පරණ ආදරේ මතක් වෙනවද? ඒකත් හිතට කරදරයක්ද? එහෙමනම් මේ උපදෙස් කියවන්න

අපි ගොඩක් දෙනෙක්ට පරණ ලව් එකක් එහෙම තියෙනවා ඇතිනේ. සමහරුන්ට තාමත් පරණ ලව් එක මතක් වෙනකොට ආසයි. පරණ ලව් එකේ ස්මරණයන් ගැන හිතන එකත් ආස්වාදයක්. හැබැයි ඉතින් තවත් සමහරුන්ට නම් මේ පරණ ආදරේ කියන්නේ අතිශයින්ම අප්‍රසන්න මතකයන් ගොන්නක්. මතක් වුණත් හිත රිදෙන, හිත අවුල් වෙන, දරන්න අසීරු දෙයක් තමයි තවත් සමහරුන්ට මේ පරණ ආදරේ.

 

ඉතින් ඔයාටත් පරණ ආදරේ, ඒ කියන්නේ පරණ පෙම්වතා හෝ පෙම්වතී මතක් වෙනකොටත් හිතට අමාරුයි නම්, මේ උපදෙස් කියවලා බලන්න. මේ විදියට පුළුවන් අපිට හිත හදාගන්න. 

 

1. මොළේ දන්නවා හැබැයි හිත දන්නෙ නෑ

දැන් ලව් එක අවසාන වුණාට පස්සේ අපේ මොළේ දන්නවා මේක අවසානයි කියලා. හැබැයි අපේ හිත දන්නෙ නෑ. ඉතින් හිත අපිට පරණ ලව් එක අමතක කරන්න දෙන්නෙත් නෑ. ආන්න ඒ නිසා පළවෙනි පියවර තමයි හිතට මේ ගැන කියලා දෙන එක. හැබැයි හිත කියන්නෙත් අර පොඩි ළමයෙක් වගේ තමයි. බොහොම ආදරයෙන්, කරුණාවෙන් තමයි මේ ගැන කියලා දෙන්න ඕන. හැබැයි ආයෙමත් පරණ පෙම්වතාගේ හරි පෙම්වතීගේ හරි පස්සෙන් යන්න වගේ තීරණයක් හිත ගන්නකොට, අපි මැදිහත් වෙලා වහාම ඒක වළක්වන්න ඕන. අන්න ඒ වෙලාවට හිතට පොඩ්ඩක් තදින් කතා කරන්න ඕන.

 

විකාරයි වගේද? නෑ, ඇත්තටම තමන්ගේ හිතත් එක්ක මේ දේවල් ගැන කතා කරන එක, කරුණු පහදන එක, හොඳ උපක්‍රමයක්. වටේ අයට පෙනෙයි තනියෙන් කතා කරනව කියලා. කමක් නෑ ඒකට.

 

2. මොකද්ද මගේ වැරැද්ද?

තමන්ගේ පරණ පෙම්වතාව හෝ පෙම්වතියව අමතක කරන්න බැරි ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි එයා අපිව දාලා ගියේ කියන එක. ඒ කියන්නේ අපි නං බූට් එක කාපු පාර්ශවය, අපිට ඔය ප්‍රශ්නේ තදින්ම බලපානවා. හැබැයි මෙන්න මෙතනදී අපි තේරුම් ගන්න ඕන ඇත්තටම අපේ වැරැද්දක් තියෙනවද නැද්ද කියන එක. ඇත්තටම අපේ කියන්න වැරැද්දක් නැති නම්, අන්න ඒක තේරුම් ගන්න ඕන. උඩින් කියපු විදියට හිතට ඒක කියලා දෙන්න ඕන. දෙවෙනියට අපේ අතේ මොකක්ම හරි වැරැද්දක් තියෙනවා නම්, අපි එහෙම වැරැද්දක් අපේ අතේ තියෙනවා කියලා පිළිගන්න ඕන. ඊලඟට ඒ වැරැද්ද හදාගන්න කටයුතු කරන්න ඕන. හැබැයි එතනින් පස්සේ මූව්-ඔන් වෙන්න ඕන.

 

3. කතා කරලා ඉවරයක් කරගමුද?

මේක සමහරුන්ට වැඩ කරනවා. සමහරුන්ට වැඩ කරන්නෙ නෑ. අන්න ඒ නිසා මේ පියවර පිළිපදින්න ඕන රිස්ක් එකක් අරගෙන, හොඳට හිතලා මතලා. දැන් අපිට පරණ පෙම්වතාව හෝ පරණ පෙම්වතීව අමතක කරන්න බැරි වෙන ප්‍රබල හේතුවක් තමයි දේවල් හරියට ඉවර නොවීම. හිටිඅඩියේ ලව් කැඩුණට පස්සේ තමන්ගේ අවුලක් නිසාද, අනික් කෙනාගේ අවුලක් නිසාද කියලා සෑහෙන්න ගැටළුවක තමයි ගොඩක් වෙලාවට කෙනෙක් ඉන්නේ. අන්න එතකොට අඩු ගාණේ කතා කරලා බැණගෙන හරි ඉවරයක් වුණහම හිතට සනීපයි. හැබැයි තවත් කෙනෙක්ට ආයෙමත් කතා කිරීම හින්දා හිත් අමාරු ඩබල් වෙලා කොහොමටවත් අමතක කරගන්න බැරි වෙන්නත් පුළුවන්.

 

4. සෝෂල් මීඩියා බ්ලොක්, ෆෝන්ස් බ්ලොක්

පරණ පෙම්වතා හෝ පරණ පෙම්වතී අමතක කරන්න නම් මේක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා පුතෝ. ඒ කියන්නේ අපිට කතා බතා කරල ඉවරයක් කරගත්තට පස්සේ ආයෙමත් කන්ටැක්ට්‍ස් නැතිවෙන්න ඕන. අඩු ගාණේ අපේ හිත හැදෙන කාලේ විතරක් හරි සම්පූර්ණයෙන්ම කන්ටැක්ට්ස් නවත්තන්න ඕන. නැත්නම් අපිට හිතෙනවා මෙසේජ් කරන්න, කෝල් කරන්න, සෝෂල් මිඩීයා වලට ගිහින් එයා මොනවද කරන්නෙ බලන්න. ඉතින් එයා කතා කළොත් වෙන්නේ ආයෙමත් පරණ තුවාල පෑරෙන එක. එයා කතා කරන්නෙ නැතුව නොදැක්කා වගේ ඉන්න එකෙන් වෙන්නේ අපේ ආත්ම අභිමානය කුඩු වෙලා බලු වෙන එක. ඔය දෙකම හොඳ නෑනේ. අන්න ඒ නිසා ෆෝන් නම්බර්ස් වල ඉඳන් සෝෂල් මීඩියා එකවුන්ට්ස් දක්වා බ්ලොක් කරලා තියන්න.

 

5. ලයිෆ්ස්‍ටයිල් වෙනසක්

පරණ ලව් එක අමතක කරන්න හොඳ ක්‍රමයක් තමයි තමන් ගත කරන ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරන එක. විශේෂයෙන්ම ලව් එකක් කැඩුණට පස්සේ තමන්ගේ ජීවිතේ කොහොමත් ඔහේ ගෙවෙන්න පටන් ගන්නවා. ඉස්සර හැපනින් ලයිෆ් එකක් තිබුණු එවුනුත් දැන් ඔහේ අවාරෙට වැටෙන පොල් වගේ ඉන්න පටන් ගන්නවා. හැබැයි එහෙම පරණ ලව් අමතක කරන්න බෑ. පරණ කොල්ලා හෝ කෙල්ලව අමතක කරන්න නම් වහාම ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරන්න ඕන. බෑ බෑ කියලා හිතන්නෙ නැතුව පොඩ්ඩක් එළියට පහළියට යන්න. ට්‍රිප් එකක් යන්න, ෆිල්ම් එකක් බලන්න යන්න.

 

ඒ වගේම නොවරදින බෙහෙතක් තමයි ශරීර සුවතාවය ගැන හිතන එක. ජොයින් වෙන්න ජිම් එකකට. ටික දවසක් යනකොට තේරෙයි වෙනස. 

 

6. තමන්ගේ ජීවිතේ දියුණුවක්

පරණ කොල්ලා නැතිනම් කෙල්ල එක්ක බ්‍රේක් අප් වුණාට පස්සේ අපිට ප්‍රශ්නයක් හිතට එනවා ඇත්තටම තමන්ගේ අඩුපාඩුවක් හින්දද මේක වුණේ කියලා. අපි උඩිනුත් ඒක කියලා තියෙනවා. හැබැයි ඒකත් එක්ක එන ආත්මවිශ්වාසය හීන වීම, ආත්ම සම්මානය අඩු වීම සහ හීනමානයත් අපේ පෞරුෂයට ලොකු ගැටළුවක් වෙනවා. ඒකත් එක්කත් අපිට පරණ ලව් එක නරක විදියට හිතට බලපානවා, ඒක නිතරම ඔලුවට එනවා. අන්න ඒ නිසා මේ කාලේ තදින්ම හිතන්න ඕන තමන්ගේ දියුණුව කොහොමද වෙන්න ඕන කියලා. හරියට සැලසුම් කරන්න ඕන තව අවුරුදු කීපෙකින් තමන් කොහෙද ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ වහාම ඒ සැලසුම් අනුව වැඩ කරන්නත් ඕන. එහෙම වැඩ කරන එක පරණ ලව් එක අමතක කරන්න හොඳම ඖෂධයක්. 

 

7. සපෝට් සිස්ටම් එකක්

අපේ ජීවිතේ ඉන්න ඇත්තම ඇත්ත, අපිව විනිශ්චය කරන්නෙ නැති යාලුවන්ගේ අගේ ඇත්තටම තේරෙන්නේ මෙන්න මේ වගේ වෙලාවකට. ඇත්තටම අපිට නරක බ්‍රේක්-අප් එකකට පස්සේ ආයෙමත් කකුල් දෙකෙන් නැගිටින්න නම්, උඩ කියලා තියෙන දේවල් වගේම හොඳ සපෝට් සිස්ටම් එකකුත් අත්‍යාවශ්‍යයි. ඒකට හොඳම යාළුවෙක්, අපේ පවුලේ අතිශයින්ම සමීපතමයෙක් වගේ කෙනෙක්ව තෝරගන්න පුළුවන්. එහෙම නැතිනම් අපි තෙරපිස්ට් කෙනෙක් මුණගැහුණත් ගැටළුවක් නෑ.

 

මෙතනදී අපි මුලින්ම සපෝට් සිස්ටම් එක විදියට තෝරගන්න කෙනා එක්ක අතිශයින්ම අවංක වෙලා, සියල්ල නොවලහා හෙළි කරන්න ඕන. ඊට පස්සේ එයාට අපි වෙනුවෙන් යම් කාලයක් වෙන් කරගන්න පුළුවන්ද කියලා අහලා බලන්න ඕන. අන්න ඊට පස්සේ අපිට පුළුවන් හිත අප්සට් යන වේලාවට එයාත් ෆ්‍රී නම්, ටිකක් කතා කරන්න. ඒ නැතත් සතියට දවසක් දෙකක් අපේ සපෝට් සිස්ටම් එකත් එක්ක පොඩි චැට් එකක් දාන්න තියාගත්තට කමක් නෑ. 

 

දැන් පැහැදිලියිනේ. ඇත්තටම පරණ ආදරේ කියන්නේ අමතක කරන්න අතිශයින්ම අමාරු දෙයක්. අමතක කරන්න බැහැ කිවුවොත් නිවැරදියි. ඒත් ඉතින් පරණ ආදරේ එක්ක අපිට තියෙන්නේ අමිහිරි මතකයන් නම්, ඒ අමිහිරි මතක නිසා අපේ හිත අවුල් වෙන එක වළක්වා ගන්න එක තමයි කරන්න ඕන. ඒ කියන්නේ හිත හදාගන්න. ආන්න ඒකට තමයි මේ උපදෙස් ලබාදීලා තියෙන්නේ. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *