වයස අවුරුදු හයේදී විතර ආරම්භ කරන පාසල් අධ්‍යාපනය නොකඩවා අවුරුදු 13කුත්, එතනින් පස්සෙ උසස් අධ්‍යාපන කටයුතු තව අවුරුදු තුන හතරකුත් කළාට පස්සෙ ආයේ හති අරින්නවත් කාලයක් නැතුව ඊළඟට රස්සාවල් හොයන්න එපැයි. නිකන්ද කියන්නෙ ජීවිතේ කියන්නෙ රේස් එකක් කියල. අර අවුරුදු හයේදී දුවන්න පටන් ගත්තම ආයේ මැරෙනකන්ම දුවන්න තමයි තියෙන්නෙ. ඉතින් මේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අහවර කළාට පස්සෙ රැකියාවක් හොයන එකයි එතනින් පටන් අරන් ආයෙ දිවිල්ල පටන් ගන්න එකයි කරන්න කලින් ඒකට උදව්වෙන, ඒ කියන්නෙ රැකියා ජීවිතේට පිවිසෙන්න කලින් හැමෝම දැනගෙන ඉන්න ඕන වැදගත් කාරණා කිහිපයක් ගැනයි අද අපි මේ කතා කරන්න යන්නෙ. මේ දේවල් දැනගෙන හරියට වැඩේට බැස්සොත් රැකියාවක් හොයාගන්න ලේසි වෙනවා වගේම එතන ඉඳලා දිගට රැකියාව කරගෙන යන්නත් හුඟක් ලේසියි.
1. හොඳ CV එකක්
රැකියාවක් හොයනකොට මුලින්ම කරන්න ඕන වැදගත්ම වැඩේ මේකයි. හැබැයි හුඟක් දෙනෙක් වැඩි අවධානයක් නොදෙන නිසාම වරද්ද ගන්න තැනත් මේකයි. මේ CV එහෙමත් නැත්තම් Resume එක තමයි රැකියා යෝජකයෙක් අපි ගැන අදහසක් ගන්න මුල්ම තැන. ඉතින් අද කාලෙ රැකියා වෙළඳපලේ තියෙන අධික තරඟයත් එක්ක ආකර්ශනීය CV එකකට ලැබෙන අවධානය ඉතා ඉහළයි. කොච්චර සුදුසුකම් තිබුණත් පැහැදිළිව ඒවා පෙළගස්වල ලියල නැත්තම්, බැලු බැල්මට පිළිවෙලට හදපු අයදුම්පතක් නෙමෙයිනම් ප්‍රතික්ෂේප වෙන්න තියෙන ඉඩ කඩ තමයි වැඩි. CV එක ගැන හරියට දැනගන්න වගේම හරියට CV එකක් හදනකොට ඇතුළත් වෙන්න ඕන අනිවාර්ය දේවල් දැනගන්න පුළුවන් අපේ මෙන්න මේ ලිපියෙන්.
2. Interview Skills
CV එක ලස්සනට හදල, ඒක දැකල සේවා යෝජකයා කැමති වුණා කියමුකෝ. හැබැයි ඒ පමණින්ම රැකියාවක් ලැබෙන්නෙ නැහැනේ. අනිවාර්යයෙන්ම සම්මුඛ පරීක්ෂණයක්, ඒ කිව්වේ Job Interview එකකට මුහුණ දෙන්නම වෙනව. මේකත් ඕනතරම් සුදුසුකම් තියෙන අය නිකන්ම හැලිල යන තැනක්. සුදුසුකම් ඒ තරම්ම නැති උනත් දැනගෙන වැඩේට බැහැල තමන්ව මාර්කට් කරගන්න පුද්ගලය තමයි මෙතනින් ගොඩ යන්නෙ. ඒ නිසා interview වලට යන්න කලින් අනිවාර්යයෙන්ම ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න. කතාකරන්න සහ හැසිරෙන්න ඕන විදිහ වගේම එක එක interview ක්‍රමවේදයන් ගැනත් කලින් දැනගෙන ඉන්න. තමන් සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙන ආයතනය ගැන හොඳ අවබෝධයක් කලින් ලබාගෙන තියෙන්න ඕන. ඒ ආයතනයේ වෙබ් අඩවිය හරහා මේ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒ වගේම අදාළ රැකියාව ගැනත් අහන ඕන ප්‍රශ්නෙකට නිවැරදිව උත්තර දෙන්න දැනගෙන ඉන්න ඕන.
3. පුංචි තැනකින් පටන් ගන්න
රස්සාවක් කිව්වම හුඟක් අයට මුලින්ම මතක් වෙන්නෙ කැරකෙන සැප පුටුවක වාඩිවෙලා කරන රස්සාවල්. ඔය උසස් අධ්‍යාපනය ලබපු දරුවෝ හුඟ දෙනෙක් ජොබ් වලට ඇප්ලයි කරනකොට කරන ලොකුම වරද මේකයි. ඉගෙන ගැනීම කියන්නෙ රස්සාවකට අවශ්‍ය මූලික සුදුසුකමක් තමයි. හැබැයි රැකියාවකදී අධ්‍යාපන සහතික එක්කම වසර ගාණක පළපුරුද්දත් එකවගේම වැදගත්. මොකද පොතේ පතේ ඉගෙන ගන්න දේවල් වලට වඩා හුඟක් වෙනස් ප්‍රයෝගිකව වැඩ කරන එක. ඒ නිසා ජොබ් එකක් හොයන්න පටන් ගත්ත ගමන්ම ලොකු ලොකු රැකියාවන් වලට අයදුම් කරන්න එපා. පොඩිම තැන ඉඳල පටන් ගන්න. ඒ කියන්නෙ Internship වගේ තැනකින්. ලොකු පඩි නම් නැහැ. පොඩි දීමනාවන් තමයි ගෙවන්නෙ. හැබැයි ලැබෙන පළපුරුද්ද ඉතා ඉහළයි.
4. අත්දැකීම් එකතු කරගන්න
ඊළඟට ලැබුණ මොකක්හරි පුංචිම රැකියාවේ උනත් ඉන්න ගමන් පුළුවන් තරම් අත්දැකීම් එකතු කරගන්න ඕන. මොකද මෙතන ඉඳල ඉස්සරහට අයදුම් කරන හැම රැකියාවකදිම අහන්නෙ කලින් ජොබ් එකේ කරපු දේවල්, ඉගෙනගත්ත දේවල් මොනවද කියලයි. ඉතින් හිතමුකෝ Internship එකකටයි මුල්ම රැකියාවකට ගියේ කියල. ඇත්තටම ආයතනයක මොනම දෙපාර්තමේන්තුවක උනත් Intern කෙනෙකුට ඔළුව උස්සගන්න බැරි තරම් වැඩ කන්දරාවක් එකපාර ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ලැබෙන වැඩක් කරල ඉවරවුනහම තියෙන හැම විවේක වෙලාවකම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න. ආයතනයේ තියෙන Policies එහෙම හොයාගෙන කියවන්න, පරණ සේවකයින් ලඟට ගිහිල්ල ඔවුන් වැඩ කරන හැටි බලාගෙන ඉන්න, දැනගන්න ඕන දේවල් අහල දැනගන්න. හැබැයි ටිකක් පරිස්සමට චාටුවෙන්. එයාලගේ ජොබ් එකට විදින්න එනව වගේ නරක අදහසක් දැනෙන්නත් බැරි නැහැනේ.
5. හොඳ ආකල්ප දියුණු කරගන්න
මේක තමයි රැකියාවක් ආරම්භ කරපු දවසේ ඉඳල මුළු රැකියා ජීවිතේ අන්තිම වෙනකන්ම දියුණු කරගන්න ඕන, පවත්වාගෙන යන්න ඕන වැදගත්ම දේ. අපි ජොබ් එකක් කරන්නෙ තනියම නෙමෙයි. වෙන කණ්ඩායමක් එක්ක. ඉතින් කණ්ඩායම් හැඟීම, යහපත් නායකත්ව ලක්ෂණ, බෙදාහදා ගැනීම වගේ ගුණාංග නැත්තම් ඉස්සරහට යන්න හරිම අමාරුයි. ඔය ඉස්සරකාලෙ වගේ ලොක්කට ගොට්ට අල්ලල ගොඩයන අවස්ථා අදකාලේ රස්සාවල් වල හරිම අඩුයි. ඒ නිසා හැකිතරම් අන් අය එක්ක සුහදව කණ්ඩායම් හැඟීමෙන් වැඩකරන්න, ඉවසන්න, බලාගෙන ඉන්න පුරුදු වෙන්න. රණ්ඩු කරල, සද්දේ දාල රස්සාවල් කරන්න අමාරුයි.
6. අවස්ථාවන් හඹා යන්න
පුහුණු වෙන කෙනෙක් විදිහට එක රස්සාවකට බැඳුණහම ආයේ හොට බිම ඇනිල විශ්‍රාම යනකන්ම ඒ රස්සාවම කරගෙන ඉන්න ඕන කිව්වෙ ඉස්සර. දැන් කාලෙ වෙනස්. උපරිම එක රස්සාවක අවුරුදු 3 – 5 අතර කාලයක් හිටියම හොඳටෝම ඇති. ස්ථිර රැකියාවක්නම් gratuity එක ගැන හිතල අවුරුදු 5ක් ඉන්න එක වාසියි. කොහොම උනත් අලුත් අලුත් අවස්ථාවන් නිතර නිතර හොයාගෙන යන්න ඕන. එකම තැන ඉඳලා උසස්වීම් ලබාගන්නවට වඩා වේගයෙන් අලුත් රැකියාවන් හරහා වෘත්තීය ජිවිතේ උසස්වීම් ලබාගන්න පුළුවන්.
ඒ වගේම වැඩකරන ආයතනයේ වුණත් අලුත් ට්‍රේනින්ග්ස් එහෙම හොය හොයා සහභාගී වෙන්න හැකිතරම්. ඒවත් ඉදිරි උසස්වීම් වලට එහෙම වාසිවෙනවා.
7. පෞරුෂය සහ වෘත්තීමය බව
මේකත් අදකාලේ රැකියා වෙළඳපොළට ඇතුළත්වන අලුත් පරම්පරාව නොසලකා හරින වැදගත් කාරණාවක්. රැකියාවක් කරද්දි තමන්ගේ ප්‍රධානියාට, එකට සේවය කරන අයට වගේම සේවලාභීන්ටත් හොඳ පෞරුෂයක් පෙන්වාගෙන ඉන්න එකත් ඉදිරි ගමනට ලොකු වාසියක්. මේ පෞරුෂය සහ වෘත්තීය බව අඩුවුනහම අනිත් සේවකයෝ වගේම customers ලත් කරේ නගින්න එන අවස්ථාවනුත් වැඩියි. ඒ නිසා තමන්ගේ පෙනුමේ, හැසිරීමේ වගේම වැඩකරන ක්‍රමයේත් මේ පෞරුෂය සහ වෘත්තිමය ඒ කිව්වේ තේරෙන විදිහට කිව්වොත් professional බව පවත්වාගෙන යන්න ඕන.
Leave a Reply