ජොසෆින්ගේ පුදුමාකා​ර වාසනාව

සාමාන්‍යයෙන් ගැහැණු කෙනෙක්ගේ පින තියෙන්නේ කුණු මුල්ලේ කියලා කතාවක් අපේ ජනවහරේ තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ නොසිතූ මොහොතක  කාන්තාවකට වාසනාව උදාවෙන්න පුළුවන් කියන එක. ලෝක ඉතිහාසයේ අද්විතීය ප්‍රේම කතාවක් වන නැපෝලියන්ගේ සහ ජොසෆින්ගේ පෙම් කතාව ගැන බලද්දී ජොසෆින්ගේ පින ඇත්තටම තිබ්බෙ කුණු මුල්ලේය කියන එක ගැන හොඳටම පැහැදිළි වෙනවා.

නැපෝලියන් බොනපාට් විසින් ජොසෆින් විවාහ කරගනිද්දි ඇය වැන්දඹුවක්. ඇයට වැඩිමහල් දරුවන් දෙදෙනෙකු එම විවාහයෙන් ඉඳලා තියෙනවා. මේ දරුවන් දෙදෙනාවත් නැපෝලියන් විසින් තමන්ගෙ දරුවො වගේ හදා ගන්න තීරණය කරලා තියෙනවා. නමුත් නැපෝලියන් සහ ජොසෆින්ගේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් ලැබෙන්නේ නැහැ. අවසානයේදී ජොසෆින්ව නැපෝලියන් විසින් දික්කසාද කරනු ලබනවා.

අවාසනාවකට වගේ නැපෝලියන්ගේ දෙවැනි විවාහයෙන් ලැබෙන දරුවා තරුණ වියේදීම විවාහ වීමට පෙර මිය යනවා. මේ නිසා නැපෝලියන්ගේ ලේ උරුමකාරයෙක් යුරෝපා රජ පවුල් අතරට එකතු වන්නේ නැහැ. ඒ වගේම තුන්වැනි නැපෝලියන් ප්‍රංශයේ රජ බවට පත් වුණත් ඔවුන්ටත් තමන්ගේ රාජවංශය පවත්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

නමුත් අපි කලින් සඳහන් කළා වගේම නැපෝලියන් ජොසපෆින්ගේ දරුවන් දෙදෙනාට දැඩි ලෙස ආදරය කිරීම නිසා ඔවුන් දෙදෙනාට රාජකීය විවාහ කර දෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ අද දක්වාම යුරෝපා රජපවුල් අතර ජොසපින්ගේ පළමු සැමියාගෙන් සහ ඇගෙන් පැවත එන පුද්ගලයන් සිටීමයි.

 

1. ජොසපින්ගේ වාසනාවෙන් ඵල ලැබූ ඇගේ පළමු සැමියා 

ඇලෙක්සැන්ඩර් බොන්රේ ලෙස හැඳින්වුණු ජොසෆින්ගේ පළමු සැමියා ප්‍රංශයේ රදළ පවුලක සාමාජිකයෙක්. ආරම්භයේදී රාජපාක්ෂිකයෙකු වූ ඔහු ඇමරිකානු විප්ලවයේදී ප්‍රංශ සේනාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. ඉන්පසුව ඔහු ජාතික ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙසත් මාස කීපයක් කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් ප්‍රංශ විප්ලව සමයේදී ඔහු ද්‍රෝහියෙකු ලෙස සලකා ගිලටීනයට බිලිවුණා. මෙහිදී ජොසෆින්වද සිරභාරයට ගැනුණත් පසුව නිදහස් කෙරුණා.

 

 

2. දරුවන් දෙදෙනා සහ ඔවුන් දෙදෙනාගේ විවාහ

ආරම්භයේදී සඳහන් කළා වගේම ජොසෆින්ගේ දරු දෙදෙනා වූ ඉයුජින් නම් පුත්‍රයාට සහ හොටෙන්සේ නම් දියණියට නැපෝලියන් බොනපාට් සිය දරුවන් ආකාරයටම සළකනු ලැබුවා. යම් හෙයකින් තම දෙවැනි විවාහයෙන් දෙවැනි පුතෙකු නොලැබුණහොත් ඉතාලියේ රජ පදවිය ඉයුජින්ට හිමිවිය යුතු බව නැපෝලියන් තීරණය කරනු ලැබුවා. එසේම බැවේරියාවේ ආදිපාදවරයා වන පළමු මැක්සිමිලන් ජෝසෆ්ගේ දියණිය වන බැවේරියාවේ ඔගස්ටා කුමරිය ඔහුට සරණ පාවා දෙනු ලැබුවා.

ජොසෆින්ගේ දියණිය වන හෝටෙන්සේව නැපෝලියන් විසින් තම වැඩිමහල් සහෝදරයා වන ලුවිස් බොනපාට්ට විවාහ කර දෙනු ලැබුවා. ඔහුව නෙදර්ලන්තයේ රජු ලෙස පත් කිරීම නිසා හෝටෙන්සේ කලක් නෙදර්ලන්තයේ රැජින බවට පත් වුණා.

 

 

3. හොටෙන්සේගේ පුත්‍රයා 

ඇයගේ සහ ලුවී බොනපාට්ගේ පළමු දරුවා වයස අවුරුදු හතරේදී මිය ගිය අතර දෙවැනි පුත්‍රයාද තරුණ වියේ දී මිය ගියා. ඔවුන්ගේ තෙවන පුත්‍රයා චාල්ස් නැපෝලියන් බොනපාට් තුන්වැනි නැපෝලියන් ලෙස ප්‍රංශයේ අධිරාජ්‍යයා බවට පත්වුණා.

කෙසේ නමුත් තුන්වැනි නැපෝලියන් අධිරාජ්‍යයාගේ එකම පුත්‍රයා බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරද්දී මරමුවට පත්වුණා. ඒ නිසා හෝටෙන්සේගේ සහ ලුවී බොනපාට්ගේ දරු පරපුර අහෝසි ව ගියා.

හොටෙන්සේ විසින් පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස ඇයට තවත් පුත්‍රයෙකු ඉපදුණු අතර චාල්ස් ජෝශප් නම් ඔහුට තුන්වැනි නැපෝලියන් විසින් වංශාධිපති ගෞරව නාමයක් පුද කරනු ලැබුවා. ඔහුගෙන් පැවත එන සාමාජිකයන් යුරෝපයේ කණිෂ්ඨ රදළ පවුල් සමඟ ආවාහ විවාහ වලින් බැඳී තිබෙනවා.

 

 

4. ඉයුජින්ගේගේ වැඩිමහල් දියණිය 

ඉයුජින්ගේ වැඩිමහල් දියණිය ජොසෆින් ලෙස නම් කෙරුණු අතර ඇය ස්වීඩනය සහ නෝර්වේ රාජ්‍ය වල රජ වූ පළමු ඔස්කා රජු සමග විවාහ වූවාය. ඇගේ දරුවකු වන දෙවන ඔස්කා රජු එවකට කුඩා ජර්මන් රාජ්‍යයක් වන නාසු මහාදිපාදි රාජ්‍යයේ කුමරියක වන සොෆියා සමග විවාහ වනවා. ඔවුන්ගෙන් පැවත එන්නන් හරහා ඉයුජින් ඩෙන්මාර්කය, නෝර්වේ, බෙල්ජියම, ලක්සම්බර්ග් යන රටවල රාජකීය පවුල්වල මිතුන්මිත්තෙක් බවට පත්වනවා

 

 

5. පෘතුගාලයේ රජ පදවිය අහිමිවුණු කුමාරයා 

ඉයුජින්ගේ තවත් පුත්‍රයෙකු වන ඔග්ස්ටේ පෘතුගාලයේ රැජින බවට පත් වූ දෙවැනි මාරියා සමඟ විවාහ වුණා. එම විවාහ ගිවිසුමේ නීති ප්‍රකාරව ඔවුන් දෙදෙනාට පිරිමි දරුවෙකු ලැබීමෙන් අනතුරුව පෘතුගාලයේ රජ පදවිය පවා ඔගස්ටේ හට හිමිවීමට නියමිතව තිබුණා. නමුත් අවාසනාවකට මෙන් සිය විවාහයෙන් මාස කීපයක් ගත වන්නට පෙර ඔගස්ටේ මියගියා.

 

 

6. බ්‍රසීලයේ අධිරාජනිය බවට පත්වූ අමේලියා

ඉහත සඳහන් කළ පෘතුගාලයේ දෙවනි මරියා රැජිනගේ පියා වූ බ්‍රසීලයේ පළමු පේඩ්‍රෝ අධිරාජ්‍යයා සිය පළමු බිරිඳගේ මියයාමෙන් පසුව සිය විවාහය සඳහා තෝරා ගත්තේ ඉයුජින්ගේ තවත් දියණියක වන අමේලියා කුමරියයි. එම විවාහයෙන් ලැබුණු දියණියට මාරියා අමේලියා නම් තැබුණු අතර ඔස්ට්‍රියානු රජ පවුලේ සාමාජිකයකු සමඟ විවාහ වීමට නියමිතව තිබුණත්, ඇය ඉන් පෙර ක්ෂය රෝගය වැළඳීම නිසා මිය ගියා.

 

 

7. රුසියානු රජ පවුලට එකතු වුණ පුත් කුමාරයා 

ඉයුජින්ගේ බාලම පුත්‍රයා වූ මැක්සිමිලියන්, පළමු නිකොලොස් සාර් අධිරාජයාගේ දියණියක වන මාරියා නිකලොව්යානා සමඟ විවාහ වුණා. ඔවුන් දෙදෙනාගෙන් පැවත එන්නන් සිය පරිත්‍යාගශීලීත්වය නිසා රුසියාව තුළ අතිශයින් ජනාදරයට පත්වූ අතර යුරෝපයේ අවශේෂ රජ පවුල් සමඟද ඥාති සම්බන්ධතා ගොඩනගා ගනු ලැබුවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *