තනිකම ගැන, තනිවුන අය වගේම තනි වුන අය දිහා පිටින් ඉඳල බලන් හිටපු අයත් ලියපු කවි, සින්දු, කතන්දර අපි ඕන තරම් අහල, දැකල තියෙනවනේ. තනිකම කියන්නෙ ඒ නිර්මාණ වලින් කියනව වගේම දරාගන්න හරිම අමාරු හැඟීමක් බව අපි කවුරුත් දන්නව. ඉතින් මේ කියන්න යන්නෙ ඒ දරුණු තනිකමට ගොදුරු වුණ මිනිසුන් ගැනයි. හැබැයි මෙහෙම කතාවකුත් තියෙනව. තනිකම කියන්නෙත් දෙවිදිහකට දැනෙන්න පුළුවන් කාරණාවක්. ඒ කිව්වේ කෙනෙක් ගතින් වගේම හිතිනුත් තනිවෙන්න පුළුවන්. තමන්ගේ වටේ කොයිතරම් පිරිස හිටියත් හිතට දැනෙන කෙනෙක් ළඟ නැතිවුනහම දැනෙන හැඟීම, තනිය දන්නෙ එහෙම අවස්ථාවකට මුහුණ දුන්න කෙනෙක්ම විතරයි. ඉතින් මේ කියන්න යන්නෙ එහෙම හිතින් තනිවුන අය ගැනනම් නෙමෙයි. මොකද හිතේ තනිකම පිටට නොපෙනෙන නිසා හිතින් තනිවුන මිනිස්සු ගැන සංඛ්‍යාලේඛන මේ ලෝකයේ නැහැ. බැරිවෙලා හරි එහෙම සංඛ්‍යා දත්ත හොයාගත්තොත් මේ අපිත් ඒ අතර ඉන්නත් බැරි නැහැ. කොහොම උනත් මේ කියන්න යන්නෙ හිතින් කෙසේ වෙතත් ගතින් තනිවෙලා ජීවත්වුණ මිනිස්සු ගැනයි.
1. ඇල්ෆ්‍රඩ් වෝර්ඩන් (Alfred Worden)
මේ ලෝකයේ සුළු මොහොතකට හරි වැඩිපුරම තනිවුන පුද්ගලයා විදිහට අදටත් පළමුවෙනි තැනේ ඉන්නෙ මේ ඇල්ෆ්‍රඩ් වෝර්ඩන් කියන පුද්ගලයා. ඔහු වෘත්තියෙන් ඇමරිකානු පර්යේෂණ නියමුවෙක්, නාසා ආයතනයේ ගගනගාමියෙක්. 1971 වසරේදී ඔහු සම්බන්ධ වුණු ඇපලෝ 15 චන්ද්‍ර මෙහෙයුමේදී තමයි ඔහු මේ විදිහට තනිවෙන්නේ. පෘථිවියට සැතපුම් 240,000ක් දුරින් චන්ද්‍රයා මත ඉන්න වෙලාවක ඔහු පමණක් යානයේ විධාන මොඩියුලයේ ඉතිරි වෙමින් අනෙක් ගගනගාමීන් චන්ද්‍ර පෘෂ්ටය නිරීක්ෂණය කිරීමේ කටයුතු වලට පිටත් වෙනවා. මොඩියුලය චන්ද්‍රයාගේ ප්‍රතිවිරුද්ධ දිශාවට පාවෙලා යද්දී ඔහු පෘථිවිය හෝ සෙසු ගගනගාමීන් සමඟ කිසිම සන්නිවේදන සම්බන්ධතාවයකින් තොරව, ඒ කියන්නෙ අනෙක් ගගනගාමීන්ටත් සැතපුම් 2,235ක් ඈතින් සුළු මොහොතකට තනිවෙනවා. අපිටනම් හිතාගන්නවත් බැරි භයානක මොහොතක් වුණත් ඔහු පස්සෙ කාලෙක ප්‍රකාශ කරලා තියෙනව ඒ මොහොතට ඔහු ආසා කළ බව.
2. තෝමස් සිල්වස්ටීන් (Thomas Silverstein)
තෝමස් සිල්වස්ටීන් කියන්නෙ ඇමරිකාවේ සිරකරුවෙක්. ඔහු ඔහුගේ ජීවිතයේ අවසාන වසර 36ක කාලය ඉතාම හුදකලාව ගතකරල 2019 වර්ෂයේදී මරණයට පත්වුණ පුද්ගලයෙක්. ඒ 2095 අවසන් වෙන්න නියමිතව තිබුණ ඔහුගේ හුදකලා සිරදඬුවම ඉවර වෙන්න සෑහෙන කාලයකට කලින්. ඔහු මුලින්ම සිරභාරයට පත්වෙන්නෙ සොරකමක් හේතුකොටගෙන. ඉක්මනින් සිරභාරයෙන් ගැලවෙන්න පුළුවන්කම තිබුණත් සිරභාරයේ ඉන්නකොටම අනෙක් සිරකරුවන් එක්ක සමූහ ගතවෙන සිල්වර්ස්ටේන් බන්ධනාගාරය තුළ මිනීමැරීම් වලට සම්බන්ධ වෙනවා. ඒ හේතුවෙන් ඔහුව ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට නියම වෙනවා. ඊටත් පස්සෙ ආයෙමත් බන්ධනාගාර නිලධාරියෙකු මරණයට පත්කිරීමේ වරද යටතේ ඔහුව අනෙක් සිරකරුවන් සමඟ කිසිම සම්බන්ධයක් නැති, අඩුම තරමේ ජනේලයක්වත් නැති භූගත සිරමැදිරියකට යොමු කෙරෙනවා. පසු කාලයක බන්ධනාගාරය තුළ සිදුවෙන කෝලහාලයකින් මේ අමානුෂික සිරමැදිරියෙන් නිදහස් වෙන්න ඔහුට පුළුවන් උනත් 2019 වර්ෂයේදී මියයනකන්ම ඔහු හුදකලා සිරමැදිරියක රඳවා තැබෙනවා.
3. ටොම් නීල් (Tom Neale)
මුහුද මැද්දෙ සුළිකුණාටු වලට හසුවුණ නැව් ගසාගෙන ගිහිල්ල හුදකලා දූපත්වල තනිවුන කතන්දර අහල තිබුණට ස්වකැමැත්තෙන්ම එහෙම දූපතක තනිවුන පුද්ගලයෙක් ගැන අහල තියෙනවද? ටොම් නීල් කියන්නෙ එහෙම පුද්ගලයෙක්. ඔහු පැසිෆික් සාගරයේ ස්වාරෝ (Suwarrow) කියන දූපතේ කැමැත්තෙන්ම තනිවෙලා ජීවත් වෙනව. ඔහුට උදව් කරන්න මිනිසුන් වගේම ඔහු සමඟ දූපතේ ජීවත් වෙන්නත් කාන්තාවන් කිහිප දෙනෙක්ම කැමැත්ත පළ කළත් ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් තනියම ඉන්න තීරණය කරනව. කාලයක් දූපතේ වාසය කරද්දී ඇතිවුන කොන්දේ අබාධයකට ප්‍රතිකාර ගන්න අවශ්‍ය වෙන නිසා ඔහු නැවත ගම්බිම් බලා ආවත් මිනිසුන් සමඟ වගේම නව තාක්ෂණික උපාංග එක්ක ගෙවන ජීවිතේ ඔහුට කරදරයක් විදිහට දැනුණු නිසා ඔහු නැවත දූපතටම ගිහින් 1967 වර්ෂයේ අමාශගත පිළිකාවකින් මියයනතුරුම වසර දහයකට ආසන්න කාලයක් දූපතේ තනියම ජිවත් වෙනවා.
4. මාගුරිට් ඩි ලා රොක් (Marguerite de la Rocque)
මාගුරිට් කියන්නෙ ප්‍රංශ ජාතික වංශවත් වගේම ධනවත් කාන්තාවක්. ඇගේ පවුලේ ව්‍යාපාර වලට හවුල් හිමිකමක් දරන ජීන් ෆ්රැන්කොයිස් කියන පුද්ගලයා ව්‍යාපාරවල තනි අයිතිය භුක්ති විඳීමට ඇති ලෝබකම නිසා ඇයව ඔහු සමඟ සංචාරයකට රැගෙන යනවා. එහිදී ඇය නැවේ ගමන් කළ වෙනත් මඟියෙක් අතින් ගැබ්ගත් බවත් එයට දඬුවමක් ලෙසත් පවසමින් එම පෙම්වතා සහ තවත් සේවිකාවක් සමඟ ඇයව “The Isle of Demons” හෙවත් යක්ෂයින්ගේ දූපත නම් දූපතක අතරමන් කරලා ජීන් ෆ්රැන්කොයිස් නැවත ප්‍රංශයට පැමිණෙනවා. දූපතේදී පෙම්වතා, සේවිකාව සහ උපන් දරුවා මියගිය පසුවත් ධීවරයෙක් විසින් සොයාගෙන නැවත ප්‍රංශයට රැගෙන එන තුරුම ඇය තනිවම වසර දෙකක පමණ කාලයක් දූපතේ වාසය කරනවා.
5. නමක් නොදන්නා ඇමසන් ඉන්දියානුවා (Man of the hole)
මේ පුද්ගලයා ගැන තොරතුරු වාර්තා වෙන්නේ ඉතාම මෑතක ඒ කියන්නෙ 1996 වසරේදී. ඒ බ්‍රසීල රජයට. බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ විවිධ ගෝත්‍රික පිරිස් විශාල සංඛ්‍යාවක් ජිවත් වෙනවා. නමුත් පැහැදිලිවම තනිව ජීවත්වෙන බවට සාක්ෂි ඇති මේ පුද්ගලයා බොහෝවිට ගෝත්‍රික ගම්මානයකින් අවසානයේ ඉතුරු වුන හුදකලා පුද්ගලයෙක් බව තමයි පර්යේෂකයින් විශ්වාස කරන්නෙ. ඔහු සමඟ සන්නිවේදනය කරන්න උත්සාහ ගත්ත හැම අවස්ථාවකම මඟහැරපු මේ අද්භූත පුද්ගලයා අවසානයේ ඒ විදිහට සන්නිවේදනය කරන්න උත්සහ දරපු පුද්ගලයෙකුගේ පපුවට ඊතල ප්‍රහාරයක් පවා එල්ල කරනවා.
6. බ්ලාන්ච් මොනියර් (Blanche Monnier)
බ්ලාන්ච් මොනියර් කියන්නෙ 1874 වසරේ ඉතා ධනවත් ප්‍රංශ පවුලක උපත ලැබූ කාන්තාවක්. ධනය වගේම රූප සම්පත්තියත් ඇයට උපතින් නොඅඩුවම හිමිවුණා. නමුත් ඒ තරමටම අවාසනාවත් හිමිවුණා. ඇයට වයස අවුරුදු 25ක් වෙනකොට ඇය ඇගේ පෙම්වතා සමඟ විවාහ වීමට අවශ්‍ය බව ඇගේ මවට ප්‍රකාශ කළත් නපුරු මව ඒ සම්බන්ධයට කැමති වෙන්නෙ නැහැ. ඇගේ අදහස වෙනස් කිරීමේ අරමුණින් මව ඇයව නිවසේ අට්ටාලයේ කුඩා කාමරයක සිර කරලා තියනවා. දියණියගේ අදහස වෙනස් නොවන හින්දම මවත් දිගින් දිගටම ඇයව මේ විදිහට හිරකරල තියනව. ඒ විදිහට වසර 25ක් තිස්සේ හිරවෙලා තනිවම ජීවත්වුණ බ්ලාන්ච් පිළබඳව 1901 වසරේදී බලධාරීන් වෙත යොමුකෙරුණු නිර්නාමික ලිපියක් හේතුකොටගෙන ඇගේ නිවස වටලලා ඇයව බේරගන්න නමුත් පසුකාලීනව මානසික අසමතුලිතතාවය සහ වෙනත් රෝගාබාධ හේතුවෙන් 1913 වසරේදී ඇය රෝහලේදීම මියයනවා.
7. සිමියන් ස්ටයිලයිටීස් (Simeon Stylites)
සිමියන් කියන්නෙ ඉතා ඈත අතීතයේ ජීවත්වුණ සාන්තුවරයෙක්. ලෝකයාගෙන් වෙන්වෙලා ජීවත්වෙන්න තිබුණ අවශ්‍යතාවය මත මේ සාන්තුවරයා ඉතා උසින් ඉදිකළ කුළුනක ජීවත්වෙන්න පුරුදු උනා. ඔහු ගැන ආරංචි වීම නිසා මිනිසුන් ඔහුව බැලීමට පැමිණෙන විට වරින් වර කුළුණේ උස තවත් වැඩි කරමින් කැමැත්තෙන්ම හුදකලා වුන සීමන් වසර 36කට වඩා මේ විදිහට හුදකලා වෙලා ජීවත්වුණා.
Leave a Reply