කුස්සියේ තියෙන හුඟක් උපාංග එක්ක ඉහළින්ම තියෙන, දැන් කාලෙ ගෘහණියන්ට නැතුවම බැරි උපාංගයක් තමයි මේ අවන් එක කියල කියන්නේ. Electric අවන් එකක් හෝ Microwave අවන් එකක් උනත් මේ දෙකෙන්ම ගන්න තියෙන ප්‍රයෝජනනම් එමටයි. ඉතින් කුස්සියට නැතුවම බැරි මේ උපාංගය ගැන කතා නොකර කොහොමද? අද කතා කරන්න යන්නෙ අවන් එකක් පිරිසිදු කරගන්න හැටි ගැනයි. පිඟන් කෝප්ප වගේ දේවල් නිතර නිතර පිරිසිදු කළාට මේ අවන් එක එහෙම පිරිසිදු කෙරෙනවා අඩුයි නේද? ඒකට ලොකුම හේතුවක් මේක පිරිසිදු කරන ආකාරය හරියට නොදන්න එක. ඒ නිසාම වැඩේට අතගහන්න බයයි. ඔන්න අද ඉඳලා ඒ ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන්. අපි බලමු අවන් එකක් කිළුටු වෙන්නේ ඇයි කියන එක වගේම පියවරෙන් පියවර අවන් එකක් පිරිසිදු කරගන්නේ කොහොමද කියලා.
1. අවන් එකක් අපිරිසිදු වෙන්නෙ කොහොමද?
ගෙදර කුස්සියක භාවිතා වෙන අනෙක් බඩු බාහිරාදියනම් කිළුටු වෙන හැටි අපි හොඳටම දන්නවනේ. ඒවගේ දාල කෑම උයනකොට ගෑවෙන තෙල් ඉඳුල් කොහොමත් පිරිසිදු කරල ඉවත් කරන්න ඕන. හැබැයි ඉතින් මේ අවන් එකක එහෙම ඉඳුල් ගෑවෙන්නෙත් නැත්තම් කොහොමද මේ අවන් එකක් අපිරිසිදු වෙනව කියන්නෙ? ඇත්තටම අවන් එකක් පිරිසිදු කරන්න ඕනමද?
ඔව් අවන් එකත් අපිරිසිදු වෙනවා. අපි අවන් එකක් ඇතුළට සාමාන්‍යයෙන් කේක්, බිස්කට් වර්ග වගේම රෝස්ට් කරන්න අවශ්‍ය මස් වර්ග වගේ හැම දෙයක්ම දානවනේ. ඒ කෑම අවන් එක ඇතුළේ පිළියෙළ වෙනකොට ඒවගෙන් විසිවෙන තෙල්, ඉඳුල්, වතුර බිංදු අවන් එකේ බිත්තිවල, දොරේ, වීදුරුවේ එහෙම ලේසියෙන්ම තැන්පත් වෙනවා. එක වරකට පොඩි ප්‍රමාණයක් උනත් මෙහෙම ටික කාලයක් අවන් එක භාවිතා කරනකොට තෙල් ඉඳුල් තට්ටු බිත්තිවල රැඳෙනවා. ඒක අවන් එකේ පැවැත්මට හොඳ නැහැ වගේම ඊළඟට ඒ අවන් එක ඇතුළේ පිළියෙළ කරන ආහාර වල සෞඛ්‍යාරක්ෂිත බවටත් සෘජුවම බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අවන් එකක් අනිවාර්යයෙන්ම කාලයකට වරක් පිරිසිදු කරන්නම ඕන.
2. කොපමණ කාලයකට වරක් පිරිසිදු කරන්න ඕනෙද?
ඔන්න ඊළඟ ප්‍රශ්නය තමයි අවන් එක පිරිසිදු කරන්න ඕන කොච්චර කාලයකට වරක්ද කියන එක. වලන් පිඟන් හෝදනවා වගේ අවන් එකක් දිනපතා පිරිසිදු කරන්න බැහැනේ. ඔන්න ඒකයි මේ ප්‍රශ්නය වැදගත්.
අවන් එකක් පිරිසිදු කරන්න ඕන කොච්චර කාලයකින්ද කියන එක තීරණය වෙන්නෙ අවන් එක භාවිතා කරන ප්‍රමාණය අනුවයි. සමහර ගෙවල් වල දිනපතා කේක්, කුකීස් වර්ග, මස් වර්ග එහෙම හදාගන්න අවන් එක භාවිතා වෙද්දී සමහර ගෙවල් වල අවන් එකක් භාවිතා වෙන්නේ අවුරුද්දටම වරක් දෙවරක් කේක් එකක් බේක් කරගන්න වගේ වැඩකට විතරයි. අර කලින් කිව්ව නිතර භාවිතා වෙන අවන් හෝ මයික්‍රෝවේව් අවන් නම් අඩුම තරමේ මාස තුනකට එක පාරක් හරි පිරිසිදු කරගන්න ඕන. හැබැයි නිතර භාවිතා නොකරන අවන් එකක් නම් මාස හයකට හෝ අවුරුද්දකට වතාවක් පිරිසිදු කරගත්තහම හොඳටම ඇති.
කාලසීමාව වගේම පෙනුමත් බලල අවන් එක පිරිසිදු කරන්න ඕන වෙලාව තීරණය කරන්න පුළුවන්. බැලු බැල්මට අවන් එක අපිරිසිදුයි නම්, වීදුරුව බොඳ වෙලානම් මාස තුනක් වෙනකන් බලාගෙන නොයිඳ පිරිසිදු කරන්න. ඒ වගේම අවන් එකේ දොර අරිනකොට, ඇතුළේ කෑමක් පිළියෙළ වෙනකොට අනවශ්‍ය දුගඳක් හම්නවානම් ඒත් ඉක්මනින් අවන් එක පිරිසිදු කරගන්න ඕන.
දැන් අපි බලමු අවන් එක පිරිසිදු කරගන්න විදිහ පියවරෙන් පියවර.
3. රාක්ක පිරිසිදු කරගන්න
මේ ඔක්කොම පටන් ගන්න කලින් අවන් එක ස්විච් එකෙන් සම්පූර්ණයෙන්ම ගලවල කියන එක තහවුරු කරගන්න මතක් කරලා.
ඊළඟට අවන් එක ඇතුළේ තියෙන රාක්ක ඔක්කොම එකින් එක ගලවල සාමාන්‍ය සබන් හෝ භාජන හෝදන දියර යොදාගෙන හොඳින් සෝදාගන්න.
ඊට පස්සේ තමයි අවන් එකේ ඇතුළත බිත්ති හෝදන එක පටන් ගන්නෙ.
4. බේකින් සෝඩා විනාකිරි මිශ්‍රණය
රාක්ක වගේ සබනුයි වතුරයි යොදාගෙන අවන් එකේ ඇතුළ පිරිසිදු කරන්න බැහැනේ. ඔන්න මේක තමයි ඇතුළ පිරිසිදු කරන මැජික් මිශ්‍රණය.
මේකට ඕන බේකින් සෝඩා, විනාකිරි සහ ස්පොන්ජ් කැබැල්ලක් විතරයි. බේකින් සෝඩා කෝප්ප බාගයකට විනාකිරි එකතු කරමින් තැවරිය හැකි මෘදු පේස්ට් එකක් හදාගන්න. තෙල්, ඉඳුල් වගේම පුංචි ඇසට නොපෙනෙන තරම් මළකඩ පැල්ලම්, දැලි පැල්ලම් එහෙමත් මේ මිශ්‍රණය යොදාගෙන ලේසියෙන්ම ඉවත් කරගන්න පුළුවන්.
5. අවන් එක ඇතුළත
කලින් සකස් කරගත්ත මිශ්‍රණය ස්පොන්ජ් එකක් පාවිච්චි කරලා අවන් එකේ බිත්ති වල හොඳින් තවරාගන්න. හැබැයි මේක විනාඩි 5න් 10න් පිරිසිදු කරන්න නම් බැහැ. හදාගත්ත පේස්ට් එක හොඳින් තවරලා රැයක් වේලෙන්න තියන්න ඕන. පහුවදාට පිරිසිදු වතුරෙන් පොඟවා ගත්ත ස්පොන්ජ් කැබැල්ලකින් මේ පේස්ට් එක පිහදාලා ඉවත් කරගන්න.
6. දොර සහ වීදුරුව
ඊළඟට අවන් එකේ දොර සහ වීදුරුවත් මේ විදිහටම තමා පිරිසිදු කරන්න ඕන. හැබැයි වීදුරුවනම් පේස්ට් එක ආලේප කරලා විනාඩි 30ක කාලයක් තිබ්බම ප්‍රමාණවත්.
7. අවසන් පියවර
ඊළඟට අවසන් පියවර විදිහට අවන් එකේ ඇතුළත හැම තැනටම පිරිසිදු විනාකිරි ස්ප්‍රේ කරගන්න. යන්තම් හරි ඉතුරු වෙලා තියෙන බේකින් සෝඩා මිශ්‍රණය මේ විනාකිරි එක්ක එකතුවෙලා නැවත ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ස්ප්‍රේ කරලා සැනෙකින් පිරිසිදු රෙදි හෝ ටිෂූ පාවිච්චි කරලා ඇතුළත හොඳින් පිහදා ගන්න. හොද දීප්තිමත් පෙනුමක් මේ මඟින් ලබාගන්න පුළුවන්. බේකින් සෝඩා හෝ විනාකිරි ආහාර සකස් කරන්න යොදාගන්න දේවල්ම නිසා ශරීරයට අහිතකර වෙන්නෙත් නැහැ.
Leave a Reply