කලින්ම විශ්‍රාම යන්න කැමති අයට සුපිරි උපදෙස්

විශ්‍රාම ජීවිතේ නිදහස, සතුට කලින්ම විඳින්න හිතාගෙන ඉන්න අයටයි ඔන්න මේ කියන්න යන දේවල් වැදගත් වෙන්නෙ. ඒ කියන්නෙ මෙන්න මෙහෙමයි. ලෝකයේ තියෙනව කලින්ම විශ්‍රාම යාම, එහෙමත් නැත්තම් අපිට කනට හුරු විදිහට කිව්වොත් early retirement කියල සංකල්පයක්. ඒකෙදි වෙන්නෙ යම් පුද්ගලයෙක් තමන් විශ්‍රාම යන්න නියමිත වයස වෙන අවුරුදු 50 හෝ 60 වගේ කාලය එළඹෙන්න කලින් ස්වේච්ඡාවෙන්ම රැකියාවෙන් විශ්‍රාම යන එක. ඉතින් එහෙම කලින්ම විශ්‍රාම දිවිය අරඹන්න කැමති අය ඔයාල අතරත් ඉන්නවනම් මේ තොරතුරු එයාල එක්ක බෙදාගන්න. එහෙමත් නැත්තම් ඔබ කැමතිනම් මේ විදිහට කලින්ම විශ්‍රාම සුවය විඳින්න ඔන්න මේ උපදෙස් කියවලම ඉන්න. 

 

1. මොකක්ද මේ කලින් විශ්‍රාම යාම?

කලිනුත් කිව්ව වගේ early retirement එහෙමත් නැත්තම් කලින් විශ්‍රාම යනව කියන්නෙ සාමාන්‍ය විශ්‍රාම යන වයසට කලින් ස්වේච්ඡාවෙන්ම රැකියාවෙන් ඉවත් වීම. මේක පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන වෙන්න පුළුවන්. ඒ කිව්වේ සම්පූර්ණයෙන්ම රැකියාවෙන් ඉවත්වෙලා ගෙදරම ඉන්නත් එහෙමත් නැත්තම් වැඩ කරන පැය ගණන අඩුකරල දිගටම වැඩකරගෙන යන්නත් පුළුවන්. 

කොහොම වුණත් රැකියාවෙන් විශ්‍රාම යනව කිව්වෙ එක රැකියාවකින් ඉවත්වෙලා නැවත රැකියාවකට යන එක නම් නෙමෙයි. ඒක අයත් වෙන්නෙ ඉල්ලා අස්වීම හෝ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන Voluntary Retirement Scheme හෙවත් VRS වලටනේ. මේක වෙනස්. මේ විදිහට විශ්‍රාම යන්නේ මුළු රැකියා දිවියෙන්ම. ඒ කිව්වේ සක්‍රීයව රැකියාවක් කරන එකෙන් ඉවත්වෙලා සුවපහසු දිවියක් ගතකරන එක. හැබැයි ඉතින් අපිට හිතූ පමණින් ආවට ගියාට මෙහෙම කරන්නත් බැහැනේ. හිතන්න කොච්චර දේවල්නම් තියෙනවද? ඒ නිසයි ඔන්න මේ ගැන දිගටම කියවලා දැනගන්න ඕන. එහෙම නැතුව “දැන් වැඩකළා ඇති” කියල හිතුණ ගමන්ම විශ්‍රාම යන්නනම් බැහැ.

 

2. ඇයි කලින් විශ්‍රාම යන එක වැදගත්?

ඕනම දෙයක් කරන්න කලින් හිතල බලන්න එපැයි මේ කරන වැඩේ තේරුම මොකක්ද කියල. ඒ විදිහට හිතල බැලුවම කලින් විශ්‍රාම දිවියට පිවිසෙන එකේ වාසි මෙන්න මේවයි. ඕනම කෙනෙකුගේ සෞඛ්‍ය වයසට යන්න යන්න පිරිහෙන අවදානම වැඩියි. ඒකට හුඟක්ම හේතු වෙන්නෙ කාර්යබහුල ජීවිතේ එක්ක සෞඛ්‍යයට යොදවන අවධානය අඩුවෙන එක. ඉතින් කලින් විශ්‍රාම යන කෙනෙකුට පුළුවන් තමන්ගේ සෞඛ්‍ය ගැන රැකියාවක් කරන කෙනෙකුට වඩා අවධානය යොමු කරන්න.

ඒ වගේම තමයි ජීවිතේ මඟහැරුණු විනෝදාංශ ආපහු ආරම්භ කරන්න, සංචාරය කරන්න වගේ bucket list එක එකින් එක සම්පූර්ණ කරගන්නත් මේ වැඩෙන් ලොකු කාලයක් ඉතුරු වෙනවා.

 

3. ඉතිරි කළහම ඇතිද?

ඔන්න දැන් කෙනෙක් හිතුවයි කියමුකෝ එයා අවුරුදු 55 හෝ ඒ අදාළ කාලය එළඹෙන්න කලින් විශ්‍රාම දිවියට එළඹෙනව කියල. හැබැයි අපි කිව්වනෙ මේක හිතූ පමණින්ම කරන්න බැහැ කියල. මොකද විශ්‍රාම ගියාට පස්සෙ මැරෙනකන්ම ජීවත් වෙන්න ක්‍රමයක්, ඒ කිව්වෙ මුදල් තියෙන්න එපැයි. අන්න ඒ නිසා කලින් විශ්‍රාම යන්න ප්ලෑන් කරන කෙනෙක්නම් රැකියාවේ මුල්කාලෙ ඉඳලම මේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් ඉතුරු කරගන්න ඕන. 

හැබැයි ඉතුරු කළහම විතරක්ම ඇතිද? අපොයි නැහැ. ඉතුරුවකින් විශ්‍රාම දිවිය ගතකරනවා කියන එක, විශේෂයෙන්ම සාමාන්‍ය ප්‍රමාණයට වඩා දීර්ඝ විශ්‍රාම දිවියක් පොඩි කාලයක් ඉතුරු කළ මුදලකින් ගතකරනව කියන එක ලොකු අවදානමක්. මේ මුදල් දවසක ඉවර වෙන්න පුළුවන්. හදිසි වෛද්‍ය ප්‍රතිකාර වලට වැයවෙන්න පුළුවන්. ඒ නිසා early retirement එකකට යන්න හිතාගෙන ඉන්න කෙනෙක්නම් අනිවාර්යයෙන්ම මුදල් ආයෝජනය කරන ක්‍රම එකක් හෝ කිහිපයක් සලකා බලන්නම ඕන. 

 

4. විශ්‍රාම දිවියට ප්ලෑන් එකක්

ඒ වගේම තමයි මෙහෙම සිතුවිල්ලක් ඇතිවුන දවසේ ඉඳලම විශ්‍රාම යන්න හිතන වයස මොකක්ද? ඒ වෙනුවෙන් කරන මුදල් ඉතුරුම් සහ ආයෝජන මොනවද? විශ්‍රාම දිවිය ගත කරන්නේ කොහොමද? ඒ කිව්වේ විශ්‍රාම ගියාට පස්සෙ ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්න කරන දේවල් එහෙම හිතල හොඳ සැලසුමක් තියාගන්න ඕන. නැත්නම් ඔය කියන විශ්‍රාමික විවේකී සුවය හිතේ හැටියට විඳින්න වෙන්නෙ නැහැ.

 

5. ආදායම් වියදම් ප්ලෑන් එකක්

කලින් කිව්ව වගේ මුදල් කියන්නෙ ඉක්මනින් ඉවර වෙන දෙයක්. හදිසි අවස්ථා වුණාම වාෂ්ප වෙන දෙයක්. විශේෂයෙන්ම රැකියාවක් නොකර  නිකන්ම ඉන්නකොට ඕනම දෙයක් කරන්න විවේකය තියෙන නිසා සල්ලි පරිස්සම් කරන්න හරිම අමාරුයි.  ඒ නිසා විශ්‍රාම යනකොටම අතේ තියෙන මුදල් සහ ආයෝජන කරල තියෙනවනම් ඒවගෙන් ලැබෙන මුදල් පරිහරණය කරන්නෙ කොහොමද කියන එක ගැන හොඳ සැලසුමක් තියෙන්නම ඕන. 

 

6. සෞඛ්‍ය රක්ෂණාවරණයක්

ඊළඟට වැදගත්ම දේ තමයි මේක. විශ්‍රාම දිවිය ඒ කියන්නෙ සාමාන්‍ය කාලයෙන් ගත්තොත් වයස අවුරුදු  60ට පස්සෙ කාලය කියන්නෙ ශරීරය හරියට ලෙඩදුක් වලට මුහුණ දෙන කාලයක්. ලෙඩදුක් කියන්නෙ ඉතින් වයසත් එක්කම ලැබෙන තෑගිනේ. ඔන්න ඔය කාලෙට හැදෙන ලෙඩ රෝග වලට කරන වියදම් ගැනත් සැලසුමක් කලින්ම හදාගන්න ඕන. නැත්තම් අතේ තියෙන සල්ලි ඉස්පිරිතාලවලටම ඉවර වෙයි. හොඳම විසඳුම තමයි තරුණ කාලෙම හොඳ රක්ෂණ ආයතනයක විශ්‍රාමික සෞඛ්‍ය රක්ෂණයකට යොමුවෙන එක. එතකොට ලෙඩදුක් ගැන වියදම් එයාල බලාගනී.

 

 

7. මේ ක්‍රමයේ අවාසි

ඔන්න ඉතින් කොයි දේකත් වගේ මේ ක්‍රමයෙත් අවාසිත් නැත්තේම නැහැ. ඒ ගැනත් කියන්නම එපැයි. සක්‍රීයව වැඩ කරමින් හිටපු පුද්ගලයෙක් එකපාරටම වැඩ කරන එක නතර කලහම ඒකෙන් මානසික මට්ටම පහළ ගිහිල්ලා ඒ ඔස්සේ ශාරීරික වගේම මානසික ලෙඩරෝග ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි කලින් කියපු ඉතුරුම් ඉක්මනින් ඉවර වෙන එක. ඉතුරු කරන්න තියෙන කාලයට වඩා වියදම් කරන්න තියෙන කාලය වැඩි නිසා ඉතුරු කරපු සල්ලි මදි වෙන්න පුළුවන්. ඒ වගේම පහුකාලීනව වැඩ කරන්න තිබුණ කාලය අපරාදේ කියලත් හිතෙන්න බැරි නැහැ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *