ණය කියන්නෙ කිසිසේත්ම බුද්ධිමත් තීරණයක් නම් නෙමෙයි. ණයවෙලා වැඩකරගෙන ලස්සනට ණය බැලන්ස් කරගෙන ජීවත් වෙන පිරිසකුත් අපි අතරේ හිටියට බහුතරයක් දෙනා ණය නිසා අමාරුවේ වැටෙනවා අපි එදිනෙදා ඕනතරම් දකිනවා. හැබැයි ඉතින් මේ දුප්පත් රටේ ආර්ථික රටාවත් එක්ක ණය නොවී වැඩ කරගන්න කියල කියන එකත් විහිළුවක්. ඒ නිසා ණය කියන්නෙ නොගෙනත් බැරි, හැබැයි අරගන්නකොට වගේම ගත්තට පස්සෙත් බොහොම සූක්ෂමව කටයුතු කරන්න අවශ්‍ය මාතෘකාවක්. මේ කතා කරන්න යන්නෙ ඒ ණය කියන කතාවෙත් බොහොම නරක පැත්තක් ගැන. ඒ තමයි ක්ෂුද්‍ර මූල්‍ය ණය. මේ වචනය අපිට නිතර ඇහුණට මේකෙ බරපතළකම දන්න පිරිස හරිම අඩුයි. ඒ නිසා හැමෝටම දැනගන්න තේරෙන සරල භාෂාවෙන් මේ ගැන කියල දුන්නොත් හොඳයි කියල අපි හිතුවා.
1. මොනවද මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය?
ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල වෙබ් අඩවියට අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය කියල කියන්නෙ අඩු ආදායම් ලාභී හෝ ඇත්තටම ණයක අවශ්‍යතාවය පවතින එහෙත් ආදායම් මාර්ගය පෙන්වීමට නොහැකිකම, නය ගෙවීමේ ක්‍රම පෙන්වීමට නොහැකි කම හෝ ඇපකරුවන් සම්බන්ධ ගැටළු නිසා විධිමත් බැංකුවකින් ණය ලබාගැනීමට නොහැකි අයට ණය මුදල් ලබාදීම වෙනුවෙන් සකස් කෙරුණු ක්‍රමවේදයක්. මේ මඟින් අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම වගේම රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමත් අරමුණු කෙරෙනවා. බොහොම ඈත අතීතයක ඉඳලා කෙරීගෙන එන අපි හැමෝම දන්න සීට්ටු කියල කියන්නෙත් ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමවේදයක්.
2. ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන
මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන විදිහට ආයතන ලොකු ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමූපකාර සමිති, දිවිනැගුම බැංකු සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධාන, ක්ෂුද්‍රමූල්‍ය සමාගම්, ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන රාජ්‍ය නොවන සංවිධාන රාශියක් මේ ලැයිස්තුවට ඇතුළත්. හැබැයි මේ ආයතන හරහා ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය නිරීක්ෂණය කිරීමේ හෝ ඒ ආයතන නියාමනය කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ශ්‍රී ලංකා මහා බැංකුව සතුව නැති බව තමයි සඳහන් වෙන්නෙ. ඒ නිසාම මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හිතුමතේට ණය පොලී අනුපාත වැඩි කරමින්, ණය රැස්කරන ක්‍රම වෙනස් කරමින් අඩු ආදායම්ලාභී ණය ගැතියන් පීඩාවට පත්කරන තත්ත්වයක් දකින්න පුළුවන්.
3. කව්ද මේවට අහුවෙන්නේ?
අපි කලිනුත් කිව්ව වගේ අඩු අදායම්ලාභී පවුල් හෝ පුද්ගලයින් ඉලක්ක කරගෙන තමයි මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සිදුකෙරෙන්නේ. ඔවුන්ට විධිමත් බැංකුවකින් ණය ලබාගැනීමට තියෙන අපහසුතාවය නිසාම ඔවුන් මේ ගෙවල් වලට ඇවිත් ණය දෙන්න ඉදිරිපත්වෙන ක්ෂුද්‍ර මූල්‍ය ණයකාරයින්ට අහුවෙනවා. ග්‍රාමීයව ජීවත්වෙන, ණය ගනුදෙනු පිළිබඳව ලොකු දැනුමක් නැති කාන්තාවන් තමයි මේ ණය උගුලට වැඩිපුරම අහුවෙන්නෙ. ඔවුන් තුන්දෙනෙක් හෝ පස්දෙනෙක් වගේ කුඩා කණ්ඩායම් හැදිල ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතන වල උපදෙස් පරිදි එකිනෙකාට ඇප වෙමින් ණය ලබාගැනීම සිදු කරනවා. 2019 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 14 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරුණු ණය සහන හා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ 2,898,232ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන තියෙනවා. හැබැයි ණය ගෙවන ක්‍රමයක් හෝ ණය පොලී අනුපාත ගැන කිසිම අවබෝධයක් ඔවුන් බහුතරයක් සතුව නැහැ.
4. නීතිමය පසුබිම
කලිනුත් කිව්ව වගේ මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන නියාමනය කිරීමක් මහා බැංකුව හරහා නියමාකාරයෙන් සිදුවෙන්නෙ නැහැ. මේ ගැටළුව නිසාම 2016 වසරේ පාර්ලිමේන්තුව මගින් මේ සම්බන්ධ පනතක් සම්මත කෙරෙනවා. ඒ තමයි 2016 අංක 6 දරණ ක්ෂුද්‍රමූල්‍ය පනත. මේ පනත 2016 වසරේ ජූලි මස 15 වෙනිදා ඉඳලා බලාත්මකයි. මෙම පනත මගින් ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට, ඒවා නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට අදාළ විධිවිධාන පනවලා තියෙනවා. ඒ වගේම 2018 දෙසැම්බර් 03 වෙනිදා ශ්‍රී ලංකා මහා බැංකුව මඟින් නිකුත් කරන ලද නියෝගයකට අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා අය කළ හැකි වාර්ෂික උපරිම පොලී අනුපාතය 35% ක් බව සඳහන් වෙනවා.
5. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුව?
කරුණු කාරණා එහෙම උනත්, අය කළ හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතය මහා බැංකුව මඟින් නියම කරලා තිබුනත් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන හිතුමතේට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් පුද්ගලයන්ගෙන් 20% සිට 220% දක්වා පොලී මුදල් අයකරන බවට කරුණු දකින්න තියෙන බව ඒ හා සම්බන්ධ නඩු එක්ක සම්බන්ධ වෙන නීතිඥවරුන් කියනවා. ඉතින් මේ අධික පොලියට ගත්ත ණය ගෙවාගන්න බැරුව අඩු ආදායම් ලාභී පවුල් අන්ත අසරණ වෙනවා.
6. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවේ අතුරු ඵල
ණය ගත්තට ගෙවාගන්න බැරි වුණහම ඒ ණය ගෙවන්න තව තවත් ණය වෙන්න මේ පුද්ගලයින් පෙළඹෙනවා. මොකද ආයතන වලින් ණය එකතු කරන්න එන ණය මහත්තුරුන් කියන අය ඉතාම අසභ්‍ය වචනයෙන් මොවුන්ට බැන වදිමින්, ගෙවල් වලින් පිටවෙලා යන්නෙ නැතුව විවිධ බලපෑම් කරමින් ණය වාරික එකතු කරන්න උත්සාහ කරනවා. මේ ණය ගෙවාගන්න බැරුව ණය වාරික එකතු කරන්න එන මහත්වරුන්ගේ ලිංගික සුරාකෑම් වලට ලක්වෙන, ණය ගෙවන්නම මැදපෙරදිග රැකියාවල් වලට යොමුවුණ වගේම ණය බර දරාගන්න බැරුව සියදිවි හානිකරගත්ත කාන්තාවන් සිය ගණනක් ගැන තොරතුරු වාර්තා වෙලා තියෙනවා.
7. අහු නොවී බේරෙන හැටි
අනිත් හැමදෙයක් වගේම මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවේදීත් දැනුවත් වීම සහ අවධානය තමයි වැදගත්. අපිට ආදරේට වගේ ණය දෙන්න එන මහත්වරුන් ගැන හොඳින් හොයල බලන්න. ඔවුන්ගේ ආයතනය මොකක්ද? අයකරන පොලී අනුපාතය, ගෙවීම් කාලසීමාව වගේ කාරණා ගැන හොඳින් දැනුවත් වෙන්න. ඒ වගේම තමාගේ ආදායමට දරාගන්න පුළුවන් සීමාවට විතරක් ණය වීම, ණය ගෙවන්න හරියට සැලසුම් කිරීම වගේම මුල්‍ය විනයත් හරිම වැදගත්.
Leave a Reply