ඔයාටත් සෝෂල් මීඩියා වල තියෙන්නේ දිව දෙකේ ස්ටෑන්ඩර්ඩ්ස් ද?

දැන් ඔය සෝෂල් මීඩියා වල එක එක ආකාරේ ජීවියෝ ඉන්නවා කියලා අපි කලිනුත් කතා කරලා තියෙනවනේ. ඇත්තටම කිව්වොත් ඉතින් ලෝකේ අනික් හැමතැනකම වගේ සෝෂල් මිඩීයා වල ඉන්නෙත් මිනිස්සු. ඒ මිනිස්සුන් අතරේ ඉන්න මැටි වහන්සේලා ඉතින් ෆේස්බුක් ආවා කියලා ප්‍රාඥයෝ වෙන්නෙ නෑ. උන් ෆේස්බුක් එකෙත් හාන එක තමා කරන්නේ. කොහොම හරි, දැන් ඔය ෆේස්බුක් එක ඇතුළු සමාජ මාධ්‍ය ගත්තොත් අපිට එක වෙලාවකට බලන්න පුළුවන් බොහෝම ඉන්ටරෙස්ටින්ග් දිව දෙකේ ස්ටෑන්ඩර්ඩ්ස්. ඒ කියන්නේ මේ එකක් කියලා, ඊලඟ මොහොතේ ඒ කිව්ව එකටම ප්‍රතිවිරුද්ධ දේත් කිසිම අවුලක් නැතුව කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දැන් කියන දේට ප්‍රතිවිරුද්ධ දේ වුණත් කිසි අවුලක් නැතුව විස්වාස කරන්න පුළුවන්. පිස්සු වගේ නේ!

 

ඉතින් අපි හිතුවා ආන්න ඒ විදියේ සෝෂල් මීඩියා දිව දෙකේ කතන්දර ටිකක් ඉදිරිපත් කරන්න. අඩු තරමින් එකෙක් දෙන්නෙක්ට හරි ඥාණාවලෝකය පහළවෙලා හැදෙයිනේ!

 

1. රාළහාමියා සහ ටිපර් ඩ්‍රැයිවර්!

මේක ඉතින් මේ දවස් වල හොට් නිව්ස් එකනේ. ලොරි ඩ්‍රයිවර් කෙනෙක් අතින් සිදුවෙන හදිසි අනතුරකින් පොලිස් නිලධාරියෙක්ට තුවාල වෙනවා. ඊට පස්සේ එතන ඉන්න තව ට්‍රැෆික් පොලිස් රාළහාමි කෙනෙක් අර ලොරි ඩ්‍රයිවර්ව බිම පෙරළලා, ජෝන් සීනා වගේ බූට් දාපු සපත්තු එක්ක අර ඩ්‍රයිවර්ගේ ඇඟට පනිනවා!

දැන් මිනිස්සු මෙතනදී පොදුවේ බණින්නේ ගොඩක් දුරට පොලිස් රාළහාමිට. ඔව්, පොලිස් රාළහාමි කරන්නේ වැරැද්දක් කියලා අපිට බැලූ බැල්මටමත් පේනවා. ලොරි ඩ්‍රයිවර් අතේ සම්පූර්ණ වැරැද්ද වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් පොලිසිය ඩ්‍රයිවර්ට එරෙහිව වැඩ කරන්න ඕන නීති මගින් මිසක් මැරකමෙන් නෙවෙයි.

හැබැයි ආතල් එක මේකයි. දැන් මේ වෙලාවේ පොලිස් රාළහාමිට බණින, “ඕකව ලොරියකට යට කරන්න තියෙන්නේ” කියන උන්දැලට පොඩ්ඩක් අමතක වෙනවා, මෙතන ඇත්තටම ලොරියකට යට වුණු අනතුරක් තමයි වෙලා තියෙන්නේ කියන එක. 

තව සමහරු රෙස්ලින් රාළහාමි එහෙම ක්‍රියා කළේ එයත් මනුස්සයෙක් හින්දා, සහෝදර නිලධාරියෙක්ව දරුණු විදියට අනතුරකට ලක් කරපු හින්දා කියලා ඒක සාධාරණීකරණය කරනවා. ඔන්න ඔය උන්දැලම තමයි තමන්ට පාට් එකක් දාපු පොලිස් රාළහාමි කෙනෙක්ව ටිපර් එකකට යට වෙන්න ඕන කියලා හෙණ ඉල්ලන්නෙත්. හෙනම උභතෝකෝටිකයි නේද පිංවතුනි?

 

2. අපරාධකාරයා හා අංගවිකල දරුවෝ!

ඔන්න නම ගියපු අපරාධකාරයෙක් කරපු මිනීමැරුම් අපරාධ ගැන සෑහෙන්න හාහෝවක් යනවා. අම්මෝ ඉතින් එතකොට මිනිස්සු බණින බැනිල්ල ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඔය අතරේ දරුණු සාප කිරීම් එහෙමත් තියෙනවා. ගොඩක් දෙනෙක්ගේ ෆේවරිට් සාප කිරිල්ලක් තමයි “ඕකා ඊලඟ ආත්මේ අංගවිකල වෙලා ඉපදෙන්න ඕන” කියන එක. ඉතින් මේ නම ගියපු අපරාධකාරයාට සාප කරන්නෙත් එහෙම තමයි ගොඩක් දෙනා!

ඔන්න ඊට කාලෙකට පස්සේ තව ෆොටෝ එකක් ෂෙයාර් වෙනවා ෆේස්බුක් එකේ. උපතින්ම යම් යම් ආබාධ එක්ක ඉපදුණු දරුවෙක්. අනේ ඉතින් අර සාප ඉල්ලපු සෙට් එකම මේ ෆොටෝ එකට කමෙන්ට් කරනවා “සුවපත් වේවා චූටි පුතේ” කියලා! හැබෑට ඔය ඉන්නේ අර කලින් සාප වලටම මැරිලා ගිහින් ආයෙ සාපෙ පළදීලා ඉපදුණු අර අපරාධකාරයාම වෙන්ඩ බැරිද?

 

3. පව් අනේ සූටි කෙල්ලෝ සහ වේස පඳුරියෝ!

දැන් ඔය අපේ සමහර නිළියෝ සහ මොඩ්ල්ස්ලා හරි එහෙම නැතිනම් ටික් ටොක් එකෙන්, ඉන්ස්ටග්‍රෑම් එකෙන් ජනප්‍රිය වුණු ගෑණු ළමයි එහෙම ඉන්නවා, ටිකක් කොටට එහෙම ඇඳලා තමයි ෆොටෝ එකක් දැම්මොත් දාන්නේ. හම්බේ ඒවලට වැටෙන කමෙන්ට්ස්. කෙලින්ම වේස පදෙන් තමයි අමතලා තියෙන්නේ. තනිකරම බීසනේ කමෙන්ට් සෙක්ෂන් එකේ.

හැබැයි ඔන්න ඒ ගෑණු ළමයෙක්ම ෆොටෝ එකක් දානවා දිගට සුදු සායක් කාරිය ඇඳලා පන්සල් ගිහින්. අනේ ඉතින් අර වේස පදෙන් මෙච්චර දවස් අර ගෑණු ළමයට අමතපු සෙට් එක එතනට ගිහින් කමෙන්ට් දානවා “තෙරුවන් සරණයි චූටි නංගියේ” කියලා!

 

4. පෝර්න්ස්ටාර් සහ පහේ ශිෂ්‍යත්වේ සමත් වුණු පුංචි දූ!

මේක නං ඉතින් ගොඩක් අය හිතා මතාම දෙන ආතල් එකක්. ඒ ආතල් එකට මෝඩ පහේ සෝෂල් මීඩියා යූසර්ස්ලා අහුවෙන එක තමයි වෙන්නේ. දැන් ඔන්න එක අක්කියෙක් මියා කලීෆා ගැන හෙනම කවි පංතියක් ලියනවා. එයා කවියෙන් කියන්නේ මියා කලීෆා පෝන්ස්ටාර් කෙනෙක් වුණේ පෙර කරුමයක් තිබිලය, ඒ නිසා දැන්වත් පිං දහං කරලා, හතර අතේ පිරිමි එක්ක යන්නෙ නැතුව හොඳ ළමයෙක් වෙලා ඉන්නය කියලා තමා.

ඔහොම කියන කවි අක්කියා ඔන්න කාලෙකට පස්සේ දකිනවා, “අනාථ නිවාසෙක ඉඳලා පහේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වුණු මේ දූ පැටියට බුදු සරණයි කියන්න යාලුවනේ” කියලා කණ්ණාඩි දාගෙන ඉන්න පොඩි කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ ෂෙයාර් වෙනවා. අනේ අක්කියා සාදුකාර දීලා අර ෆොටෝ එක ෂෙයාර් කරලා කැප්ෂන් එකකුත් දානවා, “පිංවන්ත චූටි දුවේ, ඔයාට ජීවිතේ ඉහළටම යන්න වාසනාව ලැබේවා, බුදු සරණයි” කියලා.

හැබැයි ඒ ෆොටෝ එකේ ඇත්තටම ඉන්නෙත් මියා කලීෆාම තමයි. මියා කලීෆා පුංචි කාලෙ ෆොටෝ එකක්!

 

5. අපෝ බඩුව සහ මාව මතකද අක්කි!

අපේ සමහරු ඉන්නවා නිළියක්, නිරූපණ ශිල්පිණියක් නං බඩුවක්. වටේට අල්ලන එකක්. ආයෙ මොඩ්ල් කෙනෙක් අලුත් ෆොටෝ ෂූට් එකක් කරපු එකක් කවුරුහරි ෆේස්බුක් දැම්මහම එතන ගිහින් කමෙන්ට් කරන්නේ ඒ මොඩ්ල් හැමෝම එක්ක සෙක්ස් කරනකොට පහන අල්ලපු එකා ගාණට. එහෙම නැතිනං දෑහින් දැක්කා වගේ කියන්න බැහැනේ.

හැබැයි බැරිවෙලාවත් ඒ මොඩ්ල් කෙනෙක් හරි නිළියක් හරි තමන්ගේ ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කළොත් එහෙම ඉතින් ඉන්බොක්ස් එකේ පැණි වරුසාවයි. බැරිවෙලාවත් මුණගැහුණොත් එහෙම අර බඩුව කියපු කටින්ම තමයි අහන්නේ “මාව මතකද අක්කි” කියලා!

 

6. අර පැත්තට එහෙමයි සහ මගෙ පැත්තට මෙහෙමයි!

මේක නං ඉතින් ලංකාවේ සෑහෙන්න දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. තමන් කරන කොට වැරැද්ද ෂේප්, තව කෙනෙක් කරනකොට වැරැද්ද බුදු අම්මෝ රට විනාස වෙනවා! උදාහරණ ඕනැද? ඔන්න තමන් ට්‍රැෆික් වැරැද්දක් කරනවා. ඒක ට්‍රැෆික් රාළහාමිට මාට්ටු වෙනවා. අල්ලනවා. එතකොට ට්‍රයි එකක් දෙනවා පොඩි සම්තින් එකක් රාළහාමිට දීලා දඩ කොලේකට යන්නැතුව පනින්න. රාළහාමිත් ඕකේ. ඉතින් ඇවිත් ෆේස්බුක් එකේ පොරටෝකක් දෙනවා තමන් කොයි තරම් අං ගිලපු අංකූරෙක්ද ට්‍රැෆික් වැරැද්දකට අහුවෙලත් ෂේප් වෙලා එන්න කියලා!

ඊට පස්සේ ඔන්න තව දවසක පොලිස් රාළහාමි කෙනෙක්ට තව ඩයල් එකක් පගාව දෙන්න යන සීන් එකක් රෙකෝඩ් කරලා එකෙක් ෆේස්බුක් දාලා. අනේ ඉතින් මේ අං ගිලපු අංකූරා ගිහින් එතන දෙස්දෙවොල් තියනවා, මුන් එක්ක රට හදන්න පුළුවන්ද කියලා!

 

වැරැද්ද නං කෝකත් වැරැද්ද වෙන්ඩෝනෙ, එච්චරයි!

 

7. එදා ජනාධිපති සහ මෙදා ජනාධිපති!

දැන් අතිගරු ජනාධිපතිතුමා ගත්තහම ඉතින් රටේ ප්‍රධාන පුරවැසියානේ. එතකොට අපි හැමෝම උන්දැට බොහොම ගරුත්වයකින් සලකන්න ඕන. ඒක තමයි හරි ක්‍රමය. හැබැයි ඒ කියන්නේ රටේ ප්‍රධාන පුරවැසියා පිස්සු කෙලින කොටත් ඒකට හුරේ දාන එක නෙවෙයි හැබැයි!

උදාහරණයක් විදියට ගත්තොත්, ගිය පාර ජනාධිපතිට මොනවද නොකිව්වේ. හැබැයි ඒ කියපු ගොඩක් දේවල් වලට, එල්ල කරපු ගොඩක් විවේචන වලට උන්දෑ සුදුසුයි.

හැබැයි එහෙම කියපු සමහර උන්දැලා දැන් ජනාධිපති මොනවා හරි පිස්සු කෙලින කොට හොරට බුදි. උන්ට වැරැද්ද ගැන කියන්න කට ඇරෙන්නෙ නෑ. 

ඒ අතරේ ඉස්සර ජනාධිපතිව පට්ට පතුරු ගහපු උන්දැලා, දැන් ලොක්කගේ වැඩ කෑල්ල බලං ඉඳලා කියනවා ඉස්සර ජනාධිපති රත්තරං ලු. නෑ, වැරදියි. වැරදි දේ කවුරු කළත් වැරදියි. මෙයාට සාපේක්ෂව අරයා හොඳයි කිව්වා කියලා, අරයා කරපු වැරදි අමතක කළ යුතු නෑ!

 

8. අතිගරු ස්වාමීන් වහන්සේ සහ චීවරධාරී!

මේක නං ඉතින් වැඩිහරියක් කපටි කම සහ කුප්ප කම නිසා, තමන්ගේ ආගම නිසා වැරදි දේට වැරදියි කියන්න දිව නැවෙන්නෙ නැති නිසා කියන කතන්දර. දැන් ඔය “මේක අපේ ඩර්මේ මැට්ටො” කියාගෙන ඉන්න ධර්මදූත ඩයල් ඉන්නවනේ ෆේස්බුක් එකේ. ස්වාමීන් වහන්සේ නමක් දැක්කහම ආයෙ බිම දිගාවෙලා වඳින්නේ. හැබැයි මේ ජාතියේ එවුන්ට අතිගරු ස්වාමීන් වහන්සේලා වෙන්නේ නියම ධර්මයේ හැසිරෙන භික්ෂූන් වහන්සේලා නෙවෙයි, සාදු අංකල්ලා සහ වොයිස් කට් නිකායේ උන්නාන්සෙලා. 

හැබැයි ඔය සාදු අංකල් කෙනෙක්, සාදු බිස්නස්මන් කෙනෙක් හරි වොයිස් කට් උන්නාන්සේ කෙනෙක් හරි තද බුලක් කෙලලා, නීති කඩලා, ධර්මේ කඩලා වීඩියෝ එකක් එහෙම ලීක් වුණහම, උන්දැලා චීවරධාරී! ඇත්ත, ශාසනයේ ඉන්න වැඩි දෙනෙක් අවුල් නෑ තමයි. හැබැයි එහෙමයි කියලා උඹලගේ දේශපාලනේට ගැලපෙන ගණින්නාන්සෙලා ආරක්ෂා කරන්ඩ යන්ඩ එපා ඕයි මේ අපේ ධර්මේ කියලා! 

 

දැන් මේ හැම එකකින්ම පැහැදිලි වෙන්න ඕන මොකද්ද? අපි හම්බ කළොත් අපි කනවා කියලද? නෑ, රට හදන්න කලින් තමන් හැදිලා හිටු කියන එක තමා. එතකොට රට නිකම්ම හැදෙයි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *