50 දශකයේ චිත්‍රපට ගීයට ආලෝකය දුන් ජික්කි

1950 දශකය කියන්නේ සිනමාව මහජනයා අතර වැජඹුණු කාලයක්. එදා චිත්‍රපට බැලීම ජනයාට තිබුණ සීමිත විනෝද කාර්යයන් වලින් එකක් වුණා. ඒ කාලේ දකුණු ඉන්දීය සිනමාපට ඒ ආකාරයෙන්ම ගෙන ඒවා සිංහලට නැවත රූගත කිරීම සිදුවුණා. සුජාතා එවැනි ජනප්‍රිය වූ චිත්‍රපටයක්. කෙසේ වෙතත් මේ නිසාම දකුණු ඉන්දීය ශිල්පීනුත් සිංහල සිනමාවට පිවිසුණා. ජික්කි කියන්නේ එහෙම දකුණු ඉන්දියාවේත් ජනප්‍රිය වුණු සිංහල ගීත ගායනා කළ ගායිකාවක්.

 

1. ජික්කි සහ සමකාලීන විදෙස් ගායිකාවන්

ජික්කි තෙළිඟු ගායිකාවක්. ඈ සමඟ සමකාලීනව දකුණු ඉන්දියාවෙන් පැමිණ ගීත ගායනා කළ ගායිකාවන් සිටියා. එවකට සිංහල චිත්‍රපට වැඩි හරියක් හැදුනේ දකුණු ඉන්දීය චිත්‍රාගාර වල නිසා දකුණු ඉන්දීය හඬ චිත්‍රපට වලට එකතු කිරීම පහසුවක් වන්නට ඇති. “පෙම් රැල්ල නැගී” ගීතය ධර්මදාස වල්පොල සමග ගායනා කළ කේ රාණි, උස්බෙකිස්තාන් බසිනුත් ගීත ගායනා කළ එවැනි ජනප්‍රිය ගායිකාවක්. එසේම ජෝතිපාල සමග “කොළ කඩ කඩ බොරුවට දෙනවා” චිත්‍රපට ගීතය මුලින්ම ගයන්නේ ජමුනා රාණි. භාෂා බර ගාණකින් ගායනා කොට තිබූ සුෂීලා, සුජාතා අත්තනායකගේ ගායනයට ගුරු වී යැයි සැළකෙනවා. ඒ වගේම ලතා මංගේෂ්කාර් පවා වරක් සිංහල ගීයක් ගයා තියෙනවා. ඒ අනුව දකුණු සහ උතුරු ඉන්දීය හඬ සිංහල චිත්‍රපට වලට යොදාගැනීම එකල සිනමාවේ පැතිර ගිය දෙයක්ව තිබුණා. 

 

 

2. ජික්කි ගැයූ ගීත

ජික්කි ගැයූ සිංහල ගීත අතර යුග ගීත කිහිපයක් වෙනවා. එකල ජනප්‍රිය ගායකයෙක් වූ මොහිදීන් බෙග් සමග ගැයූ සුන්දර මේ වී කරලේ ගීතය ජික්කි ගැයූ ගීයක්. එසේම පසුකාලීනව ඉරාජ් විසින් වෙනස් කොට ගායනා කළ “මට ආලෝකේ ගෙනදේවී” ගීතය පසුකාලීනව ඉරාජ් මික්ස් කළාටත් වඩා හැඩට ජික්කි කියන ආකාරය යූ ටියුබ් හරහා දැකගන්නට පුළුවන්. දැනට ජික්කි ගැයූ ජනප්‍රිය සිංහල ගීත ලෙස ඉතිරි වී ඇත්තේ ගීත කිහිපයක් පමණයි. ඒ අතරලෝ අම්බලමේ ඉඳලා” ගීතයත් ජනප්‍රිය ගීයක්. ඇය පසුකලෙක ඉන්දියාවේ සංගීත ප්‍රසංගයකදී ගැයූ “පහත් තැනින් යයි ගලාගීතයේ වීඩියෝවක් අන්තර්ජාලයේ තිබෙනවා. එකල ජනප්‍රියම ගායකයෙක් වූ ධර්මදාස වල්පොල සමගද ජික්කි කතරගම ආදී ගීත කිහිපයක්ම ගයා තිබෙනවා.

 

 

3. සැමියාගේ වගතුග

ජික්කිගේ සැමියා වන්නේ ඒ. එම් රාජා. ඒ. එම්. රාජා කියන්නෙත් 50 දශකයේ ලංකාවේ චිත්‍රපට ගීත වල නමගිය චරිතයක්. “පෙම් කැකුළ පිපී ගීතය මුලින්ම ගායනා කොට ඇත්තේ ඒ. එම්. රාජා සහ ජමුනා රාණි විසින්. “ලෝකය පෙරලේ කාලේ ගෙවී යයි” ගීතයද ඒ. එම්. රාජා විසින් මුලින් ගැයූ ගීයක්. ඔහු ගීත ගායනා කිරීම සේම ගීත වලට සංගීතය සැපයීමටද දක්ෂයෙක් වුණා. ජික්කි සහ අතිනත ගත් ඒ. එම්. රාජා එකල සිංහල චිත්‍රපට ගීතයට දායක වූවා සේම දකුණු ඉන්දියාවේද දෙමළ සහ තෙළිඟු ගීත ලෝකයේ යම් තරමක ජනප්‍රිය සංගීතඥයකු වුණා. 1989 දී ඔහු කන්‍යාකුමාරි හි පවත්වන්නට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට දුම්රියෙන් ජික්කි සමග යමින් සිටියදී දුම්රියෙන් වැටී හදිසියේ මිය ගියා. එතැන් පටන් ජික්කි සුළු කලක් ගීත ගායනයෙන්ද ඈත් වී සිටියා.

 

 

4. ජික්කිගේ මුල්කාලයේ වගතුග

ජික්කි ඉපදුනේ 1935 වර්ෂයේ දැන් චෙන්නයි හැටියට හඳුන්වන ඒ කාලේ මදුරාසියෙදි. ඇගේ මුල් බස තෙළිඟු වුවත් ඇය පසුකලෙක දෙමළ බසද හොඳින් හැසිරවූවා. ඇගේ නියම නම පී. ජී. ක්‍රිෂ්ණාවනි වූවත් ඇය ජනප්‍රිය වූයේ ජික්කි යන නමින්. ඇය ඇගේ වයස 15ක් වනවිට එනම් 1950 වනවිටත් ගායිකාවක ලෙස චිත්‍රපට වලට ගී ගැයුවා. එකල සිංහල චිත්‍රපට වල තාක්ෂණික වැඩකටයුතු, රූපගත කිරීම් ආදිය මදුරාසියේ (දැන් චෙන්නයි) වලදී සිදුවුණ නිසා ජික්කිට සිංහල ගීත ගැයීමේ අවස්ථාව හිමි වුණා. ජික්කි ගැයූ දෙමළ, මලයාලම්, හින්දි සහ සිංහල ගීත ඇතුළත් සම්පූර්ණ ගීත ප්‍රමාණය ගීත දසදහසකට වඩා වැඩි යැයි විකිපීඩියාවේ සඳහන් වෙනවා. ජික්කිගේ කට හඬ සිංහල ගීයට මෙන්ම තෙළිඟු සහ දෙමළ ගී වලටත් රසවත් සුන්දර කටහඬක් වුණා. ඇය මුල්කාලයේ සංගීතය ගැන එතරම් හැදෑරීමක් නැතිව වුවත් මිහිරි ලෙස ආකර්ෂණීයව ගැයීමට සමත් ගායිකාවක් වුණා. 

 

 

5. සංගීත දිවිය සහ ජනප්‍රියත්වය

ජික්කි බොහොම අඩු වයසෙන් ගායනයට පිවිසි ගායිකාවක් නිසා ඇයට ඇගේ සැමියා වූ ඒ. එම්. රාජා සමග දුර ගමනක් යන්නට පුළුවන් වුණා. ඔවුන් ඉන්දියාවේ පමණක් නොව මැලේසියාවේ සහ ඇමරිකාවේ රේඩියෝ වැඩසටහන් වලටත් එක්ව ගීත ගායනා කළා. පසුකාලීනව ලංකාවේ චිත්‍රපට වලට ලංකාවේම ගායික ගායිකාවන් යොදාගත්තා. එසේම ලංකාව සහ දකුණු ඉන්දියාව අතර සබඳතා පසුකාලීනව සුබදායක වුණෙත් නැහැ. ඒනිසා ජික්කි පනස් ගණන් වලින් පසු සිංහල ගී ගැයූ බවට සඳහනක් නැහැ. කෙසේ වෙතත් ඇය පසුව වයෝවෘද්ධ අවධියේ පවා වේදිකාවල සිංහල ගීත අපූරුවට ගැයූ ආකාරය වීඩියෝ වල දැක්වෙනවා. ඇය මලයාලම් සහ දෙමළ චිත්‍රපටි වලට කෙතරම් අවැසි චරිතයක්ද කියනවා නම් ඇය වරක් එක් දෙමළ චිත්‍රපටයකට ඇතුළත් වූ ගීත පහම ගායනා කොට තිබුණා. එහෙත් පසුව ඇය ඒ අවස්ථාව අනෙක් ගායිකාවන්ට ලබා දෙන ලෙස ඉල්ලීමක්ද කර තිබුණා.

 

 

6. අවසානය

ඇය 2004 වර්ෂයේදී පියයුරු පිළිකාවකින් මිය ගියා. ඒ අවස්ථාවේ ඇයට වියදමට මුදල් සොයාගන්නට ජමුනා රාණී සහ පිරිසක් ඇය වෙනුවෙන් වේදිකාවේ ගී ගැයුවා. එසේම එවකට තමිල්නාඩු මහ ඇමති ජයලලිතා, එම්. ජී. ආර් අරමුදලින් රුපියල් ලක්ෂයකුත් අන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති චන්ද්‍රබාබු නායිදු රුපියල් ලක්ෂ දෙකකුත් වෛද්‍ය වියදම් වෙනුවෙන් ලබා දී තිබුණා. ද්‍රවිඩ සිනමාවේ සංගීතය වෙනුවෙන් කළ මෙහෙවරට ඇයට එවකට ජනප්‍රියම දේශපාලකයින්ගෙන් පවා බුහුමන් ලැබී තිබුණා. එහෙත් පසුකලෙක ඇගේ ගීත නැවත සකසා ජනප්‍රිය වූ සිංහල ගායකයින් ඇගේ නමවත් සඳහන් නොකිරීම කණගාටුවට කරුණක්.

 

 

7. ගෞරව බුහුමන්

සිංහල සිනමාවට දෙමළ ගායක ගායිකාවන්ගේ දායකත්වය ලැබුණත් පසුකලෙක ඒ තැන ලතා වල්පොල, සුජාතා අත්තනායක රුක්මණී දේවී වැනි අය විසින් අත්පත් කරගත්තා. ජික්කි තෙළිඟු සහ දෙමළ චිත්‍රපට සියයකටත් වඩා ගීත ගායනයෙන් දායක වුවත් ඇයට එතරම් සම්මාන ආදිය ලැබී නැහැ. එහෙත් එවකට චිත්‍රපට බැලූ රසිකයින්ගේ හදවත් නම් ජික්කි සහ ඒ. එම්. රාජා වැනි ගායකයින් විසින් අත් පත් කරගන්නට ඇති. මෙය අපේ ලංකාවේ චිත්‍රපට ගීත ගැයූ ජෝති මිල්ටන් වැනි අයට අත් වූ තත්ත්වයට සමානයි. ඔවුන් විශාල ගීත ප්‍රමාණයක් ගයා, විශාල රසික ප්‍රමාණයක් අත් පත් කරගත් නමුත් බොහෝ කලක් යනතුරු ඔවුන් නියම ගායකයින් ලෙස බුහුමනට පාත්‍ර වුණේ නැහැ.

 

ජික්කි, ජමුනා රාණි වැනි අය දෙමළ බස සහ තෙළිඟු බස හොඳින් දැන සිටියත් සිංහල බස දැන සිටියේද යන්න ගැටළුවක්. කෙසේ වෙතත් ගැයූ අය සිංහල දැන සිටියේ නැතත් ඒ කාලේ ලියවුණු අනර්ඝ පද වැල් ලතාවට ගායනා කරන්නට මේ දකුණු ඉන්දීය ගායිකාවන් සමත් වුණා. පසුකාලීනව ලතා වල්පොල, රුක්මණී වැන්නියන්ටත් මේ දකුණු ඉන්දීය ගායිකාවන්ගේ ආභාෂය යන්නටත් ඇති. එක් කලෙක සිංහල සිනමාවටත් ආලෝකයක් එක් කළ ජික්කි තෙළිඟු සහ දෙමළ චිත්‍රපට රැසක් ගායනයෙන් ආලෝකමත් කළා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *