සාමාන්‍යයෙන් ලංකාවේ කාලෙන් කාලෙට අපිට අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කාළගුණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරනවා අහන්න පුළුවන්. අවුරුද්දේ මාර්තු-අප්‍රේල් කාලය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර් මෝසම් සෘතුව නිසා ඒ කාලේ අකුණු ගැසීම් බහුල වෙනවා දකින්න පුළුවන්. ඊට පස්සේ අකුණු ගැසීම් බහුල වෙන්නේ ඔක්තෝබර්-නොවැම්බර් කාලෙදී. අන්න ඒ නිසා මේ කාලේ අපි විශේෂයෙන්ම අකුණු අනතුරු වලින් පරිස්සම් වෙන්න ඕන. ඇත්තටම ඒක අමාරු නෑ. එකම දේ අපි මේ දෙන උපදෙස් හරිහැටි පිළිපැදීම තමයි වැදගත් වෙන්නේ.
මතක තියාගන්න, අකුණක් කියන්නේ මිලි තත්පර දහයක් වගේ ක්ෂණයක කාලයක් ඇතුළතදී වළාකුලක ඉඳලා පොළවට පහත් වෙන ඇම්පියර් බර ගාණාක විදුලි ධාරාවක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අකුණක සාමාන්‍ය ඇම්පියර් අගය 25000A කියලා සැලකුවට, පර්යේෂණ වලින් පෙන්නලා දීලා තියෙනවා මේ ඇම්පියර් අගය ඇම්පියර් දෙදහේ ඉඳලා ඇම්පියර් ලක්ෂ දෙක දක්වා වෙන්න පුළුවන් කියලා. එතකොට හිතාගන්න පුළුවන් නේ ඇයි අකුණු වලින් අපි ආරක්ෂා වෙන්නත්, අපේ ගෙදර දොර විදුලි උපකරණ ආරක්ෂා කරගන්නත් පූර්ව ක්‍රියාමාර්ග ගන්න ඕනෑ කියලා!
1. ඇතුළකට යන්න
ඔය අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන එක ගැන කියනකොට මූලිකවම කියන දෙයක් වෙන්නේ ඇතුළකට යන්න කියන එක. “When thunder roars, go indoors” කියලා ඔය සුද්දගේ බාසාවෙන් කියන්නෙත් ඕක. ඒ කියන්නේ, අකුණු ගහන බවට සලකුණු විදියට පළවෙනි ගිගිරුම් ශබ්ද ඇහෙනකොටම ගෙට යන්න කියන එක තමා. ගෙට කිව්වට සමහර වෙලාවට ගේ අහළ පහළක් නොහිටින්න පුළුවනිනේ. කොහොම වුණත් ආවරණය වෙලා තියෙන පියස්සක් යටට යන්න කියලා තමයි මේ කියන්නේ. ගෙදරක්, ඔෆිස් එකක්, ෂොපින් මෝල් එකක් වගේ ඕනම එකක් මේකට ඇතුළත්.
2. එළියක තනි වුණොත්?
මේකත් වෙන්න පුළුවන් දෙයක්නේ. අකුණු ගහගෙන එන වෙලාවක එළිපහළියක තනි වුණොත්, අර උඩ කියපු දේ තමයි පළවෙනියටම කියන්න තියෙන්නේ. වහාම පියැස්සක් තියෙන, හැකිතාක් ආවරණය වුණු ස්ථානයකට දුවන්න. විශේෂයෙන් තමන් ඉන්නේ කන්දක් උඩ, ගලක් මුදුනේ වගේ ඉහළ තැනක නම් වහාම පහළ බහින්න. එහෙම බැහැලා කොහේ හරි ඇතුළකට යන්න.
දැන් අපි එහෙම ඇතුළට යන්න තැනක් නැතුව එළියේ තනිවුණොත්? එහෙමනම් තනි ගස් යටට යන්න එපා, අවදානම්. ඔය ගල් කුලක් යටට, කඳුගැටයක නෙරුමක් යටට යන්නත් එපා, අවදානම්. පොකුණු, වැව් වගේ ජලාශ කිට්ටුව ඉන්නත් එපා, අවදානම්. කටු කම්බි වැටවල්, කරන්ට් වයර් යට එහෙම ඉන්නත් එපා, ඒකත් අවදානම්.
තමන් ඉන්න හාත්පස සම්පූර්ණ තැනිතලාවක් නම්, එතන තියෙන උසම දේ තමන් නම් පොළවේ කෙලින්ම දිගාවෙන්න එපා. ඒක හරියන්නෙ නෑ. ඔලුව අත් වලින් වහගෙන නැඹුරු වෙලා ඉන්න පොසිෂන් එකකට යන්න. හැබැයි පොළවත් එක්ක හැකිතාක් අඩු සම්බන්ධයක් තියාගන්න.
3. ගෙදර ප්ලග්
අකුණු අනතුරු ගැන උපදෙස් දෙනකොට කියන්නේ, ඒ වෙලාවට ගෙදර තියෙන කිසිම කම්පියුටර් එකක්, ලැප්ටොප් එකක්, ගේමින් කොන්සෝල් එකක්, හයිෆයි සෙට් එකක්, ටීවී එකක්, වොෂින් මැෂින් එකක් වගේ විදුලියට සම්බන්ධ වෙන කිසිම එකක් පාවිච්චි කරන්න එපා කියන එක තමයි. ඉලෙක්ට්‍රිකල් සිස්ටම් වලින් අකුණක විදුලිය ගමන් කරනවා.
ඒ වගේම මේ උපකරණ වල ආරක්ෂාව ගැනත් හිතන්න ඕනනේ. හොඳම දේ තමයි අකුණු ගහන ගිගුරුම් ශබ්ද ඇහෙනකොට මේ හැම උපකරණයක්ම විදුලි පේනුවෙන්ම ගලවලා තියන එක. ඒ කියන්නේ වෝල් සොකට් එකෙන්ම ගලවලා පැත්තකින් තියන්න. අවශ්‍ය නම් සර්ජ් ප්‍රොටෙක්ටර් සිස්ටම් එකක් හයි කරන්න පුළුවන්.
හැබැයි දැන් ඔය බ්‍රෝඩ්බෑන්ඩ් එහෙම එන ටෙලිකොම් එකේ ෆයිබර් ඔප්ටික් වයර් එහෙම ගලවන්න යන්න එපා. ඒවැයින් අකුණු වදින්නෙ නෑ වගේම, ෆයිබර් ඔප්ටික් කේබල් ගලවන්න යෑමෙන් ඒවලට හානි සිද්ධ වෙන්න පුළුවන්.
4. ටෙලිෆෝන් කෝල්
අකුණු ගහන වෙලාවට ටෙලිෆෝන් කෝල් ගැනීම ගැන පොදුවේ ගොඩක් අයට බයක් තියෙනවා. සමහරු ඉන්නවා මොබයිල් ෆෝන් එකෙන් කතා කර කර ඉන්න අතරේ, අකුණු ගහනකොට කෝල් එක කට් කරනවා. හැබැයි ඔතන ඇත්ත මේකයි. අපේ ලෑන්ඩ් ලයින් තියෙන්නේ. අකුණු ගහන අතරතුර ලෑන්ඩ් ලයින් පාවිච්චි කිරීම සෑහෙන්න අනාරක්ෂිතයි කියලා තමයි කියන්නේ. හැබැයි මොබයිල් ෆෝන් එකකින්, කෝඩ්ලස් ෆෝන් එකකින් කතා කළා කියලා එව්වාට අකුණු වදින්නේ නෑ. ඒක මිත්‍යාවක්. හැබැයි එකක්: අකුණු ගහන අතරතුරේදී මොබයිල් ෆෝන්ස්, කෝඩ්ලස් ෆෝන්ස් වුණත් චාර්ජර් වලට ගහලා චාර්ජ් වෙන අතරතුරේ කතා කර කර ඉන්න එක අකුණු අනතුරක් වෙන්න පුළුවන්. අන්න ඒකෙන් වළකින්න වෙනවා.
5. නාන්න යන්නත් එපා
අකුණු ගහන වෙලාවට වතුර සීන් කරන්න එපා කියන්නේ ඇයි කියලා තේරෙනවනේ. වතුර කියන්නේ සන්නායකයක්. අන්න ඒ නිසා අකුණු ගහන වෙලාවට නාන්න, ඇඟ හෝදන්න කියලා ෂවර් යටට යන්න එපා. ඒ තියා ලිඳෙන් වතුර ඇදගෙන නාන්නවත් යන්න එපා. අඩු තරමේ වතුර ඇරගෙන පිඟන් හෝදන්න හරි, ඒ වගේ වතුරත් එක්ක සම්බන්ධයක් ඇතිවෙන කිසිම කාරණයක් කරන්න යන්න එපා කියලා තමයි ප්‍රවීණයෝ උපදෙස් දෙන්නේ.
6. ජනෙල්, දොරවල්, කොන්ක්‍රීට්, දොර එළිපත්ත මග අරින්න
කොන්ක්‍රීට් බිමක අකුණු ගහන වෙලාවක දිගාවෙලා ඉන්න හරි, කොන්ක්‍රීට් බිත්තියකට අකුණු ගහනකොට හේත්තු වෙලා ඉන්න හරි එපා කියලා එක්ස්පර්ට්ලා කියනවා. අමතක කරන්න එපා ඒවල වානේ කම්බි යනවා කියන එක. ඒ වානේ කම්බි, වානේ කූරු වගේ ඕනම ලෝහමය දෙයක් තුළින් අකුණු ගමන් කරනවා. ඒ වගේම ජනෙල් අයිනේ, දොරවල් අයිනේ, දොර එළිපත්තේ එහෙම අකුණු ගහන වෙලාවට ඉන්න එපා කියලත් ඒ එක්කම කියන්න ඕන.
7. බයික් එකේ ගමන් ඕකේ?
අකුණු ගහන වෙලාවට විවෘත වුණු කිසිම වාහනයක් ඇතුළේ ඉන්න එපා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෝටර්සයිකල්, ගොල්ෆ් කාට් වගේ ඕනම විවෘත වාහනයක ඉන්න එක ප්‍රවේසම් නැහැ. එතකොට ආවරණය වුණු කාර් එකක්, වෑන් එකක් වගේ වාහනයක් ඇතුළේ අකුණු ගහන වෙලාවකට ඉන්න එක ප්‍රවේසම්ද? ඇත්තටම ඔව්. කාර් එකක් තියෙනකොට කාර් එකට අකුණු වදින්නෙ නෑ කියලා නෙවෙයි මේකෙන් කියන්නේ. කාර් එකට වුණත් අකුණු වදින්න පුළුවන්. හැබැයි කාර් එක ඇතුළේ ඉන්න අය ඒ අකුණු වලින් ගොඩක් දුරට ආරක්ෂිතයි. ඒකට හේතුව රබර් ටයර් තිබීම නම් නෙවෙයිලු. ඒකට ඇත්තම හේතුව කාර් එකේ තියෙන ලෝහමය සැකිල්ල කියලා තමයි කියන්නේ. ඒක ෆැරඩේ කූඩුවක් විදියට වැඩ කරනවලු.
ඒ වගේම, අකුණු වලින් බේරෙන්න නම් අකුණු ගැන දැනුවත් වෙලා ඉන්න එකත් වටිනවා. අන්න ඒ නිසා පොඩ්ඩක් අකුණු ගැසීම ගැන කියවලා ඉගෙන ගත්තොත්, බොරුවට අකුණු වලට බය වෙන්නෙත් නැතුව, අකුණු වලින් බේරිලා ඉන්න සුදුසු ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
Leave a Reply