රුසියාව කියන්නේ ලෝකයේ විශාලතම රට වගේම යුරෝපා සහ ආසියා මහද්වීප දෙක පුරා දිවයන රටක්. කාල කලාප එකොළහක් ආවරණය කරන රුසියාව ලෝකයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් අටෙන් එකකට හිමිකම් කියනවා. අද අපි කතා කරන්න යන්නේ මේ රුසියාව ඇතුළේ සැඟවිලා තියෙන සමූහාණ්ඩු ගැන.
1. අඩෛජියා (Adygea)
මේ සමූහාණ්ඩුව ඇති වෙන්නේ අඩෛජියා ජන වර්ගය වෙනුවෙන්. නිරිතදිග රුසියාවේ පිහිටා ඇති මෙම සමූහාණ්ඩුව කූබන් නදියේ සිට කොසෙක්ස් කඳු පන්තිය පාමුල දක්වා විහිදී යනවා. මෙරට ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. එසේම රටෙන් බොහෝ කොටසක් වනාන්තරයෙන් වැසී පවතිනවා. රටේ අගනුවර මයිකොප් නම් වන අතර එය එරට විශාලතම නගරය වනවා. එමෙන්ම එහි රටේ ජනගහණයෙන් තුනෙන් එකක් වාසය කරනවා.
2. අල්ටායි (Altai)
තුර්කි සම්භවයක් සහිත අල්ටායි ජනතාව වෙනුවෙන් මේ සමූහාණ්ඩුව වෙන්ව පවතිනවා. කෙසේ නමුත් එරට ජනගහණය විශ්ලේෂණය කර බලද්දී බහුතරය සැදුම් ලන්නේ රුසියානුවන්ගෙන්. ගෝනෝ ඇල්ටයිස් එරට විශාලතම නගරය සහ අගනුවර ද වනවා. රටේ බහුතරයක් ජනතාව කෘෂිකර්මාන්තයට සහ පශු පාලනයට යොමුව තිබෙන අතර එරට වනාන්තර බහුලවීම නිසා ලී වෙළෙඳාමද දියුණු වෙමින් පවතිනවා.
3. බෂ්කෝර්ටොස්ටාන් (Bashkortostan)
නැගෙනහිර යුරෝපයේ වොල්ගා නදිය සහ ඌරල් කඳුවැටිය අතර පවතින මෙම සමූහාණ්ඩුව රුසියානු සමූහාණ්ඩු අතරින් වැඩිම ජනගහණයක් සහිත සමූහාණ්ඩුව වනවා. බාෂ්කිර් ජන වර්ගය වෙනුවෙන් වෙන් වී තිබෙන මෙම සමූහාණ්ඩුව රුසියාව තුළ දේශීය ජනවර්ගයක් වෙනුවෙන් වෙන් වූ පළමු සමූහාණ්ඩුව ලෙසත් හැඳින්විය හැකියි. ස්වභාවික සම්පත්වලින් අනූන එරට ස්වභාවික ගෑස් සහ තෙල් නිසා ආර්ථික වශයෙන් යම් සමෘද්ධිමත් බවත් අත්පත් කර ගෙන තිබෙනවා. එරට ප්‍රධාන අගනුවර ඌෆා ලෙස හැඳින්වෙනවා.
4. බුර්යාටියා (Buryatia)
නැගෙනහිර සයිබීරියා මායිමේ පිහිටා ඇති මෙම සමූහාණ්ඩුව සුප්‍රකට බයිකල් විලේ වැඩි කොටසක් ආවරණය කරනවා. කඳු ශිඛර බහුල මෙම ප්‍රදේශ වෙත රුසියානුවන් ගේ පැමිණීම දාහත්වන ශතවර්ෂයේ පටන් ඇතිවුණු අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ රත්තරන් සහ ලෝම වෙළඳාමයි. මුල් කාලයේදී මෙරට ආශ්‍රිතව ජීවත් වුණු සංචාරක එඬේර ජන කොට්ඨාසයක් වන බුර්යාත් ප්‍රජාව ඊට දැඩි ප්‍රතිරෝධයක් දැක්වූවත් පසුව ක්‍රමක්‍රමයෙන් රුසියානු බලපෑම මත කෘෂිකාර්මික ජිවිතයකට හුරු වන්නට පටන් ගත්තා.
5. චෙච්නියා (Chechnya)
කැස්පියන් මුහුදට ආසන්නයේ උතුරු කොසැක්ස් කඳු පන්තිය ආශ්‍රිතව පිහිටා ඇති මෙම සමුහාණ්ඩුව නිදහස උදෙසා මෑතක් වන තුරු රුසියාව සමඟ සටන් වැදුණා. රුසියාව ඊට දැඩි හමුදා ප්‍රතිචාරයක් ලබා දුන් අතර එම නිසා චෙච්නියාව බොහෝ දුරට විනාශ මුඛයට පත් වුණා. වර්තමානයේ දී කෙමෙන් කෙමන් සංවර්ධන කටයුතු සිදු වුණත් චෙච්නියානු අරගලය තවමත් නිමවී නැහැ. මෙරට බහුතරය චෙචන් දේශීය ප්‍රජාවෙන් සමන්විත වන අතර ඔවුන්ගේ ප්‍රධාන ආගම ඉස්ලාම් වනවා. එරට ආර්ථිකයේ ජීවනාලිය වන්නේ පෙට්‍රෝලියම් නිස්සාරණයයි.
6. චුවාෂියා (Chuvashiya)
රුසියාවේ යුරෝපීය කොටසේ මධ්‍යයේ පිහිටා ඇති මෙම සමූහාණ්ඩුව ප්‍රබල ජල පෝෂක ප්‍රදේශයක් වනවා. ඇතැම් මූලාශ්‍රවලට අනුව ගංගා දෙදහක් පමණ මෙම සමූහාණ්ඩුව හරහා ගලා බසින අතර විල් හාරසීයකින් පමණ සමන්විත වනවා. ඛනිජ සම්පතින් අනූන වන මෙම සමූහාණ්ඩුවේ තෙල් සහ ස්වභාවික ගෑස් නිධි හමුවේ ඇතත් එය තවමත් වෙළෙඳ ව්‍යාපාරික අරමුණු සඳහා විවෘත කොට නැහැ. මේ නිසා තවමත් එරට ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. කෙසේ නමුත් බීර නිෂ්පාදනය, විදුලි ඉංජිනේරු කර්මාන්තය එරට ආර්ථිකය සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දෙනවා.
7. ක්‍රයිමියා (Crimea )
මෙම සමූහාණ්ඩුව රුසියාවේ කොටසක්ද එහෙම නැත්තන් යුක්රේනයේ කොටසක්ද කියන එක ගැන මේ මොහොත වන විටත් විවාදයක් පවතිනවා. මහා කැතරින් අධිරාජිනිය සමයේදී මෙම අර්ධද්වීපය රුසියාවට ඇඳා ගත් අතර ඊට ඔටෝමන් අධිරාජ්‍යය දැඩි විරෝධයක් පළ කළා. එය යුරෝපා බලවතුන් දායක වූ යුද්ධයක් දක්වා දුර දිග ගිය නමුත් එම ප්‍රදේශයේ අයිතිය රුසියාව වෙත ස්ථාපනය වුණා. සෝවියට් රුසියාව බිඳවැටීමෙන් පසුව ක්‍රිමියා ප්‍රදේශය යුක්රේනයේ කොටසක් බවට පත් වුණත් රුසියාව දිගින් දිගටම ඊට අයිතිවාසිකම් පැවසුවා. 2014 වසරේදී පැවති ජනමත විචාරණයකින් පසුව එම ප්‍රදේශය රුසියාව සමග එක්වුණත් ජාත්‍යන්තර ප්‍රජාව මෙම එකතුව පිළිගත්තේ නැහැ.
මෙය රුසියානු සමූහාණ්ඩු පිළිබඳව ලියැවෙන ලිපි පෙළක පළමු ලිපියයි. මේ ලිපිය සඳහා ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ ඉතුරු ලිපි පෙළත් ඔබට ඉක්මනින්ම කියවන්න ලැබේවි. එහෙමනම් මේ ලිපිය ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply