දැන් ඔය ෂොපින් කිරිල්ල ගැන අපි සෑහෙන්න කතා කරලා තියෙනවනේ. මේ කොරෝනා කාලේ ආරක්ෂිතව ෂොපින් කරන්නේ කොහොමද, ස්මාර්ට් විදියට සුපර් මාකට් එකේ ෂොපින්ග් කරන්නේ කොහොමද, ෂොපින් මෝල් එකක වැදගත් විදියට ෂොපින් කරන්නේ කොහොමද, ජනවාරි මාසේ අලුත් අවුරුද්දට ෂොපින් කරන්නේ කොහොමද වගේ සෑහෙන්න ෂොපින් ටොපික්ස් අපි කවර් කරලා තියෙනවා. ඉතින් ඒ අස්සේ තව මොනවද ෂොපින් ගැන කතා කරන්න තියෙන්නේ?
ඇත්තටම තව කතා කරන්න එව්වා තියෙනවා. ෂොපින් කියන්නේ සුපර් මාකට් එකකට ගිහින් බඩු ගන්න එක විතරක් නෙවෙයි. අපි ඕන තරම් පොඩි කඩවල් වලින් බඩු ගන්නවා. පාරේ තියාගෙන විකුණන තැන්වලින් බඩු ගන්නවා. ඔය දේවලුත් අයිති වෙන්නෙ ෂොපින් වලට තමයි. ඉතින් ආන්න එහෙම බඩු ගන්න තැන්වලදිත් අපි හැසිරෙන්න ඕන, අනුගමනය කරන්න ඕන දේවල් තියෙනවා. ඒ සමහරක් දේවල් වලින් අපිට පහසුවක් වෙයි. තවත් සමහර දේවල් බඩු විකුණන මුදලාලි මහත්තයට හරි මුදලාලි නෝනට හරි පහසුවක් වෙයි. ආන්න ඒ නිසා මෙන්න මේ කරුණු කාරණා ටිකත් ෂොපින් කරන්න යනකොට ඔලුවේ තියාගෙන යන්න.
1. අවහිර කරනු එපා
සාමාන්‍යයෙන් පොඩි කඩේක විස්සකට තිහකට තියා පස් හය දෙනෙක්ටවත් හැරෙන්න ඉඩක් සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. සමහර තොග කඩවල පවා එහෙමට ලොකු ඉඩකඩක් ඇතුළේ නැහැ. ආන්න ඒ නිසා, සිල්ලර කඩේකින් බඩු ගන්න ගිහින් ෆුඩ් සිටි ගියා වගේ හැසිරෙන එක හරි නෑ. ඒ කියන්නේ කඩේ ඇතුළේ ඇවිද ඇවිද, බඩු අල්ලලා බලමින්, හොඳ නරක බලමින් බඩු ගන්න බෑ සිල්ලර කඩේක. ඒකට ඉතින් සුපර්මාකට් යන්න ඕන.
මේ එක්කම පොඩ්ඩක් විමසිලිමත් වෙන්න ඕන අපි කඩේ අවහිර කරනවද කියන එක ගැන. ඒ කියන්නේ සිල්ලර කඩේක නම් වෙන්න ඕන ගියා, අවශ්‍ය බඩු ටික කිව්වා, බඩු ටික දාලා දුන්නහම ඕන නම් චෙක් කලා, සල්ලි ගෙව්වා, ආවා කියන ප්‍රොසෙස් එක තමයි. එතනින් එහාට ටැක් ගැහි ගැහී ඉන්න ගියොත් වෙන්නේ, කඩේ අනික් බඩු ගන්න එන අයට අවහිර වීම තමයි.
2. හෙට්ටු කිරිල්ලත් සීමාවකට
මෙන්න මේක ඇත්තටම ගොඩක් අයට තියෙන නරක පුරුද්දක්. දැන් අපි සුපර්මාකට් එකකට ගිහින් හෙට්ටු කර කර ඉන්නෙ නෑනේ. ගහලා තියෙන ගාණට අරගෙන එනවා. හැබැයි ෆුඩ් සිටි එකේ රුපියල් සීයයි කියලා ගාණ ගහලා තියෙන පොල් ගෙඩියක් සද්ද නැතුව කැෂියර් එකට ගෙවලා අරගෙන එන මනුස්සයා, පාරේ තියාගෙන පොල් විකුණන කෙනෙක්ගේ රුපියල් හැත්තෑවේ පොල් ගෙඩිය කොහොමහරි පණහට ගන්න හෙට්ටු කරනවා. ඉතින් ඔන්න ඔහේ ලාබ නැතුව හරි පොල් ගොඩ ඉවරකරගන්න ඕන කියල හිතන මුදලාලි ඔන්න ඔහේ හෙට්ටු කරපු ගාණට දීලා දාන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය සමහරුන්ගේ හෙට්ටු කරන්න ගියහම එතනින් යන්නෙත් නැතුව කරන කන්කරච්චලේ හැටියට අපිට වුණත් එක තැනකදී හිතෙනවා මේක නිකන් හරි දීලා දාලා මුන්දැව මෙතනින් යවාගත්තත් කමක් නෑ කියලා. ඉතින් එහෙම හෙට්ටු කරලා බඩු ගත්තට පස්සේ මහලොකු වීර කමක් කළා වගේ තමයි එන්නේ.
මේක කැතයි. මුලින්ම අපි බඩුවක සාධාරණ ගාණ දැනගන්න ඕන. එතකොට යම් තාක් දුරකට හෙට්ටු කරන්න පුළුවන්. හැබැයි සාධාරණ ගාණකට එහා හෙට්ටු කරන්න යෑම කැත පුරුද්දක්.
3. ගන්න යන්නේ මොනවද?
අපි මුලින්ම කිව්වනේ අනවශ්‍ය විදියට සිල්ලර කඩයක් එහෙම අවහිර කරන්න යන්න එපා කියලා. මේ කාරණාවත් ඒකට අදාළයි. අපි සුපර්මාකට් එකකින් බඩු ගන්න ගියහම රාක්ක දිහා බලලා ඒ වෙලේ හිතෙන නිසා යම් යම් බඩු අරගෙන එනවා. ගොඩක් වෙලාවට ඕන නැති බඩුත් ඒ විදියට අරගෙන එනවා. හැබැයි සිල්ලර කඩේක ඒ සෙල්ලං බෑ. ගියා, ගත්තා, ආවා. ආන්න ඒ නිසා හොඳම දේ තමයි, තමන්ට ඕන බඩු ලැයිස්තුවක් අරගෙන යන එක. කඩේ ඇසිස්ටන්ට ඒක දුන්නහම බඩු ටික පැක් කරලා දෙනවා.
4. ගණන් අහලා ඉමු
හැබැයි එහෙම බඩු ලැයිස්තුව දීලා බඩු ටික පැක් කරගෙන එන්න කලින්, පොඩ්ඩක් මිල ගණන් අහලා ඉන්න එක හොඳ පුරුද්දක්. මොකද, සිල්ලර කඩේකදී එහෙම මිල ගහලා තිබ්බොත් මිසක් අපිට මිල ගණන් හොයාගන්න අමාරු වෙන නිසා. මේක අදාළ වෙන්නේ කිරිපිටි පැකට් එකක් වගේ පාලන මිලක් ගහලම එවන දේවලට නෙවෙයි. හාල්, පොල්, සීනි වගේ දේවල් ගන්නකොට, එතන ගෝනියේ ගණන් ගහලා නැතිනම්, මුදලාලිගෙන් ගණන් අහලා, ඒ ගණන් තමන්ට ඕකේ නම් ගන්න එක තමයි ඥාණවන්ත විදිය.
හැබැයි ඉතින් ප්‍රායෝගිකව ගත්තහම නම්, ටවුමේ සිල්ලර කඩ වල ගොඩක් වෙලාවට ගිණිගණන් වලට බඩු විකිණෙන්නේ නැති තරම්.
5. හොඳ කෝකද
අපි සුපර්මාකට් එකකින් නැතුව පාරේ විකුණන්න තියෙන තැනකින් හෝ පොළෙන් හෝ සිල්ලර කඩේකින් බඩු ගන්නකොට අපිට තියෙන එක වාසියක් තමයි, අපිට ඕන අවශ්‍යතාවයට හරියන බඩු, කොලිටි බඩු ගැන මුදලාලිගෙන් අහලා දැනගන්න පුළුවන් වීම. ඒ කියන්නේ, “මුදලාලි හොඳ දේශීය දන්තාලේපයක් තියෙනවද” කියලා ඇහුවොත්, ගොඩක් වෙලාවට මුදලාලි අපිට දෙන්නේ ගණන් වැඩිම එක නෙවෙයි, මුදලාලිත් පාවිච්චි කරලා එක්ස්පීරියන්ස් තියෙන එක. අපිව අන්දලා කුණු ඇඟේ ගහන්න හදන මුදලාලියෙක් අහුවෙන්නේ එහෙමත් අවස්ථාවක තමයි. හැබැයි ඉතින් අපිටත් පොඩ්ඩක් විතර මොළේ තියෙන්න ඕන මෙතනදී.
6. ඉඩ බෙදාහදා ගමු
මේකත් අර අන්‍යයන් ගැනත් හිතමු කියන කාරණේට තමයි අදාළ වෙන්නේ. අපි උඩිනුත් කිව්වනේ ඔය පොඩි ෂොප් එකක තියෙන ඉඩ කඩ සීමිත වීම ගැන. එතකොට අපිට ඒ සීමිත ඉඩ අවහිර නොකිරීම වගේම, අනික් හැමෝමත් එක්ක ඒ ඉඩකඩ හරියට බෙදාගැනීම ගැනත් අදහසක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, ඔය ටවුමේ තියෙන සාමාන්‍ය ඇඳුම් කඩේක ගොඩක් වෙලාවට ෆිට්ඔන් රූම්ස් තියෙන්නේ එකයි. අන්න එතකොට අපි ඒක ඇතුළට ගිහින් නැලවි නැලවි ඇඳුම් ඇඳ ඇඳ හැඩ බලලා හරියන්නෙ නෑ. ෆිට්ඔන් රූම් එකට ගිහින් මල් කඩලා හරියන්නෙ නෑ.
7. බඩු ඇදල දාන්න එපා
මේක ඇත්තටම අදාළ වෙන්නේ ඔය සාමාන්‍ය ඇඳුම් කඩ වගේ තැන්වලට තමයි. ආයෙ ලස්සන ඩිසයින් තෝරන්න කියලා මුළු කඩේම තියෙන ඇඳුම් කවුන්ටර් උඩට ඇදලා දැම්මා කියලා කඩේ මනුස්සයා මොකුත් කියන එකක් නෑ. හැබැයි ඉතින් අපේ පැත්තෙනුත් පොඩ්ඩක් හිතන්න ඕන, ඒ මනුස්සයාම ආයෙ මුල ඉඳන් මේ ඔක්කොම ආයෙ අසුරන්න ඕන කියන කාරණාව ගැනත්. මෙතනදී අපිට පොඩ්ඩක් මධ්‍යස්ථ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇඳුම් තෝරනකොට ඉතින් තමන්ට හරියටම ගැලපෙන ඩිසයින් එකක් තෝරගන්න වෙනවනේ. අන්න එතකොට රාක්කෙ තියෙන ඔක්කොම අදින්නෙ නැතුව, රාක්කේ අසුරලා තියෙන ඒවලින් තමන්ට හොඳයි කියලා බැලූ බැල්මට පේන ඒවා විතරක් කවුන්ටරේ උඩට දාන්න කියලා ඉල්ලන්න පුළුවන්. ඒක දෙපැත්තටම සාධාරණයිනේ!
8. ආචාරශීලී කම
මේක නම් ඉතින් සාමාන්‍ය ජීවිතේ ඕනම දේකට අදාළ වෙන දෙයක්. ඒ තමයි ආචාරශීලී කම. සමහරු ඉන්නවා, ෂොපින් ගිහින් සුපර්මාකට් එකේ කැෂියර්ට බොහොම ආචාරශීලීව කතා කරලා, පාරේ අයිනේ පළා විකුණන මනුස්සයට අතපල්ලෙන් වැටුණු ගාණට කතා කරන. අපි කියන්නේ අපි කාටත් එක විදියට, කාටත් ආචාරශීලීව සළකන්න ඕන කියන එක තමයි. බඩු ගන්න ගියාට පස්සේ හොඳට හිනාවෙලා, කුළුපග කමෙන් යුතුව, ආචාරශීලී විදියට කතා කළා කියලා අපිට මොකුත් අඩු වෙන්නෙ නෑ. එතකොට ‘කරුණාකරලා’, ‘ස්තුතියි’ වගේ වචන පාවිච්චි කළා කියලා දිව කොටවෙන්නෙ නෑ. හැබැයි ඒකෙන් සිද්ධ වෙන ධනාත්මක බලපෑම අතිවිශාලයි. මුදලාලි සමහර වෙලාවට පොඩ්ඩක් ගණන් අඩු කරලා බඩු දෙන්නත් බැරි කමක් නෑ, ඒ වගේ සුහදශීලී කස්ටමර් කෙනෙක්ට!
ඒ වගේම ඔන්න ඕකටම ඉවසීමත් අනුපානෙට තිබ්බා නං මරේ මරු.
එහෙනම් පැහැදිලියිනේ. හරිම සරල කාරණා ටිකක්. මේ දේවල් අනුගමනය කරලා ෂොපින් කරන්න ගියහම නිස්කාරණේ ලේ පුච්චගන්නෙ නැතුව, සතුටෙන් ෂොපින් කරලා එන්න පුළුවන් වෙයි. බඩු විකුණන අයටත් හිතේ කහටක් නැතුව ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි. සමහර වෙලාවට නොහිතන ඩිස්කවුන්ට් එහෙමත් ලැබෙයි!
Leave a Reply