හොර පාරෙන් නැතුව හරි පාරෙන් ෆිල්ම්ස්, ටීවී සීරීස්, ගේම්ස්, මියුසික් රස විඳින්නේ මෙහෙමයි!

සාමාන්‍යයෙන් මීට අවුරුදු විස්සකට, විසි දෙහෙකට විතර කලින් අපි කම්පියුටර් අත පත ගාන්න ගත්තු අලුත ඉතින් සල්ලි දීලා ගත්තේ කම්පියුටරේ සහ ඒකට අත්‍යාවශ්‍ය අනං මනං කෑලි බෑලි ටික විතරයි. ඒකට දාපු සොෆ්ට්වෙයාර්, ගහන්න හොයාගත්තු ගේම්, අහන්න ආසාවට ඩවුන්ලෝඩ් කරපු සිංදු, බලන්න ආසාවට ගත්තු ෆිල්ම්ස් වගේ හැමදෙයක්ම දෙයියනේ කියලා හොර කොපි තමයි. ඇත්තම කියනවා නම්, මීට අවුරුදු දහයකට පහළොවකට කලින් වෙනකොටත්, ඕනම දෙයක් හොරට ඩවුන්ලෝඩ් කරන්න තැන් තිබ්බා. අර පයිරේටින් කියන්නේ ඒකට තමයි. ආයෙ ඕනම දෙයක් ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට්ස්, ඉන්ඩෙක්ස් ඩවුන්ලෝඩ් වල ඉඳලා, සිංදු හොරට බාන්න තිබුණු LimeWire ඉඳන් එක එක P2P සේවාවන් දක්වා එව්වා ඒ කාලේ තිබුණා. 

හැබැයි ඉතින් ඕක සාධාරණ වැඩක් නෙවෙයි. ඒ මදිවට වයිරස් සහ වෙනත් මැල්වෙයාර් පවා හිටු කියලා සෙට් වෙන ෂුවර් ක්‍රම තමයි ඔව්වා. ආයෙ ඒ කාලෙ වෛරස් ගාඩ් ඩවුන්ලෝඩ් කළෙත් හොරටනේ!

කොහොම වුණත් දැන් වෙනකොට ලෝකේ පයිරසි වලට තියෙන තැන අඩුවීගෙන යනවා. ඒ වෙනුවට සාධාරණ විදියට සොෆ්ට්වෙයාර්, ගේම්ස්, මූවීස්, ටීවී සීරීස් භාවිතා කිරීමේ රැල්ලකුත් යම් තාක් දුරකට තියෙනවා. ඉතින් අපි හිතුවා, අන්න එහෙම සාධාරණ බුවාලට සෙට් වෙන සාධාරණ ක්‍රම කීපයක් ගැන කියන්න. 

 

1. Spotify

ඇත්තටම දැන් කාලේ අපිට ඕනම සිංදුවක් බොහොම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනම වෙලාවක තැන් තියෙනවා. එහෙම නැතිනම් යූටියුබ් එකට ගිහින් වුණත් අහන්න පුළුවන්. හැබැයි නීත්‍යානුකූල විදියට සිංදු අහන්න/ඩවුන්ලෝඩ් කරගන්න හිතනවා නම්, Spotify කියන්නේ ඒකට තියෙන ලෝකෙම ප්‍රසිද්ධ සේවාවක්. මේක ෆ්‍රී ලබාගන්නත් පුළුවන්. හැබැයි සල්ලි ගෙවලා ප්‍රීමියම් සංස්කරණය ගත්තොත්, සිංදු ඕන තැනක ඉඳන් අහන්න ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇඩ්ස් බලන්න  වෙන්නෙ නෑ. මේකේ තියෙන ඕනම සිංදුවක් අහන්නත් පුළුවන්. ඕන තරම් ස්කිප් කරන්නත් පුළුවන්. ලංකාවේ Spotify ප්‍රීමියම් සංස්කරණය ගන්නවා නම්, ඒකට එක්කෙනෙක්ට ගෙවන්න වෙන්නේ රුපියල් 529 යි මාසෙකට. ශිෂ්‍ය භාවය සනාථ කරන්න පුළුවන් නම් ඒකෙන් බාගයක් ගෙවන්න ප්ලෑන් එකකුත් තියෙනවා.

 

 

2. ලයිව් ටීවී ස්ට්‍රීමින්ග් සේවා

මේ කියන්නේ මාසෙකට යම් ගාණක් ගෙවලා ෆිල්ම්ස්, ටීවී සීරීස් එහෙම බලන්න පුළුවන් ක්‍රම ගැන. මේවා බලන්න වෙන්නේ ඔන්ලයින් තමයි. ඒ කියන්නේ ස්මාට් ටීවී, කම්පියුටර්, ටැබ්, ෆෝන්, ප්ලේස්ටේෂන් වගේ ඕනම ස්මාට් උපාංගයකින් බලන්න පුළුවන්. හොඳම උදාහරණය වෙන්නේ හැමෝම දන්න නෙට්ෆ්ලික්ස්. ඇත්තටම මාසෙකට ඩොලර් 10 කට අඩු ගාණක් ගෙවලා, ෆිල්ම්ස් සහ ටීවී සීරීස් සෑහෙන ප්‍රමාණයකට ප්‍රවේශ වෙන්න පුළුවන් Netflix ඔස්සේ. හැබැයි ඒක විතරක් නෙවෙයි තියෙන ස්ට්‍රීමින්ග් සේවාවන්. YouTube TV එකත් සෑහෙන්න ප්‍රසිද්ධ වේගෙන එන ස්ට්‍රීමින්ග් සේවාවක්. එතකොට HULU, HBO Max, Amazon Prime වගේ එව්වත් තියෙනවා.

ඒ ඇරෙන්න තව iFlix, එතකොට ඩයලොග් එකෙන් කරන ViU LIve TV එහෙමත් අයිති වෙන්නේ මේ කාණ්ඩෙට තමයි. මේවාත් ලොකු ගණන් ගෙවන්න ඕන එව්වා නෙවෙයි. ViU LIve TV සබ්ස්ක්‍රිප්ෂන් මාසෙකට රුපියල් 150 ක විතර ඉඳන් පටන් ගැනෙනවා. 

 

3. ඔරිජිනල් සොෆ්ට්වෙයාර්

අපි ඉතින් කම්පියුටර් අත පත ගාපු කාලෙ ඉඳලම දෙයියනේ කියලා හොර කොපි තමයි පාවිච්චි කළේ වින්ඩෝස් වල ඉඳලම. නැද්ද හා? හැබැයි දැන් දැන් වෙනකොට ඔය වින්ඩෝස් වලට, ඔෆිස් පැකේජ් වලට එහෙම හොර කොපි පාවිච්චි කරන එක එක්තරා දුරකට වාතයක් වෙලා තියෙන්නේ. මොකද, දැන් හොර කොපි අහුවෙලා බ්ලැක්ලිස්ට් වෙන ඉඩ වැඩියි. 

ඉතින් අන්න ඒ නිසා නිතරම අපි පාවිච්චියට ගැනෙන සොෆ්ට්‍වෙයාර් එකක් තියෙනවා නං, ඒ සොෆ්ට්වෙයාර් සල්ලි දීලා ගන්න එක ලාබයි. මොකද, මොනවා හරි ප්‍රශ්නයක් මතු වුණත්, එතකොට ඒ සම්බන්ධයෙන් සේවා සැපයීමක් සිදුවෙන හින්දා. ඇත්තටම මේ සොෆ්ට්වෙයාර් හිතන තරම් ගණන් නැහැ හරි විදියට වැඩේ කරගත්තොත්. උදාහරණයක් විදියට මයික්‍රොසොෆ්ට් 365 පැක් එක ගත්තොත්, අවුරුද්දට වෙන්නේ රුපියල් 15,990 ක් විතරයි. මේකට ඇතුළත් වෙනවා සම්පූර්ණ ඔෆිස් පැකේජ් එක, මයික්‍රොසොෆ්ට්‍ ටීම්ස් සහ තවත් සෑහෙන්න පහසුකම්. ඒ වගේම මේක හය දෙනෙක් අතරේ ෂෙයාර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ තව පස් දෙනෙක් හොයාගෙන මේක ගන්න පුළුවන් නම්, ඇත්තටම එක්කෙනෙක්ට ගෙවන්න වෙන්නේ අවුරුද්දටම රුපියල් 2,700 ක් වගේ ගාණක්.

 

4. ඕපන් සෝර්ස්

එහෙම ගාණක් ගෙවන්නත් බෑ වගේ නම්, හැබැයි හොර කොපි වලට ඒ තරම් කැමැත්තකුත් නැතිනම්, සොෆ්ට්වෙයාර් සම්බන්ධයෙන් ගත්තහම ඊලඟට හොඳම ඔප්ෂන් එක තමයි විවෘත කේත, නිදහස් මෘදුකාංග. ඔය ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝර්ස් සොෆ්ට්වෙයාර් කියලා දන්න සිංහලෙන් කියන්නේ ඒවට. ඇත්තටම මේ වෙනකොට සල්ලි ගෙවලා ගන්න ඕන ගොඩක් ප්‍රමුඛ පෙළේ සොෆ්ට්වෙයාර් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්, සෑහෙන්න හොඳ මට්ටමේ FOSS (Free and open source software) තියෙනවා

 

වින්ඩෝස් වෙනුවට කෙලින්ම Linux distro පාවිච්චි කරන්න පුළුවන්. පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව අතින් Linux distro ඉතාම වටිනවා. ඔටෝකැඩ් වෙනුවට BRL-CAD හොඳයි. ෆොටෝෂොප් වෙනුවට Gimp තියෙනවා. ඉලස්ට්‍රේටර් වෙනුවට Inkscape තියෙනවා. මයික්‍රොසොෆ්ට් ඔෆිස් වෙනුවට OpenOffice හරි LibreOffice හරි පාවිච්චි කරන්න පුළුවන්. මේ කීපයක් විතරයි.

 

5. Game Streaming/PlayStation/Xbox

අපි උඩිනුත් කියපු විදියට දන්න කාලේ ඉඳන් වීඩියෝ ගේම් ගැහුවේ හොර කොපි අරගෙන, එහෙම නැතිනම් යාලුවෙක් ගාව තියෙන හොර කොපියක් දාගෙන තමයි. හැබැයි ඉතින් මෙහෙම ක්‍රැක් කරපු ගේම් එකක් ඉන්ස්ටෝල් කරලා ගහන එක පට්ටම ගේමක්. ඇයි, ගොඩක් වෙලාවට ලොකු ගේම්ස් අපේ කම්පියුටර් එකේ ස්පෙසිෆිකේෂන් වලට සපෝට් කරන්නෙ නෑ. එහෙම සපෝට් කළත් මොකක් හරි dll ෆයිල් එකක් මිසින්, ඒ නිසා ගේම් එක ස්ටාට් වෙන්නෙ නෑ කියලා නෝටිෆිකේෂන් එකක් එයි. එතකොට කම්පියුටර් එක අල්ලලා පොළවෙ ගහන්න හිතෙන ෆීලින් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

 

හැබැයි මේ ප්‍රශ්න නැතිව හිත නිදහසේ ගේම්ස් ගහන්න පුළුවන් විදියක් තමයි ගේමින් කොන්සෝල් එකක් ගන්න එක. PlayStation හරි Xbox හරි ඒවයින් සෑහෙන්න ප්‍රචලිතයි. හැබැයි ඉතින් වැඩේ ටිකක් ගණන්. දැනටත් PS4 එකක් රුපියල් 60,000 ක් විතර වෙනවා. හැබැයි පාවිච්චි කරපු එකක් එයින් බාගෙකට වගේ ගන්න පුළුවන්. ගේම්ස් වුණත් රුපියල් 2000 ඉඳලා ගන්න තියනවා. ඕන නම් සබ්ස්ක්‍රිප්ෂන් එකක් සල්ලි වලට අරගෙන ඩිජිටල් ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒක ගණන් වැඩියි නම්, PS3 කොන්සෝල් එකකට යන්නත් පුළුවන්. ඒක පරණයි තමයි. ඒත් තාමත් කොලිටි. ඒ වගේම අඩු ගාණට ගන්න පුළුවන් සිරාම ගේම් ටයිට්ල්ස් බර තොගයක් PS3 එකටත් තියෙනවා.

 

එහෙම නැතිනම් ඉතින් කම්පියුටර් එකේම ගේම්ස් ගහන්න, සල්ලි දීලා ඩවුන්ලෝඩ් කරගන්න ගේම්ස් ස්ට්‍රීමින්ග් සේවාවකට යන්නත් පුළුවන්. Nvidia GeForce Now, PlayStation Now, Google Stadia වගේ සේවාවන්ගෙන් තමන්ට ගැලපෙන එකක් තෝරගන්න පුළුවන්.

