මුදුව මැවෙන්නැති” නිකුත් කරනවා. එය ඉතාම ප්‍රශස්ත මට්ටමේ කාව්‍ය ග්‍රන්ථයක් වුණත් ඉන් පසුව වසර ගණනාවක් යනතුරුම නිහඬව ඉඳලා ඇය පසුගිය අවුරුද්දේදි ” ත්‍රිවේණි සංගමම්” නමින් නව කාව්‍ය සංග්‍රහයක් නිකුත් කරනවා. අවුරුදු පතා කතරගම යනවා වගේ කවි පොත් අච්චු ගස්සවන කවියෝ අනිවාර්යයෙන්ම මේ කවි පොත් දෙකම කියවිය යුතුයි කියලා අපි හිතනවා.
4. සුසිත රුවන්
සුසිත රුවන් පාඨකයන් අතර තරුවක් තරමට ජනප්‍රිය වූ වෛද්‍යවරයෙක්. ඔහුගේ “රාවණා මෙහෙයුම” අතිශයින් ජනප්‍රියත්වයට පත් වනවා. ඉන්පසුව ඔහු කෘති කීපයක් රචනා කිරීමට සමත් වූ අතර එම සෑම කෘතියකම පාහේ යම් යම් අත්හදා බැලීම් කිරීමට ඔහු උත්සාහ කොට තිබුණා. ඉන්පසු ඔහු ටෙලි නාට්‍ය තිර පිටපත් රචනයට සහ රඟපෑමටත් යොමු වෙලා තිබුණ බව දකින්න ලැබුණා.
5. අජිත් අමරසිංහ
විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලංකා ඉතිහාසය අධ්‍යයනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. ඒ ” ලක් ඉතිහාසයෙන් වසන් වුණු චීන මෙහෙයුම” නමින් අලකේශ්වර සමයේ සිදුවුණු චෙන් හෝ සෙනෙවියාගේ චීන ආක්‍රමණය පිළිබඳව මහත් පරිශ්‍රමයක් දරලා පර්යේෂණ ග්‍රන්ථයක් ඉදිරිපත් කිරීමෙන්. මෙම ග්‍රන්ථය රචනා කිරීම සඳහා ඔහු ඒ සමයට අදාළ සියළුම දේශීය සහ විදේශීය මූලාශ්‍ර පරිශීලනය කරලා තිබ්බා. මේ ග්‍රන්ථය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට ග්‍රන්ථයක්.
6. රංගන කුරුවිට
ෆේස්බුක් එකේ මීම් එකක් තියෙනවා “එක රස්සාවක් කරන්න ආස කෙනෙක් මොකක් හරි හේතුවක් නිසා තවත් රස්සාවක් කරාම වෙන දේ” කියලා හාස්‍යෝත්පාදක දේවල් ඇතුළත් කරලා. වෛද්‍ය රංගන කුරුවිට සම්බන්ධයෙන් මේ කතාව සීයට සීයක් ඇත්ත. වෛද්‍යවරයෙකුට වුණත් ඔහු පැරණි ග්‍රන්ථ සංස්කරණයට විශාල පරිශ්‍රමයක් දරනවා. මේ නිසාම මෙතෙක් කල් අප්‍රකටව පැවති “කුරුණෑගල විස්තරය”,” ශ්‍රී නාම රත්නලංකාරය”, “ඉතිබිසෝ ජාතකය” වැනි ග්‍රන්ථ කීපයක් සිංහල පාඨකයාට කියවන්න ලැබුණා. හෙනානිගල ආදිවාසී ජනතාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් ගෙන එන “හෙනානිගල ආදිවාසී උරුමය” නම් ඔහුගේ නවතම ග්‍රන්ථයත් මේ වන විට මුද්‍රණයෙන් එළිදක්වා තිබෙනවා.
7. රංග වික්‍රමසිංහ
මාර්ටින් වික්‍රමසිංහගේ පුතෙකු විදිහට ඉපදුනු රංග වික්‍රමසිංහට ලේඛනය කියන දේ ඇඟේ ඇතුළෙම තියෙනවා.මේ නිසාම ඔහු තමන්ගේ පියාගේ කෘතීන් සංරක්ෂණය කිරීමට බොහෝ වෙහෙසක් ගන්නවා වගේම, ඒ ඇතැම් කෘතීන් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නත් දායක වෙනවා. මේ නිසාම කලියුගයේ ඉංග්‍රීසි පරිවර්තනය තවත් පරිවර්තිකාවක සමග සිදුකිරීම නිසා ඔහුට රාජ්‍ය සාහිත්‍ය සම්මාන පවා ලැබුණා.
අපි මේ ලිපිය සඳහා ඇතුළත් කරේ පොත් ලියන ඉතා සීමිත වෛද්‍යවරු පිරිසක් විතරයි. මේ ආටිකල් එක කියවද්දි ඔබේ මතකයට එන පොත් ලියන වෛද්‍යවරු ගැන කමෙන්ට් එකකින් සඳහන් කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply