දඹදෙණිය යුගය බැබළවූ දෙවන පරාක්‍රමබාහු රජු

කාලිංග මාඝගේ ආක්‍රමණයත් එක්ක පොලොන්නරුව රාජධානිය බිඳවැටීම සිද්ධ වුණා වගේම, සමස්ත රජරට ශිෂ්ටාචාරයම අවසන් සුසුම් හෙළුවා.ඒත් එක්කම අවුරුදු දාහක පමණ කාලයක් තමන්ගේ මුතුන් මිත්තන් වාසය කරපු පිහිටි රට අත්හැරලා මායා රටට ඒ කියන්නේ ලංකාවේ නිරිතදිග ප්‍රදේශයට සිංහලයෝ සංක්‍රමණය වෙන්න ගත්තා. මේ නිසා පොලොන්නරුවෙන් පස්සේ සිංහල රාජධානිය බවට පත්වෙන්නෙ දඹදෙණිය. අපි අද කතා කරන්න යන්නේ මෙම දඹදෙණිය යුගය බබළවපු  සුවිශේෂී පාලකයකු පිළිබඳව.

 

 

1. පිය පරපුර සහ බාල කාලය

දඹදෙණිය පළමුවරට රාජධානියක් බවට පත් කරගත්ත තුන්වැනි විජයබාහු රජුගේ පුත්‍රයා තමයි දෙවැනි පරාක්‍රමබාහු. මෙතුමාගේ බාල කාලය පිළිබඳව විවිධ ජනප්‍රවාද පවතිනවා. රජ මැදුරේ ඇතිවුණු කුමන්ත්‍රණයක් නිසා ගැමි ගෙදරක රජ කුමාරයා හැදී වැඩුණු බවයි ඉන් එකක කියවෙන්නේ. සිරි පැරකුම් චිත්‍රපටයට පාදක වෙන්නෙත් මේ කතාව. නමුත් සමකාලීන මූලාශ්‍රවල සඳහන් වෙන විදිහට තුන්වැනි විජයබාහු රජතුමා විසින්ම දෙවැනි පරාක්‍රමබාහු කුමාරයව රජකමට පත් කරලා තියෙනවා.

 

 

2. කාලිංග මාඝ නෙරපා හැරීම

තමන්ගේ පියතුමාගේ සහ සමස්ත රට වැසියාගේම අභිලාෂය මුදුන්පත් කරමින් කාලිංග මාඝව ලංකාවෙන් නෙරපා හරින්න දෙවැනි පරාක්‍රමබාහු රජතුමා සමත් වෙනවා. මූලාශ්‍රවල කියවෙන විදිහට දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ සේනා සංවිධානයේ වූ විශිෂ්ටත්වය නිසා පොලොන්නරුව අතහැරලා කාලිංග මාඝ සහ ඔහුගේ සහායක රජකෙනෙක් ඉන්දියාවට යන්න හිතාගෙන මන්නාරමට පලා යනවා. නමුත් ඒ අවස්ථාවේදී ඔවුන්ව වටලා පහර දෙන්න දෙවැනි පරාක්‍රමබාහු රජු ක්‍රියා කරනවා.

 

3. චන්ද්‍රභානු ආක්‍රමණය

කාලිංග මාඝගේ අභියෝගය සාර්ථකව මැඩ පැවැත්වුවත් දෙවැනි පරාක්‍රමබාහු රජතුමාට තවත් විදේශීය අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. ඒ චන්ද්‍රභානු නම්  ජාවක රජු ලංකාව ආක්‍රමණය කිරීමට පෙළඹීම නිසයි. සමහර විද්වතුන්ට අනුව චන්ද්‍රභානු කියන්නේ බෞද්ධ රජ කෙනෙක්. කොහොම වුණත් මේ ආක්‍රමණයත් සාර්ථකව මැඩ පවත්වන්න  දෙවැනි පරාක්‍රමබාහු රජතුමා සමත් වෙනවා. නමුත් සමහර ඉතිහාසඥයන් නම් කියන්නේ චන්ද්‍රභානු විසින් ලංකාවේ උතුරුකරය අත්පත් කරගත්තා කියලායි.

 

4. ආගමික ප්‍රබෝධය 

භක්තිමත් බෞද්ධයෙකු වුණු මෙතුමා තුන්වැනි විජයබාහු රජතුමා විසින් ආරක්ෂාව සඳහා බෙලිගල දළදා මැදුරක් තනවා තැන්පත් කර තිබූ දළදා වහන්සේ දඹදෙනිය වෙත වැඩම කරවනවා. ඒ වගේම දඹදෙණියේ විජයසුන්දරාරාමය තවත් වැඩි දියුණු කරන අතරම රටපුරා විහාරස්ථාන තව තවත් දියුණු කරනවා. මේ සඳහා සංඝරක්ෂිත සංඝරාජ හාමුදුරුවෝ ඇතුළු බොහෝ හිමිවරු රජතුමාට උදව් කරනවා. ඒ වගේම විදේශ රටවලින් පවා විවිධ පැවිදි පඬිවරුන් ලංකාවට ගෙන්වාගැනීමට රජතුමා ක්‍රියා කරනවා.

 

5. සාහිත්‍ය ප්‍රබෝධය 

අපේ ආගමික මධ්‍යස්ථාන දියුණු කිරීමත් එක්ක අධ්‍යාපන කටයුතුත් ඉහළ යනවා. මේත් එක්කම යළිත් ලංකාව තුළ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති වෙනවා. රජතුමා පොත්පත් ලිවීමට කොතරම් අනුග්‍රහය දැක්වූවාද කියලා පැහැදිළි වීමට පූජාවලිය රචනා කිරීමෙන් අනතුරුව මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන්ට දක්වලා තියෙන සැළකිල්ල ගැන තියෙන සඳහන එක් සාක්කියක් වෙනවා. ඊට අනුව පූජාවලිය පොත මඟුල් ඇතු මත නංවලා සුවිශාල පූජාවක් කරල තියෙනවා.

මීට අමතරව සද්ධර්මරත්නාවලිය,  සිදත් සඟරාව, එළු සඳැස් ලකුණ වැනි කෘති මේ කාලයේදී රචනා වෙනවා.

 

6. රජතුමාගේ සාහිත්‍යකරණය

සිංහල කාව්‍ය වංශයේ විශිෂ්ටතම කාව්‍ය ග්‍රන්ථය විදිහට සැළකෙන කව්සිළුමිණ රචනා කරන ලද්දේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් කියන එක අපේ රටේ ප්‍රකට පිළිගැනීමක් (සමහර විද්වතුන් නම් මේ ගැන ඊට වඩා වෙනස් අදහසක් පළ කරනවා). නමුත් සමහර පඬිවරුන්ට අනුව දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් රචනා කරන ලද විශිෂ්ටතම කෘතිය වන්නේ විශුද්ධි මාර්ග සන්නයයි. රජතුමාගේ පාණ්ඩිත්‍යය සහ බහුශ්‍රැතභාවය මේ කෘතිය පරිහරණය කිරීමේදී වැටහෙනවා.

 

7. අවසාන කාලය 

රජතුමා තම අවසාන කාලයේදී කතා කිරීමේදී ගොත ගැසීමේ රෝගයකින් පෙළුණු බව අලුත්නුවර දේවාලය කරවීම කියන  ග්‍රන්ථයේ සඳහන් වෙනවා. මේ ග්‍රන්ථයට අනුව සෑම කාර්‍යකදීම රජතුමාගේ දකුණු අත විදිහට කටයුතු කරපු දේව ප්‍රතිරාජ ඇමතියා රජතුමාට සුවය පතා විවිධ ආගමික වතාවත්වල යෙදිලා තියෙනවා. රජතුමාගේ මරණයෙන් පස්සෙ යළිත් දඹදෙණිය තුළ අස්ථාවර භාවයක් ඇතිවෙනවා. ඒ පිළිබඳව තොරතුරු අපි ඉදිරි ලිපියකින් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.