ලෝකයේ පිහිටි නැව් යන ඇලවල්

පහුගිය දවස්වල සූවස් ඇලේ නැවක් හිරවීමත් එක්ක ලෝකය පුරාම එම සිදුවීම නිසා ඇතිවිය හැකි ආර්ථික බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කෙරුණා. ඒ වගේම යම් විදිහකින් එම නැව ඉවත් කිරීමේ කටයුතු ඉක්මනින් සිදු කර ගැනීමට නොහැකි වුනොත් නැව් වලට යාත්‍රා කිරීමට සිදුවිය හැකි දුර ප්‍රමාණය පිළිබඳවත් යළිත් කතාබහක් ඇති වුණා. මේ නිසා අපි හිතුවා ලෝකයේ නැව් ගමනාගමනය සඳහා භාවිතා වෙන සුවිශාල ඇලවල් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්න.

 

1. සුදු මුහුද – බෝල්ටික් ඇල 

ලෝකයේ දිගම ඇල විදිහට සැලකෙන සුදු මුහුද බෝල්ටික් ඇල නාවික ගමනාගමනය සඳහා එකතු වෙන්නේ 1933 වර්ෂයේදී. ආක්ටික් සාගරයේ කොටසක් වන සුදු මුහුද සහ ඔනේගා විල මෙම ඇලේ පළමු අදියරයේ දී  සම්බන්ධ වන අතර දෙවැනි අදියරයේදී ඔනේගා විල බෝල්ටික් මුහුදට සම්බන්ධ කෙරෙනවා. අතීතයේ දී ස්ටාලින් අනුස්මරණය කිරීම සඳහා මෙම ඇල නම් කෙරුණු අතර පසුව කොමියුනිස්ට් වාදය බිඳ වැටීමෙන් පසුව සුදු මුහුද බෝල්ටික් ඇල ලෙස එය නාමකරණය වුණා. කෙසේ වෙතත් මෙම ඇලෙහි ගැඹුර අඩු නිසා එමඟින් ලබාදෙන ආර්ථික දායකත්වය සීමා සහිත වනවා.

 

2. රයින් මේන් ඩැනියුබ් ඇල

මෙම ඇල මගින් උතුරු මුහුද, අත්ලාන්තික් සාගරය කළු මුහුදට සම්බන්ධ කිරීම සිදු කරනවා. එමගින් රයින් ඩෙල්ටාව සහ ඩැනියුබ් ඩෙල්ටාව අතර කාරයක්ෂම නාවික ගමනාගමනය සඳහා ඉඩකඩ පාදා දෙනවා. ඇතැම් මූලාශ්‍රවලට අනුව මෙවැනි ඇලක්  තැනීම සඳහා මූලික අදහස මතු වී තිබෙන්නේ  වර්ෂ 793 දී පමණ චාලිමේන් අධිරාජ්‍යයාගේ පාලන කාලය තුළයි. කෙසේ වෙතත් එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කර ගනු ලැබුවේ ජර්මනිය එක්සත් වීමෙන් පසුවයි. ඇල සම්පූර්ණ වීම සඳහා අඩ සියවසක පමණ කාලයක් ගත වුණා.

 

3. සූවස් ඇල 

සූවස් ඇල නිර්මාණය කරන තෙක් යුරෝපයට ආසියාව වෙත නැව් මගින් ළඟා වීමට තිබූ එකම විකල්පය වූයේ අප්‍රිකාව වටා යාත්‍රා කිරීමයි. 1869 දී එවකට පැවති ඔටෝමන් අධිරාජ්‍යයේ අධීක්ෂණය යටතේ මෙම ඇල නිර්මාණය වූ අතර ඒ මගින් මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද සම්බන්ධ කරනු ලැබුවා. පසුව මෙම ඇලෙහි අයිතිය ඊජිප්තු රජය වෙත පැවරුණු අතර එරට ජනාධිපති ගමාල් අබ්දුල් නසාර් විසින් එය ජනසතු කිරීම ලෝක අර්බුදයක් දක්වා දුරදිග ගියා.

 

4. වොල්ගා ඩොන් ඇල

මෙම ඇල තැනීම සඳහා පළමු උත්සාහය ගෙන තිබෙන්නේ ඔටෝමන් අධිරාජ්‍යය විසින්. පසුව එම ප්‍රදේශ රුසියානුවන් විසින් අත්පත් කර ගැනීම සමග මහා පීටර් අධිරාජයා ඒ සඳහා යම් උත්සාහයක් යෙදවූ නමුත් අධික වියදම නිසා එම ව්‍යාපෘතිය අතරමඟ නතර වුණා. යළිත් එම ව්‍යාපෘතිය ආරම්භ වූයේ දෙවැනි ලෝක යුද්ධය අවසානයෙන් පසුවයි. මෙම ඇල මඟින් වොල්ගා සහ ඩොන් ගංගා එකිනෙක සමග සම්බන්ධ කරන අතර එමගින් කැස්පියන් මුහුද අනෙකුත් සාගර සමඟ සම්බන්ධ කිරීම ද සිදු වනවා.

 

5. කීල් ඇල

කිල් ඇල මගින් බෝල්ටික් මුහුද සහ උතුරු මුහුද එකිනෙක යා කරන අතර එමගින් සිදුවන සුවිශාලතම වාසිය වන්නේ මෙම මුහුදු අතර යාත්‍රා කරන නෞකා වලට ඩෙන්මාර්කය වටා යෑමට සිදු නොවීමයි. ඩෙන්මාර්කය විසින් මෙවැනි ඇලක් තැනීමට මූලික අධ්‍යයන කටයුතු කිරීම සිදුකර තිබුණත් පසුව එම ප්‍රදේශ ජර්මනිය විසින් යටත් කර ගැනීමත් සමඟ මෙම නිර්මාණ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලැබුවා.

 

6. හූස්ටන් නාවික ඇල මාර්ගය 

මෙම ඇල මාර්ගය හූස්ටන් වරායේම කොටසක් වනවා. ලෝකයේ අතිශයින්ම කාර්යබහුල වරායක් වන හුස්ටන් වරාය පර්යන්ත සහ මෙක්සිකෝ මුහුදු තීරය මෙමගින් එකිනෙක යා කෙරෙනවා. කෙසේ වෙතත් වර්තමානයේ දී මෙම ඇල නිසා සෞඛ්‍ය තර්ජනයක් ඇති වී ඇති බවට ද වාර්තා පළ වී තිබෙනවා. ඒ නැව් මගින් නිකුත් කරනු ලබන විවිධ අපද්‍රව්‍ය සහ  රසායනික ද්‍රව්‍ය හේතුකොටගෙන එම ඇල ආසන්නයේ කිලෝමීටර් දෙකක පමණ ප්‍රදේශයක වාසය කරන දරුවන් අතර ලියුකේමියා රෝගය ඉහළ ගොස් ඇති බව පැවසෙන නිසයි.

 

7. පැනමා ඇල 

පැනමා ඇල නිර්මාණය කිරීම එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ මිනිසා විසින් සිදුකරන ලද අතිදැවැන්තම සහ අභියෝගාත්මක ව්‍යාපෘතියක් ලෙස සැලකෙනවා. ඒ මගින් අත්ලාන්තික් සාගරය සහ පැසිපික් සාගරය යා කිරීම සිදුවුණු අතර උතුරු ඇමරිකාවේ බටහිර අන්තයේ සිට නැගෙනහිර අන්තය වෙත යෑමට දකුණු ඇමරිකාව වටා යාත්‍රා කිරීම තවදුරටත් අවශ්‍ය වුයේ නැහැ. වසර ගණනාවක් තිස්සේ වරින් වර නවත්වමින් යළි ආරම්භ කරමින් මහත් පරිශ්‍රමයක් දරා නිමකළ මෙය විවෘත වීම සිදුවූයේ 1914දීයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.