එළිසබත් රැජිනගේ නැන්දම්මා ගැන දන්නවද?

පසුගිය දවස්වල ජාත්‍යන්තර මාධ්‍යවල දිගින් දිගටම දෙවැනි එළිසබත් රැජනගේ ස්වාමිපුරුෂයා වූ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමාරයාගේ අභාවය පිළිබඳව විවිධ වැඩසටහන් විකාශනය වුණා. එහිදී ඔහුගේ කටුක බාල කාලය පිළිබඳවත් කතා කෙරුණා. සිය මවගේ සහ පියාගේ විවාහය බිඳ වැටීමත් සමග පිලිප් කුමාරයා සිය මව් පාර්ශවයේ ඥාතීන් අතර තමයි හැදිලා වැඩිලා තියෙන්නේ. අපි අද ඔබට කියන්න යන්නේ පිලිප් කුමාරයාගේ මව වුණු බැටන්බර්ග්හි ඇලිස් කුමරියගේ විස්මයජනක ජීවිත කතාවයි.

 

 

1. ඇගේ පරපුර

ඇලිස් කුමරියගේ මව වික්ටෝරියා නම් වුණා. වික්ටෝරියා එවකට ජර්මනියේ එක් කුඩා රාජ්‍යයක් වන හෙසහි මහාදිපාද හතරවන ලුවිස්ගේ දියණියයි. මේ නිසා ඇය යුරෝපයේ රාජකීය ඉතිහාසය තුළ හෙසහි වික්ටෝරියා කුමරිය ලෙස හඳුන්වනු ලබනවා. ඇගේ මව වූයේ වික්ටෝරියා රැජනගේ දියණියක වූ ඇලිස් කුමරියයි. හෙසහි වික්ටෝරියා කුමරිය විවාහ වූයේ පිය පාර්ශ්වයෙන් ඥාති සහෝදරයෙකු වූ බැටන්බර්ග්හි ලුවිස් කුමාරයා සමගයි. මේ නිසා බැටන්බර්ග්හි ඇලිස් කුමරිය මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, රුසියාව වැනි රටවල රාජකීයයන්ගේ සමීප ඥාතිවරියක වුණා.

 

 

2. උපත හා බාල කාලය 

ඒ වන විට බැටන්බර්ග්හි ලුවිස් කුමාරයා මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවට එක්ව සිටි නිසා වික්ටෝරියා සහ ලුවිස් යුවළ වැඩි කාලයක් ගත කළේ මහා බ්‍රිතාන්‍යය තුළයි. 1885 පෙබරවාරි විසිපස් වන දින එම යුවළගේ වැඩිමහල් දියණිය ලෙස ඇලිස් කුමරිය වින්ඩ්සර් මාලිගයේදී උපත ලැබුවා. ඒ අවස්ථාවේදී හෙසහි වික්ටෝරියා කුමරිය සමීපයේ වික්ටෝරියා රැජන ද රැඳී සිට තිබෙනවා. සිය පියාගේ සේවා ස්ථානය මාරුවීම නිසා ඇලිස් කුමරිය ඇතුළු පවුලේ සාමාජිකයන් කලක් මෝල්ටාවේද ගත කොට තිබෙනවා.

 

 

3. විවාහය සහ අනෙකුත් දරුවන්

1901 වසරේ පැවති හත්වන එඩ්වඩ් රජුගේ මෞලි මංගල්‍යය සඳහා පැමිණි සිටි රාජකීයයන් අතර සිටි ග්‍රීසියේ පළමු ජෝර්ජ් රජුගේ පුතෙකු වූ ඇන්ඩෘ කුමාරයා ඇලිස් කුමරිය පිළිබඳව සිතක් පහළ කළ ගත් අතර එහි ප්‍රතිඵලය වූයේ 1903 වසරේ දී ඔවුන් දෙදෙනා විවාහ වීමයි. මෙම විවාහය සඳහා එවකට යුරෝපයේ සියළුම රජපවුල්වල නියෝජිතයන් සහභාගි වී තිබෙනවා. විවාහයෙන් පසුව නව යුවළ ග්‍රීසිය වෙත පදිංචියට ගිය අතර මාගරීතා, තියඩෝරා, සිසිලි සහ සොෆියා යන දියණියන් හතර දෙනෙකුගේ මවුපියන් බවට ඔවුන් දෙදෙනා පත්වුණා.

 

 

4. ග්‍රීසියේ අවිනිශ්චිත තත්ත්වය සහ පිලිප් කුමාරයාගේ උපත 

ඒ වන විට ග්‍රීසියේ පැවති දේශපාලන වාතාවරණය යටතේ සියළුම රාජකීයයන්ට ඒ රටින් පලා යෑමට සිදුවුණා. මේ කාලයේදී ඇලිස් කුමරිය සිය පවුලේ සාමාජිකයන් සමඟ විවිධ රටවල ගතකළ අතර විවිධ ඇදහීම් පිළිබඳව ගවේෂණය කිරීමට ඇය පෙළඹුණා. දේශපාලන තත්ත්වය වෙනස් වීමත් සමග 1920 දී ඔවුන් යළිත් ග්‍රීසිය වෙත පැමිණි අතර 1921 ජුනි 10 වනදා පිලිප්  කුමාරයාගේ උපත සිදු වුණා.

 

 

5. යළි පලායාම සහ ඇගේ ජීවිතයේ දුෂ්කර කාලය 

යුද්ධයක අතුරු ප්‍රතිඵලයක් ලෙස යළිත් ග්‍රීක රාජකීයයන්ට සිය මව්බිම අත්හැරීමට සිදුවුණු අතර දෙවන එළිසබත් රැජිනගේ සියා වූ පස්වැනි ජෝර්ජ් රජු ඔවුන් ආරක්ෂිතව ප්‍රංශය කරා ගෙන ඒමට නෞකාවක් එවනු ලැබුවා. එම නැව තුළ බිළිඳු පිලිප් කුමාරයා දොඩම් ඇසුරූ පෙට්ටියකින් තනන ලද තොටිල්ලක හොවා තිබුණු බව කියවෙනවා. ප්‍රංශයේ පදිංචි වීමෙන් පසුව ඇලිස් කුමරිය තමන් හට ජේසුස් වහන්සේ ඇතුළු ආගමික නායකයන්ගෙන් පණිවිඩ එන බව පවසන්නට පටන් ගත්තා. ඇය මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බව විශ්වාස කළ ඇන්ඩෘ කුමාරයා ඇතුළු ඥාතීන් මානසික රෝහලකට ඇය ඇතුළත් කරනු ලැබුවා.

 

 

6. යළි ග්‍රීසියට 

වසර කීපයක් එම රෝහලේ ගත කිරීමෙන් අනතුරුව නිදහස ලැබූ ඇලිස් කුමරිය යළිත් ග්‍රීසිය බලා ගියා. මේ වන විට වැඩිවියට පත්ව තිබූ පිලිප් කුමාරයා එළිසබෙත් කුමරිය සමඟ විවාහ වන සමයයි. සිය පුතුගේ විවාහ උත්සවයට සහභාගී වී යළිත් ග්‍රීසියට පැමිණි ඇය කිතුණු පැවිදි සහෝදරියන් වෙනුවෙන් නිකායක් ආරම්භ කරනු ලැබුවා. එසේම පසුව හෙළිව තිබෙන පරිදි දෙවැනි ලෝක යුද්ධ සමයේ දී ජර්මානු හමුදාව විසින් ග්‍රීසිය යටත් කර ගැනීමෙන් පසුව දී පවා යුදෙව්වන් කීපදෙනෙක් සිය නිවාසයේ රඳවා තබාගෙන ආරක්ෂා කිරීමට ඇය සමත්ව තිබෙනවා.

 

 

7. අවසන් සමය

ග්‍රීසියේ දේශපාලන තත්ත්වය යළිත් වරක් නරක අතට හැරීම නිසා දෙවැනි එළිසබත් රැජින සහ පිලිප් කුමාරයාගේ දැඩි ඉල්ලීම නිසා ඇය ග්‍රීසිය අතහැර බකිංහැම් මාළිගය වෙත පදිංචියට පැමිණියා. 1969 දෙසැම්බර් පස් වන දින ඇය මියගිය අතර ඇයගේ ඉල්ලීම පරිදි පසුව ඇයගේ දේහය ජෙරුසෙලමේ ඔලිව් කන්දේ තැන්පත් කරනු ලැබුවා. යුදෙව්වන් ආරක්ෂා කිරීමට ඇය සිදු කළ කැපවීම් අගය කරමින් ඊශ්‍රායල රාජ්‍ය විසින් ඇයට විශේෂ ගෞරව නාමයක්ද ඇගේ මරණයෙන් පසුව පිරිනැමීමට කටයුතු කරනු ලැබුවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *