ලංකාවට බුද්ධාගම හඳුන්වා දීමේ ඉඳන්ම ලංකාවේ සාහිත්‍ය කලා වල වර්ධනයට භික්ෂූන් වහන්සේලා සුවිශාල මෙහෙයක් ඉෂ්ට කරනු ලැබුවා. ඇතැම් අවස්ථාවල ගිහියෝ වගේම පැවිද්දෝ අතින් වුණත් භික්ෂූන් වහන්සේලාගේ මේ මෙහෙය ඒ තරම් අගය කිරීමට ලක් කෙරුණේ නැහැ. ඒ අයගේ මතය වෙන්නේ භික්ෂූන් වහන්සේලාගේ කාර්යය වෙන්නේ බණ පොත් ලිවීම පමණක් කියලායි. නමුත් ඒ කතාව අගතිගාමී ප්‍රකාශයක් බව නොකියාම බැහැ. අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ සාහිත්‍ය සහ කලාවට අනුපමේය මෙහෙවර ඉෂ්ට කළ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් පිළිබඳව.
1. මාපලගම විපුලසාර හාමුදුරුවෝ
විපුලසාර හාමුදුරුවෝ කලා කටයුතු වලට යොමු වුණේ අපි කලින් සඳහන් කළා වගේ අන්තවාදී පිරිසකගෙ බොහෝ බාධා කිරීම් මධ්‍යයේයි. උන්වහන්සේට කලාගුරු ජේ. ඩී. එල් පෙරේරාගෙන් චිත්‍ර කලාව හදාරන්න වෙනත් පන්සලක නවාතැන් ගන්න පවා සිද්ධ වුණා. පස්සෙ කාලෙක උන්වහන්සේ අතින් කොළඹ ආනන්ද විද්‍යාලයේ, විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපනය වුණු සිත් පහන් කරන බුදු පිළිම නිර්මාණය වුණා. විවාද සම්පන්න කරුණක් වුණත් ලංකාවේ ජනරජ ලාංඡනය උන්වහන්සේ විසින් නිර්මාණය කළ බව බොහෝ දෙනෙක් පිළිගන්නවා.
2. කඹුරුපිටියේ වනරතන හාමුදුරුවෝ
ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට නොමැකෙන සේවයක් කරපු වනරතන හාමුදුරුවෝ පැරැණි සම්ප්‍රදායට ගරු කරමින් ඒ මත පිහිටා වර්තමානයට ගැලපෙන පරිදි අදහස් පළ කළා. ලංකාවේ පිළිම කලාව, ඉතිහාසය යනාදී විවිධ විෂය ක්ෂේත්‍ර ගැන උන්වහන්සේ අලුත්ම මත ඉදිරිපත් කළා. පොළොන්නරු යුගය පිළිබඳව අධ්‍යයනය කරන පුද්ගලයෙකුට නැතුවම බැරි පනාකඩුව තඹ සන්නස සොයා ගැනීම සඳහා උන්වහන්සේ විසින් සිදුකළ මෙහෙය සදානුස්මරණීයයි.
3. බිබිලාදෙනියේ මහානාම හිමි
ගොඩක් භික්ෂූන් වහන්සේලා ගීත නිර්මාණ සඳහා යොමු වෙලා තියෙනවා. (කලින් දවසක එවැනි භික්ෂූන් වහන්සේලා පිළිබඳව සටහනක් ඔබ වෙත ගෙන ආ බව ඔබට මතක ඇති). හැබැයි සංගීත නිර්මාණය සඳහා යොමුවන භික්ෂූන් වහන්සේලා නැති තරම්. බිබිලාදෙනියේ මහානාම හිමියන් ඒ අතරින් සුවිශේෂී වන්නේ ඒ නිසයි. පෙර අපර දෙදිග සංගීතය පිළිබඳව විදේශගතව පවා අධ්‍යාපනය ලබා ඇති ඒ හිමියන් විසින් නිර්මාණය කරන ලද සංගීත නිර්මාණ පිළිබඳව නිසි කථාබහක් ඇති නොවීම කණගාටුවට කරුණක්.
4. බටුවංගල රාහුල හිමි
මෑත කාලයේ ලංකාවේ සාහිත්‍යය තුළ වඩාත්ම කතාබහට ලක්වුණු භික්ෂූන් වහන්සේ විදිහට බටුවන්ගල රාහුල හිමියන්ව හඳුන්වන්න පුළුවන්. උන්වහන්සේගේ මුල් කාලීන කෙටිකතා ග්‍රන්ථයක් වුණු “උපන් ලපය” වෙනුවෙන් රාජ්‍ය සම්මානය හිමිවුණු අතර ඉන් පසුව ලියැවුණු නවකතා සහ කෙටිකතා කෘති ගණනාවක් සම්මාන වලින් පිදුම් ලැබුවා. ඒ අතරින් “රන් කරඬුව” නවකතාව සඳහා ස්වර්ණ පුස්තක සම්මානය පිරිනැමීම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.
5. රත්නදෙණියේ මේධානන්ද හිමි
ලංකාවේ සාහිත්‍ය විචාර කලාවට භික්ෂූන් වහන්සේ විසින් එතරම් ලොකු දායකත්වයක් ලබා දීලා නැහැ. මේ පසුබිම තුළ පසුගිය සමයේ ජාතිකවාදී ස්ථානයක ඉඳන් සාහිත්‍ය විචාරය සඳහා යොමු වුණ රත්නදෙණියේ මේධානන්ද හිමියන් රචනා කළ ලිපි ඇතැම් අවස්ථාවල අතිශයින්ම ආන්දෝලනාත්මක වුණා. පසුව තමන් වහන්සේගෙන් සිදුවිය යුතු සාහිත්‍ය මෙහෙවර ගැන අමතක කර දේශපාලනය පිළිබඳව පමණක් උන්වහන්සේ අදහස් දැක්වීම කණගාටුවට