 

6. PEO TV/ Dialog TV

දැන් ඔය ෆිල්ම්ස් එහෙම බලන්න ගොඩක් අය ලේසියෙන්ම ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන එක කරනවනේ. අපි ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් ස්ට්‍රීමින් සේවාවන් ගැන උඩින් කියලා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙවෙයි. ටීවී එකෙන් ෆිල්ම්ස් එහෙම බලන්නත් පුළුවන් PEO TV හරි Dialog TV හරි වෙනත් ඒ වගේ සැටලයිට් ටීවී/කේබල් ටීවී සේවාවක් ලබාගත්තොත්. මේ වල ෆිල්ම්ස් එහෙම විතරක් යන, එහෙම නැතිනම් ටීවී සීරීස් විතරක් යන චැනල්ස් තියෙනවා විතරක් නෙවෙයි. වෙනම ෆිල්ම්ස් ලයිබ්‍රීස් එහෙමත් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, PEO TV එකේ තියෙනවා එක එක භාෂාවන්ට, එක එක කාණ්ඩ වලට බෙදලා ෆිල්ම්ස් බර තොගයක්. මේවෑයින් සාමාන්‍යයෙන් පරණ ෆිල්ම්ස් නම් සම්පූර්ණයෙන්ම නොමිලේ. හැබැයි අලුත්ම ෆිල්ම්ස් බලන්න ගොඩක් වෙලාවට රුපියල් 75, රුපියල් 100 හෝ උපරිම රුපියල් 150 ක් වගේ ගෙවන්න වෙනවා. එහෙම ගෙවලා ගන්න ෆිල්ම් එකක් සතියක් විතර කාලයක් සඳහා බලන්න වලංගුයි. මේක ඇත්තටම වටින්නේ ඔය ලේසියෙන් හොයාගන්න අමාරු සිංහල ෆිල්ම්ස් එහෙම බලන්න තමයි.

 

7. පරණ තාලෙට ෆිල්ම් හෝල්

ඔය එකක්වත් නැතිනම් ඉතින් පරණ විදියට ෆිල්ම් එකක් බලන්න ෆිල්ම් හෝල් එකකට යන්න වෙනවා. හැබැයි ඇත්තටම ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන එකේ තියෙනවා වෙන කිසිම දේක නැති විශේෂත්වයක්. ඒ තමයි දැවැන්ත තිරයේ, නියම සිනමාත්මක අත්දැකීමක් ලැබෙන එක. ඒක ඉතින් ගෙදර අඟල් 55 ටීවී එකක ෆිල්ම් එකක් බැලුවත් දැනෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් හාරපන්සීයේ ඉඳලා ෆිල්ම් හෝල් එකක ටිකට් කැඩුණත්, කොළඹ ඔය ලොකු හෝල් එකක ෆිල්ම් එකක් බලනකොට ටිකට් එකක් රුපියල් 800 ඉඳලා රුපියල් 1200 දක්වා වගේ මිල වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එකක්. දැවැන්ත තිරයක සිනමා කොලිටියෙන්, ඒ විදියෙම ඕඩියෝ කොලිටියත් එක්ක ෆිල්ම් එකක් බලන එක්ස්පීරියන්ස් එක ඒ ගාණට වටිනවා!

 

මේ ටික කියවනකොට අපිට ඇත්තටම පැහැදිළි වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි, සාධාරණ විදියට ෆිල්ම් එකක් වුණත්, ටීවී සීරීස් එකක් වුණත්, ගේම් එකක් වුණත්, සිංදුවක් වුණත් රසවිඳින්න ඇත්තටම ලොකු මුදලක් යන්නෙ නැහැයි කියන එක. ඒ කියන්නේ අපි ඔයිට වඩා සල්ලි අනවශ්‍ය දේවලට නාස්ති කරනවා. ඉතින් ඒ නිසා, අද ඉඳන් හරි පයිරසි වලට ලොකු බරක් නොදී සාධාරණ විදියට විනෝදාස්වාදය සහ වැඩකටයුතු සඳහා සහය ලබාගන්නවා නම්, ඒක ලොකු දෙයක්.

 

සමහර වෙලාවල් තියෙනවා පයිරසි ඕන වෙන. ආයෙ කොහෙන්වත් හොයාගන්න බැරි ෆිල්ම් එකක් සමහර වෙලාවට තියෙන්නේ ටොරන්ට් සයිට් එකක වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා නම් අවුලක් නෑ ඉතිං!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *