දළඳා මාළිගාවේ කරඬුව වඩම්මපු අභිමානවත් ඇතුන්

ලංකාවේ අපේ පෞරාණික උරුමය, සංස්කෘතිය කියන ඔය කොයි අතින් ගත්තත් බුද්ධ ධර්මයට මේ රටේ හිමිවෙන්නෙ ටිකක් ඉහළ තැනක්. ඒ රටේ ඉතිහාසයේත් ලොකු තැනක් බුදු දහමට උරුමවීම වගේම අදටත් රටේ බහුතරය බෞද්ධාගමිකයින් වීම නිසාත් වෙන්න පුළුවන්. කොහොම උනත් බෞද්ධ හැමෝගෙම වගේම රටේම මුදුන් මල්කඩ විදිහට අපි හඳුන්වන්නේ මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කරල තියෙන තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව හෙවත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ. හැබැයි මේ විස්තරය ඒ ගැනනම් නෙමෙයි. ඒ දන්ත ධාතූන් වහන්සේ කරපිට තියාගෙන පෙරහැරේ ගමන් කරන්න තරම් වාසනාවන්ත වුණු සද්දන්ත කුලේ ඇත් රජවරු ගැනයි මේ කතන්දරේ. මේ කරඬුව වැඩමවීම හැම ඇතෙකුටම කරන්න බැහැ. ඒකට සද්දන්ත කුලේ ඇතෙකුගේ ලක්ෂණ පිහිටල තියෙන්න ඕන වගේම කාර්යයට උචිත මනා හික්මීමක්, බුද්ධියක් තියෙන්නත් ඕන. ඔය සියලු කාරණා සම්පුර්ණ කරපු ඇත්තුන්ට විතරයි මේ වාසනාව හිමිවෙන්නෙ. ඉතින් කියවලම බලමුකෝ එදා මෙදාතුර දන්ත ධාතූන් වහන්සේ, එහෙමත් නැත්තම් දළඳා කරඬුව වඩමවපු අභිමානවත් ඇතුන් කිහිප දෙනෙක් ගැන මේ විස්තරය.

 

1. රාජා

දළඳා කරඬුව වැඩම කරවපු ඇතුන් කිව්වම අපි කාටත් මුලින්ම මතක් වෙන්නෙ මේ රාජා හස්තියාව. ඒ තරමටම හැමෝම අතරේ මේ පින්වන්ත සත්වයා හරිම ප්‍රසිද්ධයි. මේ ඇතා මියගියත් අදටත් ඇතාගේ ස්වභාවික හම යොදාගෙන ප්‍රතිනිර්මාණය කෙරුණු ජීවමාන පිළිරුව දළදා මාලිගාවේ කෞතුකාගාරයක දකින්න පුළුවන්.

මේ රාජා පුංචි පැටියෙක් සමයේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ වනාන්තරයකින් තමයි අල්ලාගෙන තියෙන්නෙ. මේ පැටියව මිලදී ගත්ත මහනුවර ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවේ 1937 වසරේදී පූජා ඔප්පුවකින් ඇතාව දළදා මාළිගාවට පූජා කරනවා. එතැන් පටන් මාළිගාවේ ඇත් පන්තියේ හැදී වැඩෙන රාජා හස්තියා 1953 වසරේ තමයි මුලින්ම දළදා කරඬුව වැඩම කරවන්නේ. එතැන් පටන් වසර 37ක් පුරාවට මේ කරඬුව වැඩමවීමේ භාරදූර කර්තව්‍ය සිදුවෙන්නේ රාජා හස්තියා අතින්. 1986 දී එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ජාතික උරුමයක් ලෙස නම්කෙරුණු රාජා හස්තියා 1988 වර්ෂයේදී මියයනවා. 

 

2. නැදුන්ගමුවේ රාජා

නැදුන්ගමුවේ රාජා කියන්නේ ඊළඟට අපි අතරේ හුඟක්ම ප්‍රසිද්ධ මේ වෙනකනුත් දළඳා කරඬුව වඩමවන කටයුත්තට උරදෙන හස්ති රාජයා. නැදුන්ගමුවේ රාජා හස්තියා මුලින්ම දළඳා පෙරහැර එක්ක සම්බන්ධ වෙන්නෙ 2005 වසරේදී. එදා ඉඳන් අද වෙනකන්ම සහභාගී වෙන හැම පෙරහැරකටම පා ගමනින්ම පැමිණීම මේ ඇතාගේ තවත් එක විශේෂත්වයක්.

නැදුන්ගමුවේ රාජා උපත ලබන්නේ ඉන්දියාවේ. ඒ 1953 වසරේදී පමණ. ඉන්දියාවේ මයිසූර් මහරජා විසින් දරුණු හිසරදයක් සුවකිරීම වෙනුවෙන් ප්‍රති උපකාර කිරීමක් විදිහට මේ නැදුන්ගමුවේ රාජා සහ ගංගාරාම විහාරයේ නවම් රාජා කියන ඇත් පැටවුන් දෙදෙනාව නීලම්මහර පුරාණ විහාරස්ථානයේ වැඩවාසය කළ වෙද හිමිනමකට තෑගි කරනවා. 1978 වසරේදී තමයි මේ ඇතා නැදුන්ගමුවේ ධර්මවිජය වෙද රාළහාමි මිලට ගන්නේ. එතැන් පටන් තමයි මේ හස්තියා නැදුන්ගමුවේ රාජා කියල නම් කෙරෙන්නේ. 

 

3. මිල්ලන්ගොඩ රාජා

මිල්ලන්ගොඩ රාජා කියල කියන්නෙ ලංකාවේ දිගම දළ ඇති හස්තියා විදිහට වාර්තා අතරට එක්වුණ හස්තියෙක්. 1945 වර්ෂයේදී පුත්තලමේ ආණමඩුව ප්‍රදේශයේ වනාන්තරයකින් සොයාගැනුණු මේ ඇත් පැටවා  කෑගල්ලේ මොලගොඩ වාසය කල එම්. ආර්. ඒ. මිල්ලන්ගොඩ අප්පුහාමි මිලදී ගැනීමෙන් පසුව තමයි මිල්ලන්ගොඩ රාජා බවට පත්වෙන්නේ. දන්ත ධාතූන් වහන්සේ වැඩමවීමේ භාග්‍ය වගේම වසර 40කට අධික කාලයක් දළදා පෙරහැරේ ගමන් කිරීමේ භාග්‍ය ලබපු මිල්ලන්ගොඩ රාජා හස්තියා මියයන්නේ 2011 වර්ෂයේදී.

 

4. ඉන්දි රාජා

ඉන්දි රාජා කියන්නෙත් ඉන්දියාවේ උපත ලබපු හස්තියෙක්. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා විසින් දළඳා මාළිගාවට පරිත්‍යාග කරපු මාළිගාවේ ඇත් පන්තියට අයිති හස්තියෙක්. ඉන්දියාවෙන් ආපු නිසාම ඉන්දි රාජා කියලා හඳුන්වන්නේ. මාළිගාවේ කරඬුව වඩම්මවන්න වාසනාවන්ත වුණ, ඒ වගේම අදටත් කරඬුව වඩමවන්න සුදුසුයි කියලා හඳුනාගත්ත ඇතුන් තුන්දෙනා අතරින් එක හස්තියෙක් තමයි මේ ඉන්දි රාජා.

 

5. වාසනා

වාසනා කියන්නෙ රුහුණු කතරගම මහා දේවාලයේ හස්තියා. මේ ඇතාත් මාළිගාවේ කරඬුව ගෙනියන ඇතුන් අතරේ අදටත් ඉන්න හස්තියෙක්. මේ වාසනා හස්තියා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැලයක අතරමන්වෙලා ඉන්නකොට සොයාගත්ත ඇත් පැටවෙක්. පින්නවල අලි අනාථාගාරයට ගෙන ඒමෙන් පස්සේ විමලා කන්නන්ගර මැතිණිය විසින් තමයි මේ ඇත් පැටවා කතරගම මහා දේවාලයට පරිත්‍යාග කරල තියෙන්නෙ. 

 

6. හෙයියන්තුඩුවේ රාජා

හෙයියන්තුඩුවේ රාජා කියල කියන්නෙ රාජා හස්තියාගේ මරණෙන් පස්සෙ ඒ කියන්නෙ 1991 වසරේ ඉඳල 2002 වසර වෙනකන්ම දළඳා කරඬුව වඩම්මවන්න වාසනාවන්ත වුණ හස්තියා. මේ හෙයියන්තුඩුවේ රාජා හස්තියාත් දිගම දල ඇති හස්තියෙක් විදිහට වාර්තා වෙනවා. 1945 වර්ෂයේදී හම්බන්තොට ප්‍රදේශයේ වනාන්තරයකින් අල්ලාගෙන බ්‍රිතාන්‍ය රජය විසින් කළ වෙන්දේසියකදී තමයි මේ හස්තියාව හෙයියන්තුඩුවේ විලියම් ගුණසේකර මහත්මයා මිලදී ගන්නෙ. මේ හස්තියා නළුවෙක් විදිහටත් ප්‍රසිද්ධයි. සුදා සුදා, රාම්ජගේ සහ ඉන්දියානා ජෝන්ස් කියන චිත්‍රපට වලට මේ සතාව සම්බන්ධ කරගෙන තියෙනවා. 2002 වර්ෂයේදී විලියම් මහතාගේ පුත් හෙන්රි ගුණසේකර මහතාගේ නිවසේදී මියගිය මේ සත්වයාගේ ඇටසැකිල්ල ජපාන සමාගමකින් ඩොලර් 120,000ක වගේ ඉහළ මුදලකට ඉල්ලලා තියෙද්දිත් හෙන්රි මහත්මයා එය ලංකා රජයට පරිත්‍යාග කරනවා. මේ සැකිල්ල අදටත් ජාතික  ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ දකින්න පුළුවන්. 

 

7. වෑවලදෙණියේ රාජා

වෑවලදෙණියේ ඇතා කියන්නෙත් 15 වතාවක් පමණ දළඳා කරඬුව වඩමවන්න වාසනාවන්ත වුණ හස්තියෙක්. මේ හස්තියා අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේදී තමයි අල්ලාගෙන තියෙන්නේ. 1974 වර්ෂයේදී ඇමති පී.බී.ජී. කලුගල්ල මහතා විසින් තමයි වෑවලදෙණිය පුරාණ විහාරාධිපති ශ්‍රී සෝරත නාහිමියන්ට පූජා කරල තියෙන්නේ. ඊටත් පස්සෙ විහාරාධිපති හෙම්මාතගම සිද්ධාර්ථ හිමිගේ කාලයේදී මේ හස්තියා දළදා මාලිගාවේ ඇත් පන්තියට පූජා කරනවා. 2014 වර්ෂයේ මහනුවරදීම මේ හස්තියා අවසන් ගමන් යනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *