බෙරි වර්ග වලින් හදන්න පුළුවන් කෑමබීම ටිකක් බලමුද?

ගොඩක් ඩෙසර්ට් වලට, කේක්, ස්මූති හදන්න ගන්න බෙරි ගැන අද ටිකක් කතා කරන්න හිතුවා. මේවා ලංකාවෙ නම් මිලෙන් ටිකක් වැඩියි. ඒ වගේම ලංකාවෙ වැවෙන බෙරි වර්ගත් සීමිතයි. නමුත් ෆ්‍රෝසන් පැකට් විදියට අපිට මේ හැම බෙරි වර්ගයක්ම සුපර්මාර්කට් වලින් මිලදී ගන්න පුළුවන්. මිල වැඩි වුණත් ගොඩක් ගුණ හා රස නිසාම අපි මේවා පාවිච්චි කරනවා. අද අපි බලමු මේ බෙරි වර්ග වලින් හදන්න පුළුවන් කෑමබීම මොනවද කියලා. 

 

1. ස්ට්‍රෝබෙරි කොබ්ලර් (Strawberry Cobbler) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක් 
  2. සීනි කෝප්ප 1 
  3. කෝන් කප් 1/4
  4. ලුණු කුඩු තේ හැඳි 1
  5. දෙහි යුෂ මේස හැඳි 2

 

බැටර් එක සඳහා 

 

  1. පාන්පිටි කෝප්ප 3/4
  2. සීනි කෝප්ප 1 /4
  3. ලුණු  
  4. බේකින් පවුඩර් තේ හැදි 3/4
  5. මෙල්ට් කරගත් බටර් කෝප්ප 1/4 
  6. හෙවි ක්‍රීම් කෝප්ප 1

 

  • ස්ට්‍රෝබෙරි ගෙඩි පොඩියට කපාගන්න. කපාගත් ස්ට්‍රෝබෙරි බෝල් එකකට දා ගන්න. 
  • ඒකටම සීනි, කෝන්, ලුණු කුඩු, දෙහි යුෂ දාලා හොඳින් කලවම් කරන්න. ඊළඟට මේක විනාඩි 5ක් මයික්‍රොවේව් කරගන්න. 
  • වෙනම බෝල් එකක් අරගෙන ඒකට පිටි, සීනි, ලුණු කුඩු, බේකින් පවුඩර් දාලා හොඳින් කලවම් කරන්න. ඒකට බටර් එක් කරන්න. හොඳට අතින් කලවම් කරන්න. හොඳට කලවම් වුණාම ඒකට හෙවි ක්‍රීම් එක් කරන්න. නැවත හොඳින් කලවම් කරන්න. 
  • බේකින් ට්‍රේ එකක් අරගෙන ඔයිල් බ්‍රශ් කරලා මේ බැටර් එක දාගන්න. ඊළඟට මයික්‍රොවේව් කරපු ස්ට්‍රෝබෙරි ටිකත් උඩින් දාගන්න. දැන් මේක සෙල්සියස් 180°ට විනාඩි 40ක් බේක් කරන්න. 

 

2. බ්ලැක්බෙරි ස්මූති (Blackberry Smoothie) 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බ්ලැක්බෙරි කෝප්ප 1/2
  2. කෑලි කපාගත් කෙසෙල් ගෙඩි 2
  3. යෝගට් 1
  4. කිරි කෝප්ප ½
  5. අයිස් කියුබ්ස්

 

  • බ්ලෙන්ඩර් කප් එකට කෙසෙල්, බ්ලැක්බෙරි හා කිරි ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 
  • මේකට අයිස් කියුබ්ස් එකතු කරල ආයෙත් බ්ලෙන්ඩ් කරගෙන බීමට ගන්න. 

 

3. බ්ලූබෙරි අයිස්ක්‍රීම් (Blueberry Ice Cream) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ෆ්‍රෝසන් බ්ලූබෙරි ග්‍රෑම් 200
  2. සීනි කෝප්ප 1/4
  3. හෙවි ක්‍රීම් කෝප්ප 2
  4. ටින්කිරි කෝප්ප 1

 

  • බෝල් එකකට බ්ලූබෙරි, සීනි හා වතුර මේස හැන්දක් දාලා විනාඩි 5ක් මයික්‍රොවේව් කරගන්න. මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ පියුරි එක පෙරාගන්න. 
  • කූල් කරගත් භාජනයකට හෙවි ක්‍රීම් ටික දාලා ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරන්න. මේකට ටින්කිරි ටික දාගන්න. ටින්කිරි දාලා බීට් නොකර ඒ මේ අත පැතලි හැන්දකින් පෙරලමින් කලවම් කරගන්න. 
  • දැන් බ්ලූබෙරි පියුරි එකත් දාලා කලවම් කරගන්න. 
  • ඊළඟට මේක එයා ටයිට් කන්ටේනර් එකක දාලා පැය 6ක් ෆ්‍රීස් කරන්න. ඊටපස්සෙ රස කර කර කන්න තමා තියෙන්නෙ.

 

4. රාස්ප්බෙරි චීස්කේක් (Raspberry Cheesecake) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රාස්බෙරි කෝප්ප 2
  2. මාරි බිස්කට් පැකට් 3
  3. මෙල්ටඩ් බටර් කෝප්ප 1/4
  4. ජෙලටින් තේ හැඳි 1 1/2
  5. දෙහි යුෂ මේස හැඳි 2
  6. කෝන් ස්ටාර්ච් මේස හැඳි 2
  7. සීනි කෝප්ප 1/4
  8. ක්‍රීම්චීස් ග්‍රෑම් 400
  9. අයිසින් ෂුගර් කෝප්ප 3/4
  10. වැනිලා ස්වල්පයක් 
  11. විප්ක්‍රීම් කෝප්ප 3/4

 

  • බිස්කට් ටික බ්ලෙන්ඩර් ‍එකට දාලා කුඩු කරගන්න. මේකට මෙල්ටඩ් බටර් ටිකත් දාගන්න.
  • දැන් හොඳට කලවම් කරලා කේක් එක හදන ස්ප්‍රින්ග් ෆෝම් පෑන් එකේ අඩියට දාලා හොඳට තද කරලා, තුනී කරලා පැය 1/2ක් ෆ්‍රිජ් එකේ දාගන්න. 
  • දෙහි යුෂ වලට ජෙලටින් දාලා විනාඩි 5ක් තියන්න. දැන් පෑන් එකක් ලිපේ තියලා මේ ජෙලටින් ටික දාගන්න. 
  • ඒකට කෝන්ස්ටාර්ච් ටිකත් දාගන්න. සීනි ටිකත් දාලා ලිප ඔන් කරගන්න. මද ගින්නෙ හැඳිගාන්න. ටිකකින් රාස්බෙරි ටිකත් දාගන්න. රාස්බෙරි ටික තැම්බිලා තික් පියුරි එකක් හැදෙනකල් හැඳිගාන්න. දැන් මේක පෙරාගෙන ෆ්‍රිජ් එකේ දාගන්න. 
  • වෙනම බෝල් එකකට ක්‍රීම්චීස් ටික දාලා බීට් කරගන්න. ටිකකින් හලාගත් අයිසින් ෂුගර් ටික ටික එකතු කරමින් බීට් කරන්න. වැනිලා ටිකත් දාගන්න. බීට් කරන ගමන් රාස්බෙරි පියුරි එකත් ටික ටික එකතු කරන්න. ස්මූත් වෙනකල් හොඳට බීට් කරගන්න. 
  • කූල් කරපු බෝල් එකකට විප්ක්‍රීම් ටික දාලා සොෆ්ට් පීක් වෙනකල් බීට් කරන්න. ඊළඟට මේක රාස්බෙරි සහ චීස් මිශ්‍රණය දාලා පත්තකින් කලවම් කරගන්න. දැන් බිස්කට් ලේයර් කරපු කේක් පෑන් එකට මේ ටික දාලා ලෙවල් කරගන්න. පැය 8ක් විතර ෆ්‍රිජ් එකේ දාලා අරන් කැමති විදියට ඩෙකරේට් කරගන්න. 

 

5. ක්‍රෑන්බෙරි ලෙමනේඩ් (Cranberry Lemonade) 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. වියළි ක්‍රෑන්බෙරි කෝප්ප 1/4
  2. සෝඩා කෝප්ප 1
  3. පැණි මේස හැඳි 2
  4. දෙහි පෙති කිහිපයක් 
  5. දෙහි යුෂ මේස හැඳි 2
  6. අයිස් කියුබ් කෝප්ප 1

 

  • ක්‍රෑන්බෙරි වලට වතුර ටිකක් දාගන්න. මේකට දෙහි පෙති ටිකත් දාලා පැය 1/2ක් පෙඟෙන්න තියන්න. පෙඟෙන්න තියපු ක්‍රෑන්බෙරි ටික පෙරලා අරන් බ්ලෙන්ඩර් එකට දාගන්න. පැණි හා දෙහි යුෂ ටිකත් එකතු කරලා බ්ලෙන්ඩ් කරන්න. 
  • බ්ලෙන්ඩ් කරගත්තට පස්සෙ මේකට සෝඩා මේස හැඳි 2-3ක් දාලා ආයෙ බ්ලෙන්ඩ් කරගන්න. අයිස්කැට දාපු කෝප්පෙකට මේ පියුරි එක දාලා අවශ්‍ය තරම් සෝඩා දාලා පිළිගන්වන්න.

 

6. වුල්ෆ්බෙරි ස්මූති – Goji Berry (Wolfberry) Smoothie 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. Dried Goji berry කෝප්ප 1
  2. කපාගත් කෙසෙල් ගෙඩි 1
  3. කපා ඇට ඉවත් කරගත් දොඩම් ගෙඩි 1
  4. චියා සීඩ්ස් මේස හැඳි 2
  5. ලෙමන් යුෂ කෝප්ප 1/2
  6. වතුර කෝප්ප 1/2
  7. අයිස් කියුබ්ස් කෝප්ප 1

 

  • බ්ලෙන්ඩර් එකට කපාගත් කෙසෙල්, දොඩම් හා චියා සීඩ්ස් ටික දාලා ලෙමන් යුෂ දාගන්න. වතුර ටිකත් එකතු කරලා බෙරීස් ටික දාගන්න. ස්මූත් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. 
  • ඊළඟට අයිස් කියුබ්ස් දාලා බ්ලෙන්ඩ් කරගන්න. හොඳටම බ්ලෙන්ඩ් උනාම මේක ජූස් ජාර් එකට දාලා පිළිගන්වන්න. 

 

7. මල්බෙරි ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පිරිසිදු කරගත් මල්බෙරි 1kg
  2. දුඹුරු සීනි 150g
  3. කෝන් ෆ්ලා මේස හැඳි 1
  4. වතුර කෝප්ප 2 

 

  • භාජනයකට මල්බෙරි ටික දාන්න. ඊළඟට ඒකට දුඹුරු සීනි හා වතුර එක් කරන්න. හොඳට මික්ස් කරන්න. 
  • ඒක ලිපේ තියලා මද ගින්නෙ පිසගන්න. ඒ අතරතුර කෝන් ෆ්ලා වලට වතුර ටිකක් කලවම් කරලා මේකට එකතු කරගන්න. 
  • ටිකකින් බෙරීස් තැම්බිලා ජෑම් එක හැදෙනවා පෙනෙයි. තවත් විනාඩි 20ක් විතර හොඳට හැඳි ගාලා ලිපෙන් බාගන්න. ජීවාණුහරණය කළ බෝතලයකට දාලා හුළං නොවදින්න අසුරගන්න. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *