රටක් හුදකලා වීම හිතන තරම් සුන්දර අත්දැකීමක් නෙමෙයි. එලෙස ලොවෙන් හුදකලා වුණු ගොඩක් රටවල ජනතාවට පසුකාලීනව අත් වුණේ හොඳ ප්‍රතිඵල නෙමෙයි, කියුබාව, වෙනිසියුලාව සහ අප්‍රිකානු රටවල් එයට උදාහරණ සපයනවා. උතුරු කොරියාව දැන් සෑහෙන කලක් තිස්සේ හුදෙකලා වෙලා. ඉතින් ඒ හුදෙකලා බව අස්සේ තිබෙන දැඩි ආහාර හිඟය උතුරු කොරියානුවන් නිතර මුහුණදෙන ප්‍රශ්නයක්. කොවිඩ් තත්ත්වය නිසා සහ හදිසි ස්වභාවික විපත් තත්ත්වය නිසා මෙවර උතුරු කොරියාවේ ආහාර නැතිකම දරුණු මට්ටමකට ඇවිත්. ඉතින් අපි ඒ ගැන විස්තර ටිකක් සොයා බලමු.
1. කිම් ජොන් අන්ගේ ප්‍රකාශය
කිම් ජොන් අන් නායකයා කියන විදිහට මේ වර්තමානයේ කොරියාව මුහුණ දෙන සාගත තත්ත්වය 1990 දී ඇතිවුණු සාගත තත්ත්වයට සමාන එකක්. ඒකෙදි ජනතාව දහස් ගණනින්, ලක්ෂ ගණනින් උතුරු කොරියාව තුළ මියැදුණා. ඒ ආහාර හිඟ වීම අවස්ථා කිහිපයකදීම උතුරු කොරියාව මුහුණ දුන් තත්ත්වයක්. මෙවැනි ආහාර හිඟකමක් කොහොමත් උතුරු කොරියාවේ තිබුණත්, මෙවර තත්ත්වය වඩාත් දරුණු බවක් උතුරු කොරියානු නායකයාගේ සෘජු ප්‍රකාශයෙන් පෙන්නුම් කරනවා. මේ තත්ත්වයට උතුරු කොරියාවේ ඉහළ සිට පහළට සිටින නිලධාරීන් ලැහැස්ති වී සිටිය යුතු බවත් කිම් ජොන් අන් නායකයා කියනවා.
2. 1990 සිදුවූ සාගතය මොකද්ද?
උතුරු කොරියාවට එරෙහිව යම් යම් සම්බාධක ඒ කාලෙත් තිබුණා. ඒත් එවකට සමාජවාදී නැඹුරුවක් තිබුණ සෝවියට් රුසියාව උතුරු කොරියාවට ආහාර ආධාර නිබඳවම ලබා දුන්නා. ඒත් 1990 දී ඒ සෝවියට් සංගමය බිඳ වැටුණා. ඒ එක්ක උතුරු කොරියාවට එන ආහාර සැපයුම් එකපාර අඩාල වුණා. ඒ තත්ත්වය කොපමණ සවුත්තු වුණාද කියනවා නම් උතුරු කොරියාව තුළ ඒ සාගත තත්ත්වය නිසා මිලියන තුනකට අධික ජනකායක් මියගියා කියා සැළකෙනවා.
3. කොරෝනා වෛරස තත්ත්වය
කොරෝනා වෛරස තත්ත්වය නිසා උතුරු කොරියාව ආකාර දෙකකින් සිය ආර්ථිකය තවත් හකුලා ගත්තා. එක පැත්තකින් දකුණු කොරියාව එක්ක තිබුණ සියළුම සම්බන්ධතා අවහිර කරගත්තා. අනෙක් පසින් යාබද චීනය සමග තිබුණ සියළුම ගනුදෙනු අත්හිටෙව්වා. මේකෙදි ඇමරිකාව විසින් සහ එක්සත් ජාතීන් විසින් කරන ලද සම්බාධක පැමිණවීමත් හේතු වුණා. ඒත් ප්‍රබල වශයෙන්ම කොවිඩ් නීති උතුරු කොරියානු ජනතාවට නරකම අතට බලපෑවා. චීනෙන් එන ආහාර විතරක් නෙමෙයි, සබන්, දත් බේත් ආදී මූලික දේවල් පවා මේ වනවිට නොලැබන තත්ත්වයක් තුළ දේශසීමා අසල ජනතාව තවත් අසරණ වෙලා තියෙනවා.
4. සම්බාධක
ට්‍රම්ප් යුගයේදී උතුරු කොරියානු නායක කිම් සමග තියෙන ඇයි හොඳයි වැඩි දියුණු කරගන්න උත්සාහ කළත් උතුරු කොරියාව එක්සත් ජාතීන් හිතන තරම් නම්‍යශීලී වුණේ නැහැ. ඔවුන් විටින් විට න්‍යෂ්ඨික අත්හදා බැලීම් වලට ගියා. ඒ එක්ක උතුරු කොරියාවට ලෝහ වර්ග, පොහොර ආදී විශාල පරිමාණයේ ගොඩක් දේවල් ගෙන එන්න තහනම් වුණා. ලෝහ වර්ග ගෙන එන්න බැරි නිසා කෘෂිකාර්මික වාහන සහ බඩු බාහිරාදිය හදාගන්න, ප්‍රවාහනය කරන්න බැරිවුණා. රසායන ද්‍රව්‍ය තහනම නිසා කෘෂි රසායන සහ පොහොර කොරියාවට එන්නේ නැතිවුණා. ඒ එක්ක උතුරු කොරියාවේ ආහාර නිෂ්පාදය තවත් දුර්වල වුණා.
5. උතුරු කොරියාව වෛරසයට බිය වුණේ ඇයි?
උතුරු කොරියාවට පනවපු සම්බාධක සහ එහි කොහොමත් තියෙන දුප්පත් කම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය තියෙන්නේ බොහොම පහත් අඩියක. ඒ වගේම බොහෝ කාලයක් තිස්සේ ජනතාව ඉන්නේ අඩු පෝෂණ මට්ටමකින්. ඒ එක්ක කොරෝනා ඇවිත් පැතිරුණා නම් තත්ත්වය තවත් සවුත්තු වෙන්න ඉඩ තිබුණා කියලා කොරියානු බලධාරීන් සිතුවා. ඒ එක්ක ඔවුන් එන්නට පෙරම බෝඩර් වහලා වසංගතය එන එක නවත්වන්න කටයුතු කළා. ඇරත් වෛරසයට එරෙහි එන්නත් ලබාගන්නත් කොරියාවට බාධාවන් ගොඩක් තියෙනවා. කොහොම නමුත් ඒ නිසා උතුරු කොරියාවට බඩු 80%ක් ආපු චීන බෝඩරය වැහීම එක්ක ඒ බෝඩර ජනතාව වගේම මුළු උතුරු කොරියාවම බඩු හිඟයකට මුහුණ දුන්නා.
6. ආධාර ලබා නොගැනීම
උතුරු කොරියාවට ආධාර දෙන්න, සහන දෙන්න රටවල් කැමති වුණත් උතුරු කොරියාව කොන්දේසි වලට එකඟ වෙලා ඒ රටවලින් ආධාර ගන්නට කැමති නැහැ. ඒ වගේම සාමුහික එකඟතාවයකින් උතුරු කොරියාව කොන්කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා බැඳිලා තියෙන නිසා ලංකාවේ වගේ රටකට වත් කෙලින්ම උතුරු කොරියාවට ආධාර දෙන්නට බැහැ. ඉතින් මේ ආධාර වලට මුල්වෙන උතුරු කොරියානු මුරණ්ඩු ප්‍රතිපත්ති උතුරු කොරියානු රෙජීමය විසින් ලේසියෙන් ඉවත දාන පාටකුත් නැහැ. දේශපාලන විචාරකයින්ගේ කොටසක් කියන විදිහට උතුරු කොරියාවට දාල තියෙන සම්බාධක වලින් තවදුරටත් එරට දුප්පත් ජනයා සාගතයෙන් මියයනවා මිසක පාලක පන්තියට කිසිඳු හානියක් වන්නේ නැහැ.
7. චීන දැවැන්තයා කොරියාව රකියිද?
පසුගිය කාලයේ පැවැත්වුණු සාකච්ඡා වලදි ක්සි ජින්පින් චීන ජනාධිපතිවරයා පවසා තිබුණේ දෙරටේ ජනයාට වඩාත් හොඳ ජීවන තත්ත්වයක් උදාකර දෙන බවටයි.එතැනින් චීන ජනතාව වැඩි අවුලක් නැතුව ජීවත් වුණත් කොරියානු ජනතාවට ආහාර හිඟය මග එනවා. ඉතින් මේ දැන් පවතින හිඟය වැඩිදුර යන්න නොදී චීනය මැදිහත්වෙලා එයින් උතුරු කොරියානු ජනතාව ගලවාගනීය කියන විශ්වාසය උතුරු කොරියානු රටට තියෙනවා. අනෙක් අතින් ලොකු ව්‍යසනයක් වුණොත් සරණාගත ගැටළුවකට චීනයටත් මුහුණ දෙන්න වෙනවා. කන්න නැතුව මියැදෙන මිනිස්සු කිසිම හව්හරණක් නැති තැන දුකසේ අමාරුවෙන් හෝ දීර්ඝ බෝඩරය හරහා එන්නට පෙළඹුනොත් එයින් චීනයට වන්නේ ලොකු බලපෑමක්.
කාලයට අනුව වෙනස් වුණොත් උතුරු කොරියානු ජනයාට සිය ජීවිත කාලය තුළ ලබන අමුතුම අත්දැකීම් ගොන්නකට මුහුණ දෙන්නට පුළුවන් වේවි. උතුරු කොරියාව තවමත් දුප්පත් කමේ අඩියේ සිටින අවට ලෝකයා ගැන අඩුවෙන් තොරතුරු දන්න මිනිස්සු බහුතරයක් ඉන්න රටක්. ඉතින් තවදුරටත් සම්බාධක වලින් හිර කරන එකෙන් මෙතෙක් වසර 70කට අධික කාලයක් වුණා වගේ රෙජීමයේ ඉහළ පුටු කිසි අවුලක් නැතිව ඉදීවි. ඒත් සාමාන්‍ය ජනයා තව තවත් පහළට වැටේවි.
Leave a Reply