කුරුල්ලන් ඇතිකරන උණ ඔයාලටත් ආවද? එහෙනම් මේක කියවලා බලමු

කඩේ විකුණන්න ඉන්න ලස්සන කුරුල්ලන් දැක්කම ආස හිතෙනවා. ඒ වගේම යාළුවෙක්ගෙ ගෙදර ගියාම ඔවුන් කුරුල්ලන්ව ලස්සනට කූඩුවක දාගෙන ඉන්න කොට අපිටත් ගෙදර කුරුළු කූඩුවක් හදාගෙන අලුත් සතෙක් දෙන්නක් ආදරයට හදන්න හිතෙනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් කුරුල්ලන් හැදීම කියන්නෙත් එක්තරා පරෙස්සමින් කළ යුතු කලාවක්. එහිදී ආධුනිකයෙක්ට සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන අපි සළකා බලමු. 

 

 

1. නිරෝගී සතුන් තෝරාගැනීම

නොදන්නා අයෙක් කුරුල්ලන් ඇතිකරන්න ගියාම එන මූලික අවුලක් තමයි කුරුල්ලෝ නිරෝගීද නැද්ද කියලා හඳුනාගන්නට බැරි වෙන එක. ඒ එක්ක සමහර වෙලාවට හොඳම සතුන් කියලා වියපත් සහ දුර්වල සතුන් අරන් එනවා. ඒ වගේම ලෙඩ හැදුණු සතුනුත් අඩු මිලට ලැබුණාම අලුත් අය ලාබයි කියලා අරන් එනවා. ඉතින් ටික දවසකින් අර සතුන්ට ගොඩක් ලෙඩ වලට මූණ දෙන්න වෙනවා. ඒ එක්ක උන් හොඳට ඉන්නවාට වඩා නරක පැත්තට යනවා. බෙහෙත් අරන් දෙන්න වෙනවා. ඉතින් මුල් අවස්ථාවේම සත්තු ගද්දි හොඳ විශ්වාසවන්ත තැනකින් සත්තු ගැන දන්න කෙනෙක් එක්ක ගිහින් සතුන් මිලදී ගන්නට ඕනා. 

 

2. හොඳ ඉඩකඩ නිර්මාණය කිරීම

 

ඉඩ කියන්නේ කුරුල්ලන්ට වැඩෙන්නට හොඳ පරිසරයක් හදන එක. කුඩා ඉඩක කුරුල්ලෙක්ට ජීවත් වෙන්නට පුළුවන් වුණත් ඌට කරන්න ඕනි ඇක්ටිවිටීස් වලට ඉඩ මදි. එහෙම බොහොම කුඩා ඉඩක කුරුල්ලන් බෝවීමත් අඩුයි. ඒ නිසා කුඩා ඉඩක් තියාගන්න එක කුරුල්ලන්ගේ පැත්තෙන් හොඳ දෙයක් නෙමෙයි. 

 

3. හොඳ වාතාශ්‍රය සහ ජලය සැපයීම 

ගෙදරක කුඩා ඉඩක කූඩු ගොඩක් ගැහුවම තියෙන අවුලක් තමයි සතුන්ගේ මළ අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ සතුන්ට වාතාශ්‍රය නොලැබීම. සතුන්ට වාතාශ්‍රය නොලැබීම ගියාම සතුන් මලානික වෙනවා. ඒ වගේම කුරුල්ලන් හදන්නට ගන්න පළවෙනි දවස්වල වගේම දිගටම කුරුල්ලන්ගේ මළ ද්‍රව්‍ය ඉවත් කරලා කූඩු පිරිසිදුව තියාගන්නට ඕනි. ඒ වැඩ හරියට කෙරුණේ නැති වුණොත් එක පැත්තකින් කුරුළු කූඩු අපිට බලන්න බැරි තරමට අප්‍රිය වෙනවා, දුගඳ හමනවා. 

 

4. කුරුල්ලන් බිත්තර දැමීම සහ රැක්කවීම 

කුරුල්ලන් ඇතිකරන අලුත් අයට එන මූලික ප්‍රශ්නයක් තමයි පැටවු එන්නේ නැති එක. පැටවු එන්න නම් නිරෝගී ජෝඩු ඉන්නට ඕනි. ඒ වගේම නිසි කාලය සම්පූර්ණ වෙන්නත් ඕනි. ඇතැම් කුරුල්ලන්ට බිත්තර දාන්න ඔවුන් කැමති තත්ත්වයන් සපයන්න වෙනවා. සමහරු කුඩා කූඩු මැටිවලින් තනලා එල්ලනවා. සමහර අය පොල් ලෙලි සම්පූර්ණයෙන් එල්ලනවා. මේ ආකාරයට බිත්තර දාන්න සහ බිත්තර රකින්න අවශ්‍ය වටපිටාව ගාණට සැපයුවොත් තමයි කුරුල්ලෝ බිත්තර දාන්නේ. නැතිනම් උන් ඒ ගැන වැඩි උනන්දුවක් නැතිව ඔහේ ජීවත් වෙනවා. 

 

5. පෝෂණය ගැන සැළකිලිමත් වීම

 

හැම කුරුල්ලම එකම කුරුළු කෑම කන්නේ නැහැ. ඒ වගේම උන්ගේ පෝෂණ අවශ්‍යතාවයනුත් විවිධ වෙනවා. කුරුල්ලන්ගේ කෑමට අමතරව පෝෂණ අතිරේක ලබාදීමත් සතුන් ඉක්මනින්ම ලොකු වෙන්න හේතු වෙනවා. ඉරිඟු, බිත්තර කහමද ආදී දේ මෙන්ම විශේෂ පෝෂණ අතිරේකත් හොඳට කුරුල්ලන් ඇතිකරන තැන්වල උන්ගේ පෝෂණය වෙනුවෙන් යොදාගන්නවා. මේ කුරුල්ලන් වර්ග අනුව උන් කැමති ආහාර වර්ග අන්තර්ජාලයේ තිබෙනවා. ඒ අනුව සොයාබලා උන්ගේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කළොත් උන් ඉක්මනින් නිරෝගීව දකින්නට පුළුවන් වේවි.

 

 

6. ලෙඩ දුක් බැලීම 

ඉතා වටිනා ගිරවුන් වැනි කුරුල්ලන් පවා රෝග වලට මුහුණ දෙනවා. ඒ රෝගාබාධ ගැන අපි දැනුවත් වන්නට ඕනි. මේ ගැන කුරුල්ලන්ට කෑම බීම විකුණන කඩේ මතම යැපෙන එක හොඳ වැඩක් නෙමෙයි. කුරුල්ලන් ගැන දන්න කියන අය එකතු වෙලා කරන ගෲප්, ෆේස්බුක් එකතු ආදිය වගේම ළඟපාත කුරුල්ලන් ඇතිකරන අය අතර හොඳ සම්බන්ධතා පවත්වාගෙන යන එකත් වැදගත්. එතකොට කලක් තිස්සේ කුරුල්ලන් ඇතිකරන හොඳ පළපුරුදු අයගෙන් සතුන්ට වැළඳෙන නව රෝගාබාධ ගැන අපිට විස්තර දැනගන්නට පුළුවන්. ඒ වගේම කුරුල්ලන් අපහසුතාවෙන් ඉන්නවා නම් අපිට කලින්ම ඒවා අඳුරගන්නත් පුළුවන්. 

 

7. විලෝපිකයින්ගෙන් ආරක්ෂා කිරීම 

කුකුළන්, පරෙයියන් වැනි සතුන් නම් ඇති කරද්දී හැම වෙලාවෙම කූඩුවේ දාන්න ඕනා නැහැ. අපි එක්ක මිදුලේ වුණත් උන්ට කිසි ගාණක් නැතුව ඉන්නට පුළුවන්. ඒත් මේ සතුන්ට විලෝපිකයින් ඉන්නවා. කබරයින්, මුගටියන්, සර්පයින් ඇතුළු සතුන්ට වගේම උකුස්සන් වගේ විශාල සතුන්ටත් අපේ කුඩා සුරතල් කුරුල්ලා කියන්නේ තවත් එක ගොදුරක් විතරයි. ඉතින් මේ විලෝපිකයින්ගෙන් ආරක්ෂා කරන්න කූඩු සැලසුම් කරන්නට ඕනි. කබරයින්, තලගොයින් වැනි සතුන්ට හොඳ විශාල සිරුරක් තිබෙන නිසා දුර්වල කූඩු තිබුණොත් ඒවා කඩාගෙන බිත්තර කරා යන්න උන්ට පුළුවන්. ඒ නිසා කූඩු ශක්තිමත්ව හදන්නට ඕනි. එළියේ ගැවසෙන්න දාලා ඉන්නවා නම් නිතරම අපි කවුරු හරි එළියේ ඉන්න වෙලාවක කුරුල්ලන් ඇතිකරන්නට මහන්සි වෙන්නට ඕන. 

 

කුරුල්ලන් ඇති කරද්දි අපි වන සතුන් ඇතිකරන්න  හොඳ නැහැ. ලංකාවේ වනාන්තරවලින් අල්ලලා ගිරවු, මයිනන් ආදී වර්ග විකුණන අය ඉන්නවා. එය එක් පැත්තකින් නීතිමය වරදක්. මොකද ඒ කුරුල්ලන් ඇතිකිරීම ලංකාවේ නීතියට අනුව වැරදියි. ඇරත් ඒ කුරුල්ලන් ගෘහවාසයට හුරු වෙලා නැහැ. කොකටේල්, ලවු බර්ඩ් වගේ කුරුළු විශේෂ ගත්තොත් උන් පරම්පරා සිය ගාණක් තිස්සේ මිනිස් වාසයට හුරු වෙලා, කූඩු වලට හුරු වෙලා ඉවරයි. ඇතැම් කූඩු කුරුල්ලන්ට දැන් ස්වභාවික පරිසරයේ වාසය කරන්නට ඇත්තටම අමාරුයි. ඉතින් වනයේ ගිරවු නැතිව තත්ත්වයට සූදානම් වුණු ඇතිකරන ගිරවු ඇතිකරන්න ලේසියි. ඒ වගේම ඒක අපේ පරිසරයටත් හොඳයි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *