වැඩිහිටියන් කියන්නේ මොනා නැතත් අපිට වඩා අත්දැකීම් තියෙන උදවිය. වෙලාවකට දෙන උපදෙස් මහ ඇණයක් වගේ වුණත් අපිට වැඩිහිටියන් ඇසුරු කරන්න, ඔවුන්ගෙන් උපදෙස් ගන්න වෙන වෙලාවල් තියෙනවා. ඥාති හමුවීම් විතරක් නෙමෙයි, ඔෆිස් විසිට් ආදියෙදිත් අපිට තරමක වැඩිහිටියන් කතාවට සෙට් වෙනවා. ඉතින් ඒ හමු වුණාම කතාකරන්න හොඳ මාතෘකා කීපයක් අපි බලමු.
1. සල්ලිවල අගය අඩුවීම
“ඒ කාලේ අපි රුපියල් දෙකක් අරං කඩේ ගියාම මල්ලක් පිරෙන්න බඩු ගන්නවා. දැන් ඉතින් දෙදාහක් ගෙනිච්චත් බැහැ නෙව.” ඒ කාලේ සීයලා සෙට් වුණාම එහෙම කතා කරනවා. අද වුණත් රුපියල් දෙකක් ගෙනහින් මල්ල පිරෙන්න බඩු ගන්න පුළුවන් කඩවල සී සී ටීවී නැත්තං. ඒත් දැන් සිල්ලර කඩ වල පවා සී සී ටීවී තියෙන නිසා වැඩේ අමාරුයි. ඒ කාලේ සත දෙකට, රුපියලට, රුපියල් දහයට කරපු කියපු දේවල් කියවන එකත්, අද සල්ලි වල අගය නැති වෙන එකත් හොඳ රසවත් මාතෘකාවක්.
2. ළඟ ඥාතියෙක් නැතිකළ පවුලේ නම්බුව
පවුලේ නම්බුව නැතිකරන යාළුවෙක් හරි ඥාතියෙක් හරි ඉන්නවා. එහෙම නැතිනම් ගමේ නම්බුව නැති කරන කෙනෙක් හරි ඉන්නවා. එයාල එක්කෝ වැරැදි කාරයෝ වෙලා හිරේ විලංගුවේ වැටිලා. නැත්තම් ගෑණු හුටපට වලට පැටලිලා. කොහොම වුණත් ඒ 1045 වැනි වතාවක් විතර කතා කරපු මාතෘකාව නැවත නැවත අරගෙන ඒ නම්බුව නැතිවුණ කතා වස්තුවේ අග සිට මුලට නැවත කතා කිරීම වැඩිහිටියන්ට සතුටු වැඩක්. ඒ වගේ ටොපික් එකක් කතාකරද්දි ඒ ඒ වැඩිහිටියන්ගේ මතය ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනි.
3. ලොකු තැන් හොඳට ගෙනියන රටේ ආර්ථිකය
ලොකු තැන් ගැන කතාකරද්දි ඒ ඒ අයගේ දේශපාලන මතවාදය ගැන අපිට පොඩි අදහසක් තියෙන්නට ඕනි. යූ එන් පී කෙනෙක් නම් සිරිමාගේ කාලේ රටේ මිනිස්සු කන්න බොන්න නැතුව දුක් වින්ද හැටි. කොළඹ ඇවිත් බත් කාල කොළේ විසික් කළාම ඒකට මිනිස්සු පොරකාපු හැටි. පෝලිම් ගැන කතාකරන්න වැඩිහිටියන් කැමතියි. ශ්‍රී ලංකා කෙනෙක් නම් 77න් පස්සේ ජේ ආර් රට විනාස කළ හැටි ගැන කතාකරන එක වාසියි. ඒ වගේම මෑත කාලීන වැඩිහිටියෙක් නම් ගොඩක් වෙලාවට මහින්ද පාර්ශවයේද කියලා බලන එක වැදගත්. ඒ පිළේ තදබල අනුගාමිකයෙක්නම් ඒ පැත්තට ටිකක් වාසි විදිහට කතාකරන එක වාසියි නිකං වාද කර කර හිත තලාගන්නවට වඩා.
4. නොනැවතී නගින වාහන මිල
වාහන කියන්නේ ගම්බද වගේම නාගරික ජීවිත වල ඉලක්කයක්. හොඳ පොදු ප්‍රවාහණයක් නැති නිසා තමුන්ගේම වාහනයක යෑම කියන්නේ දුප්පත් මිනිස්සුන්ට මාර විනෝදයක්. ඒ වගේම යමක් කමක් තියෙන උදවියටත් එක වාහනයක් තියාගෙන වැඩි කලක් ඉන්න බැරි අමාරුවක් තියෙනවා. එහෙම අය අලුත් වාහන හොයනවා, තව වාහන ගන්නවා. ඉස්සර ඉඳන් වාහන තිබුණ කෙනෙක් නම් ඒ ඒ වාහන වල තත්ත්වය, ෆීචර්ස් ඉස්සර වාහන වල හයිය හත්තිය, රළු පාවිච්චියට ගැලපුණු හැටි ගැන කතා කරන්නට පුළුවන්. ඒ වගේ වෙලාවක වාහන ලෝලී අංකල් කෙනෙක්ගේ කතා වලට හොඳට පෝර දාගෙන හිටියොත් ගෙදරට නාකි වෙන දුව පවා ඔයාට තල්ලු කරගන්න ලේසි වෙයි.
5. රට ඉන්න සහ පෝසත් ඥාති විස්තර
ලංකාවේ අය රටවල් දෙකොටසක ඉන්නවා. පිරිසක් මැදපෙරදිග සහ ඒ පැතිවල වැඩට ගිය අය. අනෙක් අය ඔසී, නවසීලන්ත, නෙදර්ලන්ත, කැනඩා, ඇමරිකා ගිය පදිංචිය මාරු කළ උදවිය. ඒ කොයි උදවිය උනත් ඒ රටවල විස්තර කතාකරන්න ආසයි. එතකොට ඒ අයගේ නෑයෝ කැමතියි ඒ රට ජීවිතයේ තියෙන සැප සම්පත්, වෙනස්කම් ගැන කතාකරන්න. දැන් නම් ඉගෙනගන්න දරුවෝ රටයන අයත් ඉන්නවා. ඒ වගේ ඥාතීනුත් ඒ රටවල විස්තර ආදිය කතාකරන්න ආසයි. දේශපාලනයට වඩා කූල් දෙයක් වෙන මේ විෂය ගෑණු පිරිමි භේදයක් නැතුව කතාබහ කරන්නත් පුළුවන් රසවත් මාතෘකාවක්.
6. අපෝ දැන් ළමයි ෆෝන් වලමනෙ
අලුත් අයගේ ගතිගුණ ගැන කියද්දි ඉලෙක්ට්‍රොනික්ස් වලට දරුවන්ගේ තියෙන නැඹුරුව කට්ටියගේ දෝෂ දර්ශනයට නිතර ලක්වෙන දෙයක්. ඉතින් දැන් වුණත් දරුවන් ගොඩක් වෙලාවට ඥාති ගෙවල්වල ගියත් ෆෝන් එකේම තමයි ඉන්නේ. ඒ ෆෝන් වල විස්තර ආදිය කතාකරන්න ඇප් වල දේවල් ගැන කතාකරන්න ආසයි තරුණ පරම්පරාව නම්. ඒත් වැඩිහිටියන් ගොඩ දෙනෙක්ට ඉන්ටනෙට්, ෆෝන්, ලැප්ටොප් පේන්න බැහැ. විශේෂයෙන් ටිකක් වයස්ගත උදවියට මේ පොල්බෑවක් වගේ ෆෝන් එක හැමතිස්සේම අතේ තියාගෙන මූණ ඔබාගෙන ඉන්න එක පේන්න බැරි වැඩක්. දින තුනක් පෝන් එක පාවිච්චි කළ දරුවාගේ ඇස් අන්ධ වුණා වගේ නිවුස් එකක් කියන්න පුළුවන් නම් ඒ වගේ වැඩිහිටියෝ බොහොම සතුටු වෙයි.
7. ඒ කාලෙනෙ හොඳ සිංදු, චිත්‍රපට තිබුණෙ…
“ශහ්! මට මතකයි ඒ කාලේ එඩී ජයමාන්නයි රුක්මණී දේවියි ඉඳපු චිත්‍රපටිය අපි 16 වතාවකට වැඩිය බැලුවා. ඒත් එපා වෙන් නැහැ. ඒත් අද? අද තියෙන්නේ චිත්‍රපටිද? ශික් කැත. ඒ කාලේ කළු සුදු වුණත් ඒවයි සිංදු එහෙම අපිට කටපාඩම්. ඒ තරමට හුරුයි. අද සිංදුවක් නිකං අපිට කියන්න පුළුවන්ද? බෑනෙ. ඒ වගේ පැරණි ගීත සහ චිත්‍රපටි වලට වැඩිහිටියන්ගේ තියෙන ලව් එක පුදුමාකරයි. හින්දි ෆිල්ම් නම් රාජ් කුමාර්, අමිතාබ්, රාජේෂ් ඛන්නා වගේ පැරණි තරු ගැන කතා කිරීමත් එයාලට සතුටක්. ඉතින් ඒ වගේ මාතෘකාත් වැඩිහිටි අය එක්ක කතා බහට වඩාත් උචිත වෙනවා.
කතාව කියන්නේ මිනිස්සුන්ට විතරක් උරුම වුණු අරුම පුදුම දෙයක්. මේ විදිහට සන්නිවේදන කටයුතු කිරීම නිසා කතාවෙන් දක්ෂ උදවියට ලොකු තැන්වලට යන්නට ලැබෙනවා. ඒ වගේම ගැටුම් වලට, ගහමරාගැනීම් වලට නොයා දෙයක් ගොඩින් බේරා ගැනීමටත් කතාව වැදගත්. ඉතින් වැඩිහිටියන් එක්ක කතා බස් කිරීම ටිකක් විතර බෝරින් වැඩක් වුනත් ඉඳහිට හෝ එයාල එක්ක සමීප වෙලා කතාවක් දාන්න පුළුවන් නම් ඒක අපේ දැනුම වැඩිකරගන්නත් හේතු වෙනවා.
Leave a Reply