BMI – Body Mass Index හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය ගැන හරියටම දැනගමු

ස්ථුලතාවය කියල කියන්නෙ ලෝකයේ හුඟ දෙනෙක් මුහුණපාන ගැටළුවක්. කාර්යබහුල ජීවන රටාවන්, සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර පුරුදු වගේ හුඟක් හේතු නිසා අද කාලේ කාන්තා පිරිමි දෙපාර්ශවයම පොදුවේ මේ ගැටළුවට මුහුණ දෙනවා. ඒ වගේම අනිත් පැත්තට බර අඩුකරගන්න හැටි, ව්‍යායාම කරන හැටි, BMI එක පවත්වා ගන්න හැටි ගැන එහෙම ලොකුවට කතාබහ වෙනවා. ඇත්තට මොකක්ද මේ BMI එක? බර අඩුකරගන්න කතාකරන, ඒ වගේම හුඟක් ලෙඩරෝග සම්බන්ධයෙන් කතාබහ වෙන හැම වෙලාවකම කියවෙන මේ BMI එක ගැන සමහර දෙනෙක් ඇත්තටම දන්නෙ නැහැ. ඒ නිසාම අපි හිතුවා නිතර කතාබහ වෙන මේ BMI එක කියන්නෙ මොකක්ද කියන එක ගැන වැඩිදුර විස්තර ටිකක් කතා කරන්න. 

 

1. මොකක්ද මේ ශරීර ස්කන්ධ දර්ශකය

BMI එහෙමත් නැත්තම් ශරීර ස්කන්ධ දර්ශකය කියල කියන්නෙ බොහොම සරලව කිව්වොත් ඕනම කෙනෙකුගේ උසට සරිලන විදිහට පවත්වාගත යුතු බර ප්‍රමාණය. ඒ කිව්වේ මහත් වෙන එක හොඳ නැහැ වගේම උවමනාවට වඩා කෙට්ටු වෙන එකත් ඇඟට හොඳ නැහැ. උසට අවශ්‍ය බර ප්‍රමාණය තියාගන්න ඕන.

අධික බර කියල කියන්නෙ දියවැඩියාව, හෘද රෝග වගේ හුඟක් රෝග වලට හේතුවක්. ඒ වගේම අධික කෘෂ බවත් ලෙඩරෝග වලට හේතුවක්. ඒ නිසා තමයි මේ විශේෂ ක්‍රමයකට හොයාගන්න BMI එක අනුව බර පවත්වාගන්න එක කාටත් වැදගත්. 

 

2. ඉතිහාසය

මේ BMI කියන සංකල්පයේ මූලිකම අදහස ඒ  කිව්වේ උස බර සම්බන්ධ social physics කියල ක්‍රමයක් මුලින්ම ප්‍රකාශයට පත්කරන්නේ 1830ත් 1850ත් අතර කාලයේදී බෙල්ජියානු තාරකා විද්‍යාඥ, ගණිතඥ, සංඛ්‍යාලේඛනඥ වගේම සමාජ විද්‍යාඥයෙක් විදිහටත් කටයුතු කරපු Adolphe Quetelet කියන පුද්ගලයා. පහුකාලීනව දැන් අපි භාවිතා කරන හරිම BMI – Body Mass Index එහෙමත් නැත්තම් ශරීර ස්කන්ධ දර්ශකය කියන ක්‍රමය හඳුන්වා දෙන්නේ 1972දී Ancel Keys කියන පුද්ගලයා මූලික කරගත්තු කණ්ඩායමක් විසින්. 

 

3. BMI එකේ වැදගත්කම

කලිනුත් කිව්ව වගේ අධිබර කියල කියන්නෙ දෙවන මට්ටමේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද කපාට සම්බන්ධ ගැටළු වගේ හුඟක් ගැටළු වලට හේතුවක්. ඒ වගේම කෘෂ බව කියල කියන්නෙත් පෝෂණ ඌණතා, ඔස්ටියෝපොරෝසිස්, රක්තහීනතාවය වගේ හුඟක් ගැටළු වලට හේතුවක්. ඉතින් මේ  BMI  එක ගැන දැනගෙන ඉඳීමෙන් මේ ගැටළු අවම කරගෙන ශරීරයට තිබිය යුතු බර පවත්වාගන්න පුළුවන් වගේම ඉදිරියේදී ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානම් ගැනත් කලින්ම දැනුවත් වෙලා ඉන්න පුළුවන්.

 

 

4. කොහොමද මේ BMI එක බලන්නේ? 

ඔන්න ඊළඟට බලමු මේ කියන BMI එක ගණනය කරන්නේ කොහොමද කියලා. ශරීරයේ උස සහ දැනට පවතින බර කියන දෙක යොදාගෙන තමයි මේ ගණනය කිරීම සිදු කරන්නේ. මේකට තියෙනවා සමීකරණයක්. ඒ මෙන්න මේකයි.

උදාහරණයක් විදිහට ඔයාගේ උස සෙ.මී. 185කුත් බර කි.ග්‍රෑ. 70කුත් තිබුණොත් ඔයාගේ BMI එක වෙන්නෙ 20.4ක්.

 

5. විවිධ BMI වර්ගීකරණ

මේ BMI එක හැමෝටම එක වගේම අදාළ නොවන අවස්ථාත් තියෙනවා. වැඩිහිටි සහ කුඩා ළමයින්ගේ BMI වෙනස් වෙනවා වගේම විවිධ දේශගුණික කලාප ඒ කියන්නෙ ආසියා, යුරෝපා මහාද්වීප අනුවත් මේ BMI එක වෙනස් වෙනව විවිධ කාරණා මත. හැබැයි පොදුවේ සියලු දෙනාටම අදාළ වෙන BMI එක විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නේ අන්තර්ජාතික ශරීර ස්කන්ධ දර්ශකය. ඒක තමයි හුඟ දෙනෙක් මේ වෙනකොටත් භාවිතා කරන්නෙ.

 

6. අපි පවත්වාගත යුතු ප්‍රමාණය

ඔන්න ඊළඟට මේ කොටස තමයි වැදගත්ම. ඔය උඩින් කියපු ඉතිහාස කතා කිසිම දෙයක් වැඩක් නැහැ අපි අවශ්‍ය අගයේ බර පවත්වා ගන්න දන්නෙ නැත්තම්. ඔන්න එකට තමයි මේ BMI අගයන් තියෙන්නෙ. කලින් කියපු උස අනුව බර තියෙන ප්‍රමාණය මැනගත්තට පස්සේ මේ කියන පරාසයන් ඇතුළේ තමන්ගේ බර තියෙන්නෙ කොයිතැනද කියන එක ලේසියෙන්ම හඳුනාගන්න පුළුවන්. ඊළඟට ප්‍රශස්ත ප්‍රමාණයට බර අඩු හෝ වැඩි කරගන්න පුළුවන්. 

 

  • 18.5 සිට 24.9 – සෞඛ්‍යසම්පන්නයි
  • 25 සිට 29.9 – අධි බර
  • 30ට වැඩි – ස්ථුල
  • 18.4 ට අඩු – අධික ලෙස අඩු බර

 

7. BMI එක සමඟ සලකා බැලෙන වෙනත් කරුණු

BMI එකේ වැදගත්කම ගැන අපි දැන් කතා කළානේ. හැබැයි ඉතින් සෞඛ්‍ය සම්පන්න බව විශේෂයෙන්ම බර අනුව ශරීර සෞඛ්‍ය ගැන සලකා බලනකොට සැලකිල්ලට ගන්න එකම කාරණය මේ ශරීර ස්කන්ධ දර්ශකය කියල කිව්වොත්නම් වැරදියි. ඒ සඳහා සැලකිල්ලට ගන්න වෙනත් සාධක කිහිපයකුත් තියෙනවා. 

මාංශ පේශි කියල කියන්නෙ ශරීර මේදයට වඩා හුඟක් ශක්තිමත් දෙයක්. ඉතින් body fat එක ඒ කියන්නෙ ශරීරයේ අඩංගු මේදය නිසා ඉහළ ගිය BMI අගයක් තියෙන කෙනෙකුගේ ප්‍රමාණයටම BMI අගය ඉහළ උනත් හොඳින් ඇඟේ මස්පිඬු තියෙන බොක්සින් ක්‍රීඩකයෙකුගේ බර ඉතා සෞඛ්‍ය සම්පන්න වෙන්න පුළුවන්. ඒ වගේම ජනවර්ගයන් අනුවත් මේ BMI එක හොඳ වුනත් විවිධ ලෙඩරෝග වලට ගොදුරුවීමේ සම්භාවිතාවක් තියෙනවා. 

ඒ වගේම ගර්භණී කාලයේදීත් බර මනින මිණුම් දණ්ඩක් විදිහට මේ BMI එක භාවිතා කරන්නේ නැහැ. මොකද එතකොට බබාගේ බරත් ගණනය වෙනවනේ. ඒ නිසා ඒ කාලෙදි බර ගැන සැළකිලිමත් වෙනවනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්නම ඕන.