මේ වෙනකොට ලංකාවේ වැඩියෙන්ම කතාබහට ලක්වෙලා තියෙන ප්‍රශ්නයක්නෙ කෑමට ගන්න පොල් තෙල්. ඒ ගැන මතු වෙලා තියෙන ප්රශ්නය කවුරුත් දන්නවා ඇතිනෙ. ඒ නිසා ඒ ගැන කතා නොකර අපි හිතුවා ලංකාවෙ අපි කෑමට භාවිතා කරන තෙල් වර්ග මොනාද කියන එක ගැන කතා කරන්න සහ ඒවයෙ ගුණ අගුණ ගැන ටිකක් කතා කරන්න. මේවා දැනගෙන ඉන්න එක කාටත් වටිනවා.
1. පොල්තෙල්
අපි නිතරම භාවිතා කරන්නෙ පොල්තෙල්. බොහොමයක් ඖෂධ වලටත් භාවිතා වෙනවා. ඒ වගේම මළ බුරුල් කිරීමේ ගුණය වගේම ඝන යැයි සම්මත ආහාර දිරවීමටත් උපකාරී වෙනවා. පොල්තෙල් භාවිතය කොලෙස්ටරෝල් වලට මුල කියල මතයක් කාලයක ඉඳන් කතාබහට ලක් වෙනවා. ඇත්තටම පොල්තෙල් වලින් කොලෙස්ටරෝල් ගතිය ගොඩක් වැඩි වෙන්නෙ එක වරක් බැදපු තෙල් නැවත නැවත රත් කරලා බැදපු කෑම ආහාරයට ගත්තමයි. ඒ නිසා කඩවල් වලින් කන්න පුරුදු වෙලා ඉන්න අය මේ ගැනත් හිතන්න. පොල්තෙල් අපිට ගෙදරම හිඳගන්නත් පුළුවන්. ඉස්සර කාලේ ගෙවල් වල පොල්තෙල් හිඳලම තමා කෑමට පාවිච්චි කලේ. තෙල් ගෙදරදි හිඳගන්න පුළුවන් ක්‍රම ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු.
2. සූරියකාන්ත තෙල්
සූරියකාන්ත තෙල් හදන්නෙ සූරියකාන්ත මලේ ඇට වලින්. මේ තෙල් කෑමට වගේම රූපලාවණ්‍ය කටයුතු වලටත් ගොඩක් භාවිතා කරනවා. සූරියකාන්ත තෙල් ගුණාත්මක බවින් ඉතා ඉහළයි. මෙහි ඔමේගා 3 හා ඔමේගා 6 යන සංඝටක ඇතුළත්. විටමින් ඊ වලිනුත් ඉහළයි. ඒ වගේම රුධිරගත කොලෙස්ටරෝල් අවම කරන්නත් උපකාරී වෙනවා. ඒ උනත් මේ සූරියකාන්ත තෙල් ඉහළ උෂ්ණත්වයකට රත්කරනකොට විෂ සංයෝග නිකුත් කරනවා කියලත් පොත පතේ සඳහන් වෙනවා. දැන් දැන් සූරියකාන්ත තෙල් පරිභෝජනය ඉහළ ගිහින් තියනවා. ඒ නිසාම මෙහි ප්‍රධාන නිෂ්පාදකයා වන රුසියාව තම නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න කටයුතු කරලා තියනවා කියලයි ආරංචිය.
3. ඔලිව් තෙල්
මේ වෙනකොට සෞඛ්‍ය සම්පන්න බවින් ඉතා ඉහළ මට්ටමක තියෙන්නෙ ඔලිව්තෙල්. මේකෙත් ගුණම කැටගරි එක තමා Extra virgin olive oil. සාමාන්‍යයෙන් වර්ජින් ඔලිව්තෙල් පාවිච්චි කරන්නෙ අමුවෙන්. ඒ කියන්නෙ සැලඩ් වලට දාලා වගේ. වර්ජින් ඔලිව් ඔයිල් රත් කරන එක එතරම් හොඳ නෑ වගේම ගුණයක් නැති වෙනවා. රත් කරල පාවිච්චි කරන්න සුදුසු විදියට වෙනත් තෙල් වර්ග එක්ක මිශ්‍ර කරල සකසපු ඔලිව් තෙල් කැටගරි වෙනම තියෙනවා. හෘද රෝගීන්ට සෑහෙන්න හොඳ තෙල් වර්ගයක්. මොකද මේකේ කොලෙස්ටරෝල් නෑ. ඒ වගේම හදවත් රෝග ඇති කිරීමේ ප්‍රවණතාවය හා පිළිකා ඇතිවීම අඩු කරනවා. ඔලිව් තෙල් හදන්නෙ ඔලිව් ගෙඩි වලින්. ලංකාවේ නම් ආනයනික ඔලිව් තෙල් ටිකක් මිලෙන් ඉහළයි. රූපලාවණ්‍ය කටයුතු වලදිත් ඔලිව් තෙල් සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා.
4. එළඟිතෙල්/ ගිතෙල්/ ගී
ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාව, පකිස්ථානය හා ගොඩක් මැදපෙරදිග රටවල ගෙවල් වල බහුලවම භාවිත වෙන්නෙ මේ එළඟි තෙල් නැත්තන් ගී ඔයිල් තමයි. ගී ශීත ගුණයෙන් යුක්තයි. වාත, පිත්ත, අපස්මාර, රක්ත දෝෂ, ක්ෂය රෝග, ආදී රෝගීන්ට සෑහෙන්න ගුණදායකයි. ආයුර්වේදයේ වෙද කර්මයේ දී බහුලවම යෙදෙන තෙලක්. ආගමික කටයුතු වලදිත් ගොඩක් මේ තෙල පාවිච්චි කරනවා. මේක ඔලිව්තෙල් වගේ නෙමෙයි. අධික උෂ්ණත්වයකට රත් කරන්න පුළුවන්. රූපලාවන්‍ය කටයුතු වලදිත් ගොඩක් මේ එළඟිතෙල් පාවිච්චි කරනවා. නවීන විද්‍යානුකූලව නම් ගී කියන්නෙ නිතරම ආහාරයට එක්කරගන්න ඒ තරම් සුදුසු නැති තෙල් වර්ගයක්. මේකෙ LDL නැත්නම් නරක කොලෙස්ටරෝල් ඉහළ නංවන්න පුළුවන් සංතෘප්ත මේදය අඩංගුයි කියල කියනව. හැබැයි ඉඳල හිටල ආහාරයට එක් කරගන්න එකේ වරදක් නැහැ. දෛනික කැලරි අවශ්‍යතාවයෙන් 10%කට වඩා මේ මේදයෙන් ලබාගන්න එපා කියලයි කියන්නෙ. ගී තේ හැන්දක කැලරි 45ක් අඩංගුයි.
5. කුරුඳු තෙල්
කුරුඳු තෙල් ටිකක් උෂ්ණ ගුණයෙන් යුක්තයි. අධික ශීතලෙන් පීඩාවට පත් වුණාම තොල් වල වගේම බාහිරව සිරුරේ ආලේප කිරීමෙන් සහනයක් ලැබෙනව කියල ආයුර්වේදයේ සඳහන් වෙනවා. කන් කැක්කුම, දත් කැක්කුම සඳහාත් සුදුසයි. ඒ නිසාම දන්තාලේප, මවුත්වොශ් වලට මේ කුරුඳු තෙල් යොදා ගන්නවා. ඒ වගේම ෂැම්පූ හා සබන් වර්ගත් නිෂ්පාදනය කරනවා. තේ වර්ග හා වයින් වලට මේ කුරුඳු තෙල් පාවිච්චි කරනවා. ශරීරයේ බර අඩු කරගැනීමට දායක වන පරිවෘත්තිය ක්‍රියාවලිය ඉහළ නැංවීමේ හැකියාවද මේ කුරුඳු තෙල් සතුයි.
6. තල තෙල්
තල ඇට වලින් ලබා ගන්න මේ තෙල් වාත අමාරු වලට වගේම බුද්ධි වර්ධනයට ගොඩක් වැදගත්. ආහාර රුචිය ඇති කරවන්න සමත්. තරබාරුකම පාලනය කිරීමට උපකාරී වෙනවා වගේම සම පැහැපත් කිරීමේ විශිෂ්ට ගුණයක් තියෙනවා. ඔමේගා 3 හා ඔමේගා 6 යන සංඝටක අඩංගු මේ තෙල නිධන්ගත රෝග වලින් ශරීරය ආරක්ෂා කරනවා. ඒ වගේම සමේ, මූණේ ආලේප කරන්නත් ගොඩක් හොඳයි. ඉන්දුනීසියාව, චීනය වගේ රටවල ගොඩක් මේ තලතෙල් කෑමට භාවිත කරනවා. ගුණත්වය අතින් ඉතා ඉහළ නිසා අපිත් පරිභෝජනය වැඩි කරන එක ඉතාම වටිනවා.
7. මෝරතෙල් / Fish oil
මිල අධික තෙල් වර්ගයක්. කුඩා දරුවන්ගේ වර්ධනය වැඩිවීමට වගේම මතකය අඩු වීම සහ ආතතිය වැනි මානසික රෝග වලටත් ගුණ දෙනවා. අළුහම්, කොරල, වැනි සමේ තත්ත්ව සඳහා මෝර ගුලි ලබාදෙනවා. බර අඩු කරගන්න උත්සහ කරන අයටත්, ඇස් පෙනීම වැඩි කරන්න උත්සහ කරන අයටත් සෑහෙන්න වැදගත් වෙනවා. ශරීරය පැහැපත් වෙන්න, නිරෝගී සමකට මේ ෆිශ් ඔයිල් ගන්නව නම් ගොඩක් හොඳයි. සිරුරේ විවිධ පීඩාවන් සමනය කරගැනීමට උපකාරී වෙනවා. දවසකට ග්‍රෑම් 3ක් වගේ තමයි ආහාරයට එකතු කරගන්න ඕනේ. මොකද වැඩිපුර ගත්තම ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි වෙන්න පුළුවන් වගේම ආසාදන වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියන එක මතක තියන් අවශ්‍ය ප්‍රමාණය විතරක් ආහාරයට ගන්න එක නුවණට හුරුයි.
Leave a Reply