පාම් ඔයිල් මෙතරම් මිල අඩු ඇයි?

ලංකාවේ අපි කලක පටන් ආහාර හදන්න ගත්තේ පොල් තෙල්. ඒත් මෑත කාලේ පාම් ඔයිල් වඩාත් ජනප්‍රිය වුණා. පාම් ඔයිල් කියන්නේ ආහාර හදන්න විතරක් නෙමෙයි, සබන් ආදී නිෂ්පාදන ගණනාවකට ගන්න ලාබ තෙල් වර්ගයක්. ඉතින් මේ පාම් ඔයිල් ජනප්‍රිය වෙන්න එක මූලික හේතුවක් තමයි එහි අඩු මිල. ඒ නිසාම ලංකාවේ වෙළඳසැල් වල පාම් ඔයිල් සහ පොල් තෙල් කලවම් කර විකුණනවා කියලත් චෝදනා තියෙනවා. ඉතින් පාම් ඔයිල් මේ තරම් ලාබ ඇයි කියලා අපි බලමු.

 

 

1. පාම් ඔයිල් වැඩිපුර හදන්නේ කොහේද?

මේ පාම් ඔයිල් වැඩිපුර නිපදවන්නේ ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ. ලෝකයේ පාම් ඔයිල් නිෂ්පාදනයෙන් සියයට 85%ක් විතර මේ අග්නිදිග ආසියානු කලාපයෙන් නිපදවෙනවා. පාම් ඔයිල් නිපදවීම සඳහා පාම් ගස් වවන්න ඒ රටවල, ප්‍රදේශවල හොඳ පසක් තියෙනවා. පාම් ගහ ඉන්දියාවේ වවන්න හැදුවත් ඉන්දියාවේදි පාම් ගසේ අස්වනු මලයාසියාවේදි තරම් සරු වුණේ නැහැ. මේ පාම් ගස බටහිර අප්‍රිකාව නිජබිම කරගත් බෝගයක්. ඒත් මලයාසියාවෙදි මේ ගස බොහොම වේගයෙන් සාර්ථකව හැදෙනවා. ඉන්දුනීසියානු දිවයින් සහ මැලේසියා කලාපයේ මේ පාම් ඔයිල් වගා කරන්න වනාන්තර බිම් පාවිච්චි කරනවා.

 

 

2. තෙල් ලබාගැනීමේ කර්යක්ෂමතාවය

ඉන්දියාව ගත්තොත් සූරියකාන්ත තෙල්, තලතෙල්, රටකජු තෙල් ආදී විවිධ තෙල් වර්ග ආහාරයට යොදා ගන්නවා. ඒත් ඒ හැම තෙලකටම වඩා අඩු ඉඩකින් පාම් තෙල් නිපදවන්න පුළුවන්. ඒ කියන්නේ අක්කරයක පොල් වලින්, අක්කරයක තල වලින් හෝ අක්කරයක සූරියකාන්ත වලින් හදන තෙල් වලට වඩා සැළකිය යුතු තරමේ වැඩි තෙල් ප්‍රමාණයක් අක්කරයක පාම් ඔයිල් වලින් ගන්නට පුළුවන්. මේ පාම් ඔයිල් වලදි පොල් තෙල් වල වගේ මදේ විතරක් නෙමෙයි පාවිච්චි කරන්නේ. සම්පූර්ණ කිතුල් ඇට වගේ කුඩා ඇට තිබෙන පාම් වල්ලම තෙල් නිස්සාරණයට යොදා ග්නනවා.

 

 

3. පහසුවෙන් හැදෙන ගස

පාම් ගසට කරන්න ඕනි සාත්තුව අඩුයි. මේ ගස් හැදෙනකොට ගස් යට හැදෙන යටිරෝපණය අඩු නිසා වල් මර්දනය වගේ දේවල් ගැන ලොකු අවධානයක් යොමු කරන්නට අවශ්‍ය නැහැ. වෙනත් වගාවන්ට වඩා පහසුවෙන් වගාකරන්න පුළුවන් නිසා මිනිසුන් කිහිප දෙනෙක්ට අක්කර විස්සක තිහක වුණත් වගාවක් නඩත්තු කරන්නට පුළුවන්. මේ ගසට කෘමි හා පළිබෝධ හානි අඩු නිසා ගස් වලට සාත්තු වියදම අඩු වීම මේ බෝගයේ මිල අඩු වෙන්න බලපාලා තියෙනවා.

 

 

4. වර්ෂය පුරා ඵලදාව ලබා දීම

ඔබ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොළඹ – ගාල්ල ගිහින් තියෙනවා නම් මග දෙපස තැනින් තැන තිබෙන පාම් වගාවන් දැක ඇති. මේ පාම් පැළ හිටෙවුවම එහි ඵල නෙලන්න තරමට විශාල වෙන්න නම් අවුරුදු පහක් විතර යනවා. ඒත් ඉන් පස්සේ අවුරුදු විස්සක් විතර එක දිගට ඵලදාව නෙලන්න පුළුවන්. වෙනත් බෝග වගේ ඵල නෙලන්න ස්ථීර කාල සීමාවක් නැහැ. වර්ෂය පුරාම පාම් ගස් වලින් ඵල නෙලලා තෙල් නිපදවන්නට යවන්නට පුළුවන් වීම මෙහි ඇති තවත් වාසියක්.

 

 

5. පරිසර බලපෑම ඇත්තටම වැඩිද?

මේක හරිම විවාදාපන්න සිද්ධියක්. ගවයින් ඇතිකර ගවමස් ලබාගන්නට ලොකු ඉඩක් යනවා. ඒ වගේම සෝයා, සූරියකාන්ත, පොල් වගේ බෝගයකින් තෙල් ලබාගන්නට ගියොත් දැනට පාම් වවනවාට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් ඒ සඳහා උවමනා වෙනවා. වඩාත් කර්යක්ෂම තෙල් වර්ගයක් නිසා සැළකිය යුතු පරිසර හානියක් සිදුවුවත්, සමස්තයක් විදිහට පාම් ඔයිල් කියන නිෂ්පාදනය වඩාත් වාසිදායක නිමැවුමක් ලෙස මැදහත් පිරිස් සළකනවා.

 

 

6. වර්ධනය කරන ලද පාම් ගස

කෘෂි තාක්ෂණයේ අනුහස් නිසා විසි වන සියවසට වඩා වැඩි කර්යක්ෂම තෙල් නිපදවන්න පුළුවන් පාම් ගස් ඇතිවෙලා තියෙනවා. පාම් පැළ නිපදවීම කියන්නෙත් සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් මේ පාම් ගස දෙමුහුම් කිරීමෙන් සහ ජානමය අතින් වැඩිදියුණු කිරීමත් පාම් ඔයිල් කර්මාන්තය දියුණු වෙන්නට එක හේතුවක් 2018 වර්ෂයේ පාම් ඔයිල් නිෂ්පාදනය ටොන් මිලියන 77ක් විදිහට සටහන් වෙනවා. ඒ වගේම 2024 වෙද්දි පාම් ඔයිල් අවශ්‍යතාවය ටොන් මිලියන 107ක් පමණ වන බවට මත පළවෙලා තියෙනවා.

 

 

7. පාම් ඔයිල් නිස්සාරණය

පාම් ගෙඩි තිබුණ පළියට ගෙදරදී පාම් ඔයිල් නිපදවීම කරන්න අමාරුයි. පාම් ඔයිල් නිපදවීමේදී ඉවත් වෙන සුන්බුන් පාම් ඔයිල් නිෂ්පාදනාගාරයේම ඉන්ධන වශයෙන් දහනය කරන්න යොදාගන්නවා. ඒ වගේම පාම් ඔයිල් කර්මාන්තයෙන් ඉවත් කරන අපද්‍රව්‍යයත් වැදගත් දේවලට යොදාගන්නට පුළුවන්. ඉන්දුනීසියා සහ මැලේසියා රටවල් දෙකේ විතරක් පාම් ඔයිල් ගස් හෙක්ටයාර මිලියන 13ක් වසාගෙන පැතිරිලා තියෙනවා. කොහොම නමුත් නිෂ්පාදනයේදි යම් සංකීර්ණ පසුබිමක් තිබුණත්, අනෙක් සාධක වලින් පාම් තෙල් ඉදිරියෙන් ඉන්නවා.

 

කොපමණ පාම් තෙල් නරකයි කිව්වත් ඒ ළඟින්වත් යන කාර්යක්ෂම තෙල් විකල්පයක් නැහැ. ඉතින් ඒ නිසාම යම් යම් සීමාකිරීම්, පරිසර විනාශ හේතු තිබුණත් පාම් ඔයිල් නිපදවීම කියන දේ එකපාර නවත්වන්න බැහැ. එහෙම වුණොත් කර්මාන්ත රැසකට ඕනි මූලික අමුද්‍රව්‍යයක් නැති වෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *