දැන් ඔය 90 දශකෙදී, 2000 මුල් කාලෙදී එහෙම අපි නිකමටවත් හිතුවද අද අපි පාවිච්චි කරන නවීන තාක්ෂණයන් තියේවි කියලා? නැහැනේ. උදාහරණ ඕන නං කියවලා බලන්න 80, 90 දශක වල අපි ටෙක්නොලොජි පාවිච්චි කරපු හැටි ගැන. අන්න ඒ වගේ තමයි ඉතින් අද දවසේ ඉඳලා අපි අනාගතේ දිහා බැලුවත් පේන්නේ. හැබැයි ඉස්සර ඉඳලා අද කාලේ දිහා බලනවට වඩා, අද කාලේ ඉඳලා අනාගත කාලේ දිහා බැලුවහම අපිට මාර පුදුමයක් නෑ. මොකද, සයිෆයි වලින් අනාගතේදී බොහෝ විට දකින්න ලැබෙන නව තාක්ෂණයන් ගැන අපි දැනුවත් වෙලා ඉන්න නිසා විතරක් නෙවෙයි. අනාගතේදී සුලභ තාක්ෂණයන් වෙන්න පුළුවන් ගොඩක් දේවල් සම්බන්ධයෙන් මූලික අත්හදාබැලීම් දැනටමත් සිද්ධ වෙමින් පවතින නිසා.
එහෙමනම් ඉතින් අපි පොඩ්ඩක් හිතලා බලමුද 2030, 2035, 2040 වගේ කාලයන් වෙනකොට නිකම් සරල එදිනෙදා වැඩ වලට පාවිච්චි වෙන්න පුළුවන් තාක්ෂණයන් කොහොම වෙයිද කියලා? ඒවෑයින් ඒ කාලේ ඉන්න අපේ ජීවිත කොහොම වෙනස් වෙයිද කියලා?
1. ෂොපින් කරන ෆ්‍රිජ්!
දැන් කාලේ කොච්චර තාක්ෂණේ දියුණු වුණත්, කුස්සියේ තියෙන බඩු ඉන්වෙන්ටරිය මතක තියාගන්න ඕන අපිම තමයි. උදාහරණයක් විදියට ඔන්න ෆ්‍රිජ් එකේ තියෙන බිත්තර ඉවර වෙනවා. ඉතින් ඕක මතක් වෙන්නේ ඊලඟ පාර ඔම්ලට් එකක් හදාගන්න කුස්සියට ගියහම තමයි. දැන් මොකදෑ කරන්නේ? හැබැයි අනාගතේදී එහෙම ප්‍රශ්න වෙන එකක් නෑ. ෆ්‍රිජ් එකේ බිත්තර අඩු වේගෙන යනකොට, ෆ්‍රිජ් එක කෙලින්ම බඩු ලිස්ට් එකක් යවයි ලඟම තියෙන කීල්ස් එකට. කීල්ස් එකෙන් බඩු ටික ගෙදරටම ගෙනැල්ලා දෙයි එදාම! එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. එක එක බඩු අඩුවෙන අඩුවෙන වෙලාවට ෆ්‍රිජ් එක ඒ එක අයිටම් එක අයිටම් එක ඕඩර් කරයිද? එතකොට වෙනම රස්සාවක් කරන්න වෙනවා ඩිලිවරි චාර්ජස් ගෙවන්න විතරක්! නෑ, ඒ කාලේ වෙනකොට එව්වටත් ගාණට සිස්ටම් හැදිලා තියෙයි!
2. වෙනස් විදියේ කෘෂිකර්මයක්!
දැන් කාලේ අපි කෘෂිකර්මය කියලා දකින්නේ මොකද්ද? ගොවිමහත්තයෙක් කුඹුරු හරි හේන් හරි අස්වද්දනවා නේ? හැබැයි අනාගතේදී ඔය කෘෂිකර්මය සහ පශුපාලනය කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න අඩිතාලම දැනටමත් වැටිලා කියලා තමයි අහන්න ලැබෙන්නේ. උදාහරණයක් විදියට කිවුවොත්, අනාගතේදී අපි දකින්නේ බිම් වගාවන් නෙවෙයි වෙන්න පුළුවන්. ඒ වෙනුවට කෙළින් අතට වවන විධියේ Vertical agriculture කියන එක ඒ වෙනකොට සාමාන්‍යකරණය වෙලා තියේවි. මෙතනදී එක වාසියක් තමයි බිම් ඉඩ ඉතුරු වීම. අද ලෝකේ බිම් ඉඩ සෑහෙන්න මදි වෙලා තියෙනවනේ. අන්න ඒ නිසා තමයි සිරස් අතට ඒ කියන්නේ කෙළින් අතට භෝග වගා කිරීම හොඳ විකල්පයක් වෙන්නේ. ඒ වගේම මූලික කටයුතු ඉෂ්ට කළාට පස්සේ, ගොවි මහත්තයා වෙනුවෙන් වගාවේ තත්ත්වය බලාකියාගෙන අවශ්‍ය ප්‍රමාණයට හිරුඑළිය, පොහොර, ජලය සපයන්න කෘත්‍රිම බුද්ධියක් එහෙමත් තියෙයි ඒ කාලෙදී.
ඒ වගේම මස් ගන්න සත්තු මරනවා වෙනුවට, ස්ටෙම් සෙල්ස් වලින් මස් “වවන” සිස්ටම් එකක් එහෙමත් අනාගතේදී එන්න පුළුවන්.
3. ඩිලිවරි ඩ්‍රෝන්ස්!
දැන් කාලේ වෙනකොටත් ඩ්‍රෝන යානා විවිධ කටයුතු සඳහා යොදාගැනීම බොහොම තදින් සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ තවදුරටත් අද වෙනකොට ඩ්‍රෝන් යවන්නේ ආතල් එකට විතරක් නෙවෙයි. කෘෂිකර්මයට වගේම බෝඩර් පැට්‍රෝල් වගේ වැඩවලට, ආරක්ෂක වැඩවලට පවා ඩ්‍රෝන යානා යොදාගන්නවා. ඔය ෆිල්ම් වල එහෙම නම් මත්ද්‍රව්‍ය ජාවාරම වගේ දේවලටත් ඩ්‍රෝන යානා යොදාගන්නවා අපිට පේනවනේ.
හැබැයි අනාගතේදී ඇත්තටම අපිට බඩු ඩිලිවරි කරන අයියලා වෙනුවට බඩු ඩිලිවරි ඩ්‍රෝන්ස් එන්න බැරිද? එහෙම පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට ආයෙ ඊබේ එකෙන් බඩු අරගෙන තැපැල් අයියා හරි ඩිලිවරි මල්ලි හරි නෙවෙයි එන්නේ. කෙලින්ම ස්වයංක්‍රීයව ඩ්‍රෝන් එකෙන් ගෙදර දොරකඩටම බඩු ටික බාලා යන සීන් එකක් තමයි වෙන්නේ!
4. ස්මාට් හවුස්!
මේක නම් ඉතින් අනාගත කන්සෙප්ට් එකක් නෙවෙයි. අදටත් ජනප්‍රිය වේගෙන එන දෙයක්. හැබැයි අපි හිතනවා, අද, ඒ කියන්නේ 2021 වෙනකොට ස්මාට්ෆෝන් එක අතිශයින්ම සාමාන්‍ය, සුලභ උපාංගයක් වෙලා තියෙන විදියටම, ස්මාට් ගෙවල් කියන්නේ 2030, 2040 වෙනකොට අතිශයින්ම සාමාන්‍ය, සුලභ දෙයක් වෙයි කියලා. ඒ කියන්නේ අපේ ගෙදර හැමදෙයක්ම ස්වයංක්‍රීයයි කියන එක. අපි පාලනය කරන්න ඕන දේවල් ෆෝන් එකෙන් සරලව කරගන්න පුළුවන්. ගෙදර ලයිට් වල ඉඳලා ටීවී, ස්පීකර්, දොරවල්, ෆ්‍රිජ්, මයික්‍රොවේව්, සීසීටීවී කැමරා දක්වා හැමදෙයක්ම වයි-ෆයි වලින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ගෙදර දොර ආරක්ෂාවේ ඉඳලා ගෙදරදොර එදිනෙදා කටයුතු දක්වා දේවල් බොහොම ලස්සනට ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, කාමරේට අපි ඇතුළු වෙද්දී ලයිට් ඔන් වෙනවා. අපි ගුඩ් මෝනින් කියලා වොයිස් කමාන්ඩ් එකක් දීපු ගමන් ඔන්න ටීවී එක ස්වයංක්‍රීයව ඔන් වෙලා දවසේ නිව්ස් හෙඩ්ලයින් ටික කියනවා. මරුනේ?
5. ඇඟේ තාලෙට ගෘහභාණ්ඩ
අපි පුංචි කාලේ නම් සාමාන්‍යයෙන් ගෙදර වාඩි වෙන්න තිබුණේ ලී පුටු තමයි. ඊට වඩා සුවපහසුව අවශ්‍ය නම් අර රෙද්දක් දාපු හාංසි පුටුවක් සෙට් කරගන්න පුළුවන්. හැබැයි දැන් වෙනකොට ඇවිත් තියෙනවා බීන් බෑග්ස්. එව්වා අපේ ඇඟේ විදියට ඇජස් වෙනවා. හැබැයි 2030, 2040 වෙනකොට ඒ විදියට අපි ඉන්න ඉරියව් වලට, අපේ ඇඟට හරියන විදියට ඇජස් වෙන ගෘහභාණ්ඩත් එයි කියලා තමයි අහන්න ලැබෙන්නේ. උදාහරණයක් විදියට කිවුවොත්, අපි නිදාගන්න ඇඳ අපි හැරෙන පෙරළෙන විදියට, අපේ ඇඟේ තියෙන ප්‍රෙෂර් පොයින්ට්ස් වල විදියට වෙනස් වෙනවා. ඒකෙන් අපිට නියමම සුව නින්දක් ලබාගන්න පුළුවන්.
ඒ වගේම අතුරු කතාවක්. අනාගතේ ගෘහ භාණ්ඩ පුළුවන් තරම් ඉඩ ඉතුරු කරන විදියට නිර්මාණය වෙයි කියලත් කියනවා. ඒ කියන්නේ වැඩ ඉවර වෙලා බිත්තියට අකුලන්න පුළුවන් මේස, සීලිමෙන් පහළට ඇදලා අරගෙන නිදාගන්න පුළුවන් ඇඳන් වගේ එව්වා!
6. ඔටෝකාර්?
මේක ඉතින් දැනටමත් ඊලෝන් මස්ක් සිහින දකින කාරණාවක්නේ. අනාගතේදී තවදුරටත් ෆොසිල ඉන්ධන දහනයෙන් දුවන කාර් දකින්න නැතිවෙයි කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. ඒ වෙනුවට අලුත්ම නෝමල් එක වෙන්නේ ඉලෙක්ට්‍රික් කාර්. දැනටමත් ඉතින් ඉලෙක්ට්‍රික් කාර් සෑහෙන්න පාවිච්චි වෙනවනේ. හැබැයි ඒ විතරක් නෙවෙයි, මේ කාර් එක අපි ඩ්‍රයිව් කරන්නත් අවශ්‍ය නැති වෙයි. ඒ වෙනුවට කාර් එකට නැගලා යන්න ඕන ගමනාන්තය වොයිස් කමාන්ඩ් එකකින් දුන්නහම කාර් එක බොහොම පරිස්සමෙන් අපිව අදාළ තැනට අරගෙන යයි. අපිට තියෙන්නේ අපේ වැඩක් කරගන්න තමයි. ඒ වගේම ඔය ඊලෝන් මස්ක්ගේ අනාගත ප්ලෑන් එකේ එක කොටසක් තමයි භූගත උමං මාර්ග ජාලයන්. ඒවා සැලසුම් කෙරෙන්නෙත් මේ විදියේ ඔටෝ දුවන වාහන වලට ආරක්ෂිතව, මාර්ග තදබදයකින් තොරව ගමනාන්‍තයන්ට යන්න තමයි.
හැබැයි ඒ කියන්නේ අනාගතේදී ඩ්‍රයිවර් ජොබ් හොයාගන්න නැතිවෙයි නේ?
7. ස්මාට් ග්ලාසස්
මේ කියන්නේ ඇස් කණ්ණාඩි ගැන. හරියටම කියනවා නම්, වැඩිදියුණු කළ යතාර්ථය -ඒ කියන්නේ ඔග්මෙන්ටඩ් රියැලිටි- එකෙන් අපේ ජීවිත පහසු කරන්නම නිර්මාණය වුණු ඇස් කණ්ණාඩි ගැන. මේක අලුත් කන්සෙප්ට් එකක්ද? නෑ. ගූග්ල් ඇතුළු සමාගම් කීපයක්ම මේවා නිෂ්පාදනය කළා. ඒ වගේම වැඩිදියුණු කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මේ ග්ලාසස් දාගත්තට පස්සේ සමහර වෙලාවට වයර්ලස් හෙඩ්සෙට් අවශ්‍ය වෙන එකකුත් නෑ. කෝල් එකක් ආවහම මේ ස්මාට් ග්ලාසස් ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙලා කෝල් එක අරගෙන දෙයි. ඕන නම් වීඩියෝ එක වුණත් ග්ලාස් එකෙන්ම පෙන්නයි.
ඒ වගේම, ඩිසයිනර්ස්ලා, ඩොක්ටර්ස්ලා ඇතුළු බොහෝ දෙනෙක්ට තමන්ගේ වෘත්තිමය වැඩකටයුතු වලටත් මේ විදියේ ස්මාට් කණ්ණාඩි සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි. වීඩියෝ ගේම් ගහන අයට මේ ස්මාට් ග්ලාසස් මොන වගේ විප්ලවයක් වෙයිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!
ඉතින් මේ ඇරෙන්න තව මොනවද අනාගතේදී අපේ ජීවිත වෙනස් කරන තාක්ෂණයන් වෙයි කියලා හිතන්නේ? කමෙන්ට් එකකින් ඒ ගැන කියාගෙන යමු.
Leave a Reply