කොරෝනා වසංගතයේ බොහොම නරක පරිච්ඡේදයක් ලංකාවේ අපි හැමෝම මේ වෙනකොට පසුකරමින් ඉන්න බව අලුතෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේම අපි හැමෝම දන්න කාරණයක් තමයි අපේ අසල්වැසි ඉන්දියාව අපිටත් වඩා බොහොම නරක කාලයක් පසුකරමින් ඉන්න බව. ඉතින් මේ කරදර නිසා අපි ඉන්දියාවෙන් ගෙනාපු කොරෝනට එරෙහි covishield එන්නත ගෙන්වන එක අපහසු තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසාම ඒකට විසඳුමක් විදිහට කොරෝනා වසංගතයට එරෙහිව රුසියාවේ නිෂ්පාදනය කරන Sputnik V එන්නත ලංකාවට ගෙන්වන්න මේ වෙනකොට රජය සහ සෞඛ්‍ය බලධාරීන් කටයුතු යොදල තියෙනවා. ඉතින් කලින් වතාවේ Oxford AstraZeneca Covishield එන්නත ලංකාවට ආපු වෙලාවේ ඒ ගැන පැහැදිලි කිරීමක් කළා වගේම අපි හිතුවා මේ Sputnik V කියන රුසියානු එන්නත ගැනත් ඔයාලගෙ හිතේ තියෙන සැක නැතිවෙන්න සම්පූර්ණ විස්තරයක් අරගෙන ආවොත් හොඳයි කියලා.
1. Sputnik V එන්නත
සරලවම කිව්වොත් Sputnik V කියල කියන්නෙත් කලින් කියපු Covishield වගේම නව කොවිඩ් 19 වයිරසයට එරෙහිව එන්නත් කරන ප්‍රතිශක්තීකරණ එන්නතක්. මේ එන්නතත් කොවිශීල්ඩ් වගේම දුර්වල කරන ලද adenovirus එකක් හරහා තමයි ශරීරගත කිරීම සිදුකරන්නේ. එන්නතේ අපි හැමෝම දන්න නම, ඒ කිව්වෙ brand name එක Sputnik V වුණාට එන්නතේ හරිම නම වෙන්නෙ Gam-COVID-Vac කියන නමයි. ලංකාවට ගෙන්වන්න මේ තරම් පරක්කු උනාට කොරෝනා වෛරසයට එරෙහිව ලෝකයේ ලියාපදිංචි කෙරුණු පළමු එන්නත විදිහට තමයි මේ Sputnik එන්නත සැලකෙන්නේ. ඒ වගේම මේ එන්නත මේ වෙද්දී ලෝකයේ රටවල් 60 කට අධික සංඛ්‍යාවක ලියාපදිංචි වෙලා තියෙනවා.
2. සොයාගැනීම සහ නිෂ්පාදනය
මේ එන්නත සොයාගැනීම සහ නිෂ්පාදනය සිදුකරන්නෙ රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් පිහිටුවන ලද Gamaleya Research Institute of Epidemiology and Microbiology කියන ආයතනය මඟින්. ඒ කිව්වේ රුසියාවේ වසංගත රෝග හා ක්ෂුද්රජීව විද්‍යාව පිළිබඳ ගමාලියා පර්යේෂණ ආයතනය මඟින්. මේ පවතින කොරෝනා වෛරස තත්ත්වයට එරෙහිව අසාමාන්‍ය අතුරු ආබාධ වලින් තොර එන්නතක් නිෂ්පාදනය කරල තියෙන බව මේ ගමාලියා ආයතනය 2020 මැයි මාසයේදී ප්‍රකාශයට පත්කරනවා. ලොව ප්‍රථම කෘත්‍රීම චන්ද්‍රිකාව වෙන ස්පුට්නික් චන්ද්‍රිකාවේ නමින් Sputnik V විදිහට මේ එන්නත නම් කරන්න ඔවුන් තීරණය කරනවා. පහුකාලීනව එන්නත වාණිජමය වශයෙන් එළිදැක්වුවාට පස්සේ ඇතිවුන අධික ඉල්ලුම නිසා වෙනත් රටවල් දෙකකට අයත් ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක් ඉතාලිය තුළ මෙම එන්නත නිෂ්පාදනය කරන්න රුසියානු රජය සමඟ ගිවිසුමකට එළඹිලා තියෙනවා.
3. සායනික පරීක්ෂණ
Sputnik V එන්නතට අදාළ පළමු මට්ටමේ සායනික පරීක්ෂණ ආරම්භ කෙරෙන්නේ 2020 ජූනි මාසෙ 18 වෙනිදා ඉඳලා. සායනික පරීක්ෂණ වලට කලින් මේ එන්නත විවිධ සතුන් යොදාගෙන සායනික මට්ටමට පෙර පරීක්ෂණ කටයුතු සාර්ථකව නිමාකරලා තියෙනවා. පළමු සහ දෙවන පට්ටමේ සායනික පරීක්ෂණ 2020 අගෝස්තු මාසයේ 01 වනදා වෙනවිට සම්පූර්ණ කෙරෙනවා. 38 දෙනෙකු යොදාගෙන සිදුකරන ලද මේ පරීක්ෂණ වලදී එන්නතේ පළමු හා දෙවන මාත්‍රාවන් ලබාගත්ත මේ 38 දෙනා වෛරසයේ පිටත තියෙන ස්පයික් ප්‍රෝටීන කොටස් වලට එරෙහිව සාර්ථකව ප්‍රතිදේහ නිපදවීම පෙන්නුම් කරපු බව තමයි සඳහන් වෙන්නෙ.
2020 නොවැම්බර් මාසයේ මුල මේ එන්නතට අදාළ තෙවන මට්ටමේ සායනික පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරෙනවා. දැනටත් අපි ඉන්නෙ එන්නතේ තෙවන මට්ටමේ සායනික පරීක්ෂණ අතරතුර. රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයේදී ස්වේච්ඡා ඉදිරිපත්වන්නන් 40,000 යොදාගෙන කරන මේ තෙවන මට්ටමේ සායනික පරීක්ෂණ 2021 මැයි මාසයේ අවසානය වෙනකන්ම වගේ පැවැත්වෙනවා. ඒ වගේම මේ තෙවන මට්ටමේ සායනික පරීක්ෂණ බෙලාරුස්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ වෙනිසියුලාව කියන රටවලත් ක්‍රියාත්මක වෙනවා.
4. සාර්ථකභාවය
දැනට මොස්කව් නගරයේ කෙරීගෙන යන තෙවන මට්ටමේ සායනික පරීක්ෂණ අතරතුරේ 2021 පෙබරවාරි 02 වෙනිදා නිකුත් කරපු අතුරු වාර්තාවට අනුව මේ රුසියානු Sputnik V එන්නත කොවිඩ් 19 වසංගතයට එරෙහිව 91.6% ක සාර්ථකභාවයක් වාර්තා කරනවා. නව කොවිඩ් 19 වෛරසයට එරෙහි 90% වඩා වැඩි ප්‍රතිඵල පෙන්නුම් කරන එන්නත් තුන අතරේ මේ Sputnik V එන්නතත් තියෙනවා.
5. එන්නත්කරණය ආරම්භය
2020 දෙසැම්බර් මාසය වෙනකොට මේ එන්නත රුසියාවේ මහා පරිමාණයෙන් නොමිලේ මහජනතාවට ලබාදීම ආරම්භ කෙරෙනවා. ලංකාවේ වගේම වෛද්‍යවරු ඇතුළු හඳුනාගත් වැඩි අවදානමක රැකියාවන් කරන පිරිසකට තමයි මුලින්ම එන්නත ලබාදීම සිදුකරන්නේ.
2020 දෙසැම්බර් මාසයේ අග වෙනකොට වෙනත් රටවල් වලින් රුසියාවට එන්නත් බිලියන 1.2 කට වඩා වැඩි ප්‍රමාණයක ඉල්ලුම් ලැබිලා තියෙනවා.
6. අනුමැතිය
කලින් Covishield එන්නත වගේම මේ Sputnik එන්නතටත් එතන ඉඳලා දිගින් දිගට මේ වෙනකන්ම විවිධ රටවල භාවිතයට අනුමැතිය ලැබෙමින් තියෙනවා. හැබැයි තවමත් ඔවුන්ට යුරෝපානු සංගමයේ ඖෂධ කාර්යාංශයේ අනුමැතියනම් ලැබිල නැහැ කියල තමයි තොරතුරු සඳහන් වෙන්නෙ.
7. ලංකාවේ එන්නත්කරණය
මේ Sputnik V එන්නතේ පළමු මාත්‍රාවන් 15,000 ලංකාවට ලැබීමෙන් පස්සේ 2021 මැයි මාසෙ 6 වෙනි බ්‍රහස්පතින්දා දවසේ තමයි එන්නත ලංකාවේ ජනතාවට ලබාදීම ආරම්භ කෙරෙන්නේ. කොවිඩ් තත්ත්වයෙන් දරුණු ලෙසම පීඩාවට පත්වෙලා ඉන්න උතුරු කොළඹ තදාසන්න ප්‍රදේශයක් තෝරාගෙන තමයි මේ මුල්ම එන්නත් තොගය බෙදාහැරීම සිදුවෙලා තියෙන්නෙ. මේ මුලින් ලැබුණු එන්නත් 15,000 ක තොගය ඉදිරියේදී ලැබෙන්න ඇනවුම් කරලා තියෙන එන්නත් මිලියන 13කින් මුල් තොගය කියල තමයි කියන්නෙ.
Leave a Reply