ලෝක ප්‍රකට සිත්තරුන් ගැන රස කතා

අද වෙනකොට ලෝකය පුරාම සම්භාවනාවට ලක් වෙන චිත්‍ර පිටිපස්සේ වගේම ඒවා නිර්මාණය කරපු සුවිශේෂී නිර්මාණකරුවන් ගැනත් අතිශය රසවත් කතා තියනවා. සමහර කතා නම් හුදු කටකතාවන් විතරයි. බොහෝ වෙලාවට මේ වගේ කතා ගොඩනගලා තියෙන්නේ මේ සිත්තරාගේ රසිකයෙක් හෝ ඊර්ෂ්‍යාකාරයෙක්. හැබැයි සමහරක් කතා නම් සීයට සීයක් ඇත්ත. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ඒ වගේ රස කතා කීපයක්.

 

 

1. මොනාලිසා හොරකමට පැටලුණු පිකාසෝ

පිකාසෝ කියන්නෙත් අවිවාදයෙන්ම මෑතකාලීන කලා ඉතිහාසයේ ජීවත් වුණු විශිෂ්ටයා. හැබැයි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඔහුට පෙර ජීවත් වූ විශිෂ්ටයෙකුගේ විශිෂ්ටතම කෘතියක් සොරකම් කළා කියන චෝදනාව පිකාසෝට එල්ල වුණා.1911 දී ලූවර් කෞතුකාගාරයෙන් ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද සුප්‍රකට මොනාලිසා චිත්‍රය යම්කිසිවෙක් විසින් සොරා ගනු ලැබුවා. මේ කාලයේදී පිකාසෝ සතුව ලූවර් කෞතුකාගාරයෙන් සොරා ගනු ලැබුව කලා නිර්මාණ කීපයක්ම පවතින බවටද රාවයක් පැතිරුණා. පසුව හෙළි වී තිබෙන පරිදි මේ කලා නිර්මාණ සොරාගත් පුද්ගලයා ඉන් කීපයක් පිකාසෝ හට විකුණා දමා තිබෙනවා. නමුත් මොනාලිසා චිත්‍රය ඒ අතර තිබී නැහැ. විකුණුම්කරුගේ ඉතිහාසය පිළිබඳව එතරම් සොයා නොබැලූ පිකාසෝ විසින් ඒවා මිලදී ගෙන තිබෙන්නේ මේ කිසිවක් නොදැනයි. මේ චෝදනාව නිසා කෙටි කලකට පිකාසෝට සිරගත වන්නට පවා සිදු වුණා. නමුත් පසුව ඔහුව නිදහස් කරනු ලැබුවා.

 

2. යළි ඉපදුණු සැල්වඩෝර් ඩාලි

සුප්‍රකට කලා නිර්මාණකරුවකු වන සැල්වඩෝර් ඩාලි හට වැඩිමහල් සහෝදරයෙකු සිට තිබෙනවා. නමුත් මේ සහෝදරයා කුඩා වියේදීම එනම් ඩාලි ඉපදීමට නම මසකට පෙර මියගොස් තිබෙන්නේ ඔවුන්ගේ දෙමව්පියන් දැඩි ශෝකයකට පත් කරමින්. කුඩා වියේදී ඩාලිව ඔහුගේ සොහොයුරාගේ සොහොන වෙත ගෙන ගිය දෙමව්පියන් සොහොයුරාගේ වර්තමාන භවය ඩාලි බව පවසා තිබෙනවා. මේ අදහස ඩාලි තුළ කොතරම් දුරට කිඳා බැස්සා ද කියතොත් පසුකාලීනව ඔහු අතින් නිර්මාණය වුණු ඇතැම් චිත්‍ර වලට පවා කුඩා කලදී මියගිය තම සොහොයුරාගේ වැඩිවිය පත් ස්වරූපය ඇතුළත් කොට තිබෙනවා.

 

3. වැඩ ප්‍රමාද කළ ලියනාඩෝ ඩාවින්සි

අවිවාදයෙන්ම විශිෂ්ටයෙකු වූ ලියනාඩෝ ඩාවින්සි වැඩ කර තිබෙන්නේ ඔහුටම ආවේණික ක්‍රමයකටයි. එසේම කලා නිර්මාණයක් මහත් උද්‍යෝගයකින් ආරම්භ කරන ඔහු ඉන් ටික කලකට පසුව පළමු කලා නිර්මාණය අවසන් නොකොටම තවත් කලා නිර්මාණයකට යොමුවීම සාමාන්‍ය තත්ත්වයක්ව තිබී තිබෙනවා. මේ නිසාම ඩාවින්සි විසින් නිමා නොකරන ලද අසම්පූර්ණ චිත්‍ර රැසක් පවතිනවා. ඇතැම් මූලාශ්‍රවලට අනුව සුප්‍රකට අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය චිත්‍රය ඩාවින්සි විසින් නිමා කොට ඇත්තේ අදාළ කර්තව්‍යය ප්‍රමාද කිරීම නිසා එල්ලවුණු තර්ජන නිසායි.

 

 

4. වැන්ගෝගේ විකිණුනු එකම චිත්‍රය

අද වන විට ලෝක පූජිත චිත්‍ර ශිල්පියෙක් බවට වැන්ගෝ පත්ව සිටියත් ඔහු ජීවතුන් අතර සිටි කාලයේ දී ඔහුගේ චිත්‍ර සඳහා එතරම් ඉල්ලුමක් පැවතී නැහැ. ඇතැම් මූලාශ්‍රවලට අනුව මේ නිසා ඔහුට විකිණීමට හැකිව තිබෙන්නේ ඔහුගේ එකම එක චිත්‍රයක් පමණයි (කෙසේ වෙතත් ඇතැම් වාර්තාවලට අනුව ඔහු තම ඥාතීන්ට චිත්‍ර විකිණීමට සමත්ව තිබෙනවා). මේ නිසා ඔහු ආතතියෙන් කාලය ගත කොට ඇති බවට සාධක පවතිනවා.

 

 

5. පියරේ ඕගස්ටේ රෙනොයර්ගේ ධෛර්යය 

ධාරණවාදී චිත්‍ර සම්ප්‍රදායේ ආරම්භකයා ලෙස සැළකෙන රෙනොයර් අතිශයින්ම ධෛර්ය සම්පන්න පුද්ගලයෙක්. ආතරයිටීස් රෝගයෙන් පෙළුණු ඔහු සිය මරණය දක්වාම වසර 20ක පමණ කාලයක් එයින් පීඩා විඳිද්දී පවා සිය කලා කටයුතු අත්හළේ නැහැ. මේ නිසා තීන්ත බුරුසුව ඔහුගේ අතට දීමට සහායකයෙකු අවශ්‍ය වුණා. එසේම එම සහායකයා රෙනොයර්ගේ අවශ්‍යතාවය පරිදි වර්ණ සංකලනයන් සිදුකිරීමටද කටයුතු කළා.

 

 

6. කලා පාසලට ඇතුළත් වුණ ෆ්‍රැන්සිස්කෝ ගෝයා

ස්පාඤ්ඤයේ රාජකීය කලා පාසලට ඇතුළත්වීම සඳහා ගෝයා විසින් අවස්ථා දෙකකදී උත්සාහ කළත් එය සඵල වූයේ නැහැ. අවසානයේදී ඉතාලිය බලා ගිය ගෝයා, චිත්‍ර ශිල්පය එහි හැදෑරීමෙන් අනතුරුව යළි සිය රට පැමිණ ෆ්‍රැන්සිස්කෝ බ්‍යු නම් කලාකරු සමඟ  මිතුරු සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. මේ වනවිට බ්‍යු අදාළ කලා පාසල පරිපාලනය කරන ඇකඩමියේ සාමාජිකයෙකු වී තිබුණා. බ්‍යු සමග තවත් සමීප වූ ගෝයා ඔහුගේ නැගණිය විවාහ කර ගත්තා. අවසානයේදී බ්‍යු විසින් තම මස්සිනා වූ ගෝයා හට කලා පාසලේ දොර විවෘත කරනු ලැබුවා.

 

 

7. සෝලියස් මෙන්දිස්ගේ අභිමානය 

අපේ රටෙන් බිහි වූ මහා කලාකරුවෙකු වූ සෝලියස් මෙන්දිස් ඒ තරම් ධනවතෙකු නොවූවත් අභිමානවත් පුද්ගලයෙක් වුණා. ඔහු විසින් නිර්මාණය කළ මහා කලාගාරය ලෙස සැළකිය හැකි කැළණි බුදු මැදුරේ සිතුවම් නිර්මාණය කරද්දී විහාරයේ දායක සභාව සහ ඔහු අතර යම් පරස්පරයක් ඇති වුණා. ඒ අවසන් චිත්‍රය ඇඳීමට විදේශීය ශිල්පියෙකු මෙරටට ගෙන්වා ගැනීමට දායක සභාවට අවශ්‍ය වීම නිසයි. මෙහි ප්‍රතිඵලය වූයේ සෝලියස් මෙන්දිස් කැළණි විහාරයට පමණක් නොව සිතුවම් ඇඳීමටත් සමුදීමයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *