අද අපි කතා කරන්නේ මේ ගෙවුණු දශකය තුළ අපිට අහිමි වුණ, අපේ සාහිත්‍ය කෙත පෝෂණය කළ සාහිත්‍යධරයන් කිහිප දෙනෙක් ගැනයි. සමහරවිට මොවුන් සමහරෙක් ඔබේ මතකයෙන් මේ වන විටත් ගිළිහිලා ගොස් අවසන් වන්නට ඉඩ තිබෙනවා. එහෙනම් අපි මතක් කරගමු අපෙන් සමුගත් එම විශිෂ්ටයන් ගැන.
1. සිබිල් වෙත්තසිංහ
ගිය අවුරුද්දේ සිදුවුණු සිබිල් නැන්දාගේ වියෝව ඔබට තවමත් අමතක නැතුව ඇති කියා අප සිතනවා. 2020 කියන්නේ ගොඩාක් වටිනා මිනිස්සු රැසක්ම අපිට නැතිවුන අවුරුද්දක්. සිබිල් නැන්දාගේ මරණය ඒ අතරින් දරාගත නොහැකි වියෝවක් වුණා. “වැනියං කළු වැනීයං, රසවතී, කුඩ හොරා” වගේ ජනප්‍රිය පොත් ගොඩාක් එතුමිය රචනා කළා. ඒ වගේම එතුමියගේ පොත්වල එන හරි අපූරු චිත්‍රත් නිමවුණේ එතුමිය අතින්මයි.
මුල් කාලේ අපිට පොත පත කියවන්න දුන්නු රුකුලම ඇති සිබිල් නැන්දාට නිවන් දකින්නට…
2. සෝමවීර සේනානායක
සෝමවීර සේනානායක මහතා ගැනනම් නොදන්න කෙනෙක් නැති තරම්. එතුමාගේ “යශෝරාවය” කෘතිය ලංකාවේ පාඨකයෝ අතර හරිම ජනප්‍රිය වුණා. ඒ වගේම එයින් නිමැවුණු ටෙලිනාට්‍යයත් අතිශයින්ම ජනප්‍රිය එකක් වුණා. එතුමාගේ “මවකගේ ගීතය” කෘතිය 71 කැරැල්ල පදනම් කරගෙන හරි අපූරුවට රචනා කරන ලද්දක්. සෝමවීර සේනානායක නම ටෙලිනාට්‍ය රසිකයන්ටත් ඉතාම හුරුපුරුදු නමක්. ඔහු තිරපිටපත් රචනයෙන් දායක වුණු “දූදරුවෝ”, “නෑදෑයෝ”, “පළිඟු මැණිකේ” වගේ ටෙලිනාට්‍ය අදටත් ප්‍රේක්ෂක මතකයේ ඉහළින්ම රැඳී තියෙන නිර්මාණ වෙනවා. 2018 වසරේදී එතුමා අප අතරින් සමුගත්තා.
3. සමරවීර විජයසිංහ
“ස්වයංජාත” කියන්නේ අපේ රටේ හැමෝම වගේ ආදරයෙන් වැළඳගත් කෘතියක්. ඒ වගේම එයින් නිමැවුණු අපූරු ටෙලිනාට්‍යයත් ලංකාවේ රසිකයන්ගේ නොමඳ ප්‍රතිචාර ලබා ගත්තා. සමරවීර විජයසිංහ මහතාගේ “වැස්ස වළාහක” පොතත් හරිම ලස්සන කතාවක් රැගත් කෘතියක්. “තැප්පා සේම ගිනි”, “බවතුරු යට” පොත් වලත් ඔහුටම අනන්‍ය වෙච්ච රසයක් ඔහු මවන්න සමත් වුණා. මෙතුමාත් අපේ අවාසනාවට දැන් අප අතර නැහැ. 2019 වසරේදී එතුමා අපෙන් සදහටම සමුගත්තා.
4. කරුණාදාස සූරියආරච්චි
කරුණාදාස සූරියආරච්චි එහෙම නැත්නම් කසුරි, අප සාහිත්‍ය කෙත පෝෂණය කරන්න කරපු හැම වැඩක්ම වගේ ගොඩාක් ඇගයීම් දිනාගත්තා. ඔහුගේ “රතු ඉද්ද” පොතෙන් සොබාදහම ගැන අපූරු පාඩමක් කියාදුන්න කසුරි “කළු දෝංකාරය” පොත හරහා යුද්ධයේ කුරිරු බව මවන්නටත් සමත් වුණා. “මම තවම යමි”, “උං ගියා දෙං” තමයි ඔහුගේ අපිට කියවන්න ලැබුණු අන්තිම පොත් දෙක. ඊට පස්සේ ඒ අපූරු රචකයා අතින් ලියැවුණු පොත් අපිට ආයේ කියවන්න ලැබුණේ නැහැ. 2014 වසරේදී එතුමා මෙලොවින් සමු ගත්තා.
5. සුසන්ත මහඋල්පත
සුසන්ත මහඋල්පත මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. අපි මේ ලිපියේ සඳහන් කරන අනිත් සාහිත්‍යධරයන් වගේම මෙතුමාගේ වියෝවත් ලොකු හිස්තැනක් අපේ රටට සහ සාහිත්‍යයට එකතු කළා. මෙතුමා රචනා කළ “පර්ජන්‍යා” කෘතියත් හරිම අගනා පොතක්. පැරණි බණ පොතක ආරය ගත්ත, භාෂාවෙන් පොහොසත් හරි අපූරු විශිෂ්ට කෘතියක් ඒක. ඒ වගේම ඇහැලේපොල නිළමේගේ පිටුවහලින් පසු සිංහල රාජධානිය බිඳ වැටීමේ කතාව ඇතුළත් “ආෂාඪ පුෂ්පය” කෘතියත් ඔහුගේ විශිෂ්ට නිර්මාණයක්. 2016 වසරේදී පිළිකා මාරයාට ගොදුරුව එතුමා දැයෙන් සමු ගත්තා. ඉතින් මහැදුරානනි ඔබටත් අපි නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා.
6. චන්ද්‍රසිරි දොඩංගොඩ
චන්ද්‍රසිරි දොඩංගොඩ මහත්මයා මුල් කාලයේදී ගොඩාක් ප්‍රසිද්ධ වන්නේ පුවත්පත් ලිපි රචකයෙක් විදියටයි. ඒ හැම ලිපියක්ම වගේ රසිකයින් විසින් ආදරයෙන් වැළඳ ගනු ලැබුවා. මීට අමතරව එතුමා ගොඩාක් ජනප්‍රිය කෘතීන් රැසක් රචනා කළා. ඒ වගේම කවියටත් එතුමා දස්කම් දැක්වුවා. “පූජාසනය”, “භෂ්මාවශේෂ”, “ආත්මා”, “සඳ කළුවරයි” ඒ අතරින් කිහිපයක්. මේ පොත් බොහොමයක්ම සම්මාන සහ නිර්දේශ ලබමින් ජනප්‍රිය වුණා.
කලක් දරුණු වකුගඩු රෝගයකින් පෙළුණු ඒ මහතා 2018 වසරේදී මෙලොව හැර ගියා. ඒ වන විට එතුමා 66 වන වියේ පසුවුණා.
7. ඉන්දික ගුණවර්ධන
මෙතුමාත් අපිට අකලට අහිමි වුණ දක්ෂ සාහිත්‍යකරුවෙක්. ඔහුගේ “හිතේ කෙටු ටැටූ” කවි පොත කවියට පෙම් බඳින පාඨකයන් අතර හරිම ජනප්‍රිය වුණා. ඒ විතරක් නෙමෙයි, හරුකි මුරකමි නම් අද්විතීය ලේඛකයාගේ “South of the Border, West of the Sun” කෘතියත් “දකුණු මායිමේ” නමින් ඉන්දික විසින් පරිවර්තනය කළා. “සුළි මැද පිපි තඹර” තමයි ඉන්දිකගේ පළමු නවකතාව. 40 වැනි වියේ පසුවද්දී 2017 වසරේදී ඉන්දික අපෙන් සදහටම සමු ගත්තා. කවියෙන්, නවකතාකරණයෙන් වගේම පරිවර්තන කෘති හරහා අපේ සාහිත්‍ය ක්ෂේත්‍රයට අගනා දායකත්වයක් දක්වන්න තිබූ ඔහුගේ අකල් වියෝව දැරි නොහැකි පාඩුවක්.
අපට මේ ලිපිය හරහා මඟහැරුණු මෑත කාලයේදී අපෙන් සමුගත් ලේඛක ලේඛිකාවන් ගැන කමෙන්ටුවකින් අපට කියන මෙන් අවසන් වශයෙන් අපි ඉල්ලා සිටිනවා.
Leave a Reply