මුරුංගා වෙනස් රසට හදාගන්න පුළුවන් රෙසිපි 7ක්

මුරුංගා කියන්නෙ ගුණාත්මක බවින් ඉහළම තැනක තියන එළවළුවක්. අපේ රටේ විතරක් නෙමෙයි ඉන්දියාව ඇතුළු අනිකුත් ආසියාතික රටවල් වලත් මුරුංගා වලට ඉහළ තැනක් හිමිවෙනවා. ඉතින් අපි හිතුවා මුරුංගා රෙසිපි ටිකක් ගේන්න. ඔයාලට සෑහෙන්න වැදගත් වෙයි මේක. 

 

1. සූරපු මුරුංගා කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෑලි කපාගත් මුරුංගා කරල් 4
  2. පරිප්පු මිටක් පමණ
  3. කපාගත් ළූණු ගෙඩි 2
  4. කපාගත් සුදුළූණු බික් 2
  5. රම්පේ හා කරපිංචා 
  6. කපාගත් අමුමිරිස් කරලක්
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. අමු තුනපහකුඩු තේ හැඳි 1
  9. උළුහාල් ටිකක්
  10. ලුණු
  11. අබ ස්වල්පයක් 
  12. තෙල් ස්වල්පයක් 
  13. කඩාගත් වියළි මිරිස් කරල් 4-5
  14. මිටිකිරි කෝප්ප 2

 

  • මුරුංගා කෑලි එක්ක පරිප්පු දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා තම්බගන්න. තම්බගත්ත මුරුංගා ටික වෙන් කරගෙන මුරුංග මදය ඇටත් එක්ක හැන්දකින් සූරල එකතු කරගන්න. 
  • වෙනම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාල රත් වෙන කොට අබ දාල අබ පුපුරනකොට උළුහාල්, වියළි මිරිස්, රම්පෙ, කරපිංචා දාල තෙම්පරාදු කරන්න. ඒකටම ළූණු, අමුමිරිස් සහ සුදුළූණු දාලා කහකුඩු, තුනපහකුඩු, ලුණු දාලා හොඳට තෙම්පරාදු කරගන්න. 
  • මේකට මිටිකිරි ටික දාල උතුරන කොට මුරුංගා සහ පරිප්පු එකතු කරල රස අනුව ලුණු දාගන්න. හොද්ද උකු වෙනකම් ගාණකට හින්දගෙන ලිප නිවාගන්න. 

 

2. මුරුංගා බිත්තර කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තරමක කෑලි කපාගත් මුරුංගා කරල් 2
  2. තම්බාගත් බිත්තර 4
  3. ලියාගත් ළූණු ගෙඩි 1
  4. චොප්කරගත් සුදුළූණු බික් 4
  5. කපාගත් තක්කාලි ගෙඩි 1
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. අමු තුනපහකුඩු තේ හැඳි 1
  8. කහකුඩු තේ හැඳි 1/2
  9. ලුණු
  10. තෙල් ස්වල්පයක් 
  11. අබ ස්වල්පයක් 
  12. කඩාගත් වියලි මිරිස් කරල් 4
  13. කරපිංචා 

 

  • තම්බාගත් බිත්තර වල තැන තැන පිහි තුඩකින් හිල් කරගෙන තෙල් ටිකක් දාලා හරවමින් බැදගන්න. ඒ වගේම මුරුංගා ටිකත් බැදගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ ටික පුපුරවගන්න. මේකට චොප්කරගත් සුදුළූණු හා වියළි මිරිස් හා කරපිංචා ටික දාලා තෙම්පරාදු කරගන්න. මේකට ළූණු ටිකත් දාගන්න. ඊළඟට මුරුංගා ටික දාලා මිරිස්කුඩු, කහකුඩු හා තුනපහකුඩු ටික දාගන්න. තක්කාලි ටිකත් දාලා කලවම් කරලා විනාඩි 5ක් තැම්බෙන්න තියන්න. 
  • මේකට වතුර කෝප්ප 1/4ක් වගේ දාලා රස අනුව ලුණු දාගන්න. තම්බපු බිත්තර ටිකත් අතුරලා උතුරනකල් ලිපේ තියාගන්න. 

 

3. මුරුංගා අච්චාරු 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සාමාන්‍ය තරමට කෑලි කපාගත් මුරුංගා කෝප්ප 2
  2. අබ තෙල් කෝප්ප 1/2
  3. අබ තේ හැඳි 1
  4. කඩල පරිප්පු තේ හැඳි 1
  5. කරපිංචා 
  6. වියළි මිරිස් කරල් 3
  7. කහකුඩු තේ හැඳි 1/4
  8. මිරිස්කුඩු මේස හැඳි 1
  9. සියඹලා යුෂ කෝප්ප 1/4
  10. ලුණු
  11. තෙල් ස්වල්පයක් 

 

පේස්ට් එකට

 

  1. උළුහාල් තේ හැඳි 2
  2. අබ මේස හැඳි 1
  3. සූදුරු තේ හැඳි 1

 

  • පේස්ට් එකට අවශ්‍ය උළුහාල් අබ හා සූදුරු ඔක්කොම එකට ග්‍රයින්ඩ් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා මුරුංගා ටික බැදෙන්න අරින්න. මුරුංගා ටික අයින් කරලා මේකට අබ, වියළි මිරිස්, කඩල පරිප්පු හා කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. 
  • ඊළඟට මිරිස්කුඩු, කහකුඩු හා සියඹලා යුෂ දාගන්න. මේකට ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එකත් දාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න.  
  • බැදගත් මුරුංගා ටික දාලා කලවම් කරලා මද ගින්නෙ විනාඩි 3ක් වගේ පිසගන්න. මේක නිවෙන්න තියලා ජීවාණුහරණය කළ බෝතල් වල අසුරගන්න. දවස් දෙකකට පස්සෙ කෑමට ගන්න. 

 

4. මුරුංගා සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තරමක කෑලි කපාගත් මුරුංගා කෝප්ප 2
  2. බටර් මේස හැඳි 1
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  4. චොප්කරගත් අල ගෙඩි 1/2
  5. කිරි කෝප්ප 1/2
  6. රස අනුව ලුණු

 

  • ප්‍රෙශර් කුකර් එකට කිරි හැර ඉහත සියල්ලම දාලා වතුර කෝප්ප 2ක් දාල විසිල් 3ක් යනකල් තම්බගන්න. 
  • මේ මිශ්‍රණයට කිරි දාල හොඳට බ්ලෙන්ඩ් කරලා පෙරාගන්න. තික් වැඩි නම් තව වතුර එක්කරන්න. 
  • පෙරාගත්ත සුප් එක වෙනම භාජනයකට දාලා ලිපේ තියලා මද ගින්නෙ විනාඩි 3ක් පිසගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරලා ලිපෙන් බාගන්න. 

 

5. මුරුංගා හා අල කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අඟලක තරමට කපාගත් මුරුංගා කෝප්ප 1
  2. කපාගත් අල කෝප්ප 1
  3. තෙල් ස්වල්පයක් 
  4. අබ ස්වල්පයක්
  5. සූදුරු තේ හැඳි 1
  6. චොප්කරගත් ළූණු ගෙඩි 1
  7. චොප්කරගත් සුදුළූණු බික් 4
  8. කරපිංචා ටිකක් 
  9. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  10. මිරිස්කුඩු තේ හැඳි 2
  11. කොත්තමල්ලි හා සූදුරු කුඩු මේස හැඳි 1
  12. කහකුඩු තේ හැඳි 1/4
  • භාජනයකට මුරුංගා හා අල, කහකුඩු හා ලුණු දාලා වතුර කෝප්ප 2ක් දාලා මද ගින්නෙ තැම්බෙන්න තියන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ හා සූදුරු ටික දාලා බැදගන්න. මේකට චොප්කරගත් ළූණු, සුදුළූණු හා කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. විනාඩි දෙකකින් විතර තක්කාලි ටික දාලා මිරිස්කුඩු හා කොත්තමල්ලි කුඩු එකතු කරන්න. 
  • මේකට ලුණු හා කහකුඩු ටිකකුත් දාගන්න. විනාඩි 3ක් වගේ ගියාම මේ ටික හොඳට හැන්දකින් පොඩි කරගන්න. 
  • දැන් මේකට තම්බාගත්ත අල හා මුරුංගා  වතුරත් එක්කම එකතු කරලා විනාඩි 5ක් පමණ හැඳිගාලා ලිපෙන් බාගන්න. 

 

6. මුරුංගා රටකජු කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අඟලක කෑලි කපාගත් මුරුංගා කෝප්ප 1
  2. තෙල් ස්වල්පයක් 
  3. සූදුරු තේ හැඳි 1
  4. රෝස්ට් කරගත් රටකජු කෝප්ප 1
  5. මිරිස්කුඩු තේ හැඳි 2
  6. අමු තුනපහකුඩු මේස හැඳි 2
  7. රස අනුව ලුණු
  8. කහකුඩු තේ හැඳි 1/4

 

  • මුරුංගා වලට ලුණු දාලා තම්බගන්න. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. මේකට සූදුරු ටික දාලා බැදෙන්න අරින්න. රටකජු ටිකත් දාලා විනාඩි 5ක් වගේ තියාගන්න. 
  • මේකට වතුර කෝප්ප 2ක් දාලා මිරිස්කුඩු, කහකුඩු හා තුනපහකුඩු එකතුකරන්න. රස අනුව ලුණු දාගන්න. තවත් විනාඩි 7ක් වගේ මදගින්නෙ පිසගන්න. ඊළඟට මුරුංගා ටික දාලා විනාඩි 2ක් විතර කලවම්කරලා ලිපෙන් බාගන්න. 

 

7. මුරුංගා කිරට

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මිටි කිරි කෝප්ප 3
  2. කපාගත් මුරුංගා කරල් 3
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  4. තෙල් ස්වල්පයක් 
  5. අබ ස්වල්පයක් 
  6. සූදුරු තේ හැඳි 1/4
  7. වියළි මිරිස් කරල් 2
  8. කහකුඩු තේ හැඳි 1/4
  9. කරපිංචා ස්වල්පයක් 
  10. මිරිස්කුඩු තේ හැඳි 1/4
  11. ලුණු

 

  • මුරුංගා ටික තම්බගන්න. වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ හා සූදුරු ටික බැදගන්න. මේකට කරපිංචා හා වියළි මිරිස්කඩලා දාගන්න. විනාඩි 10ක් වගේ කලවම් කරලා ළූණු ටික දාගන්න. කහකුඩු එකතු කරන්න. 
  • ටිකකින් කිරි ටික දාලා හොඳට හැඳි ගාන්න. මුරුංගා ටිකත් එකතු කරන්න. ටිකකින් මිරිස්කුඩු දාලා රස අනුව ලුණු එකතු කරන්න. කිරි ටික නටලා ටිකක් හිඳෙනකල් හැඳිගාලා ලිපෙන් බාගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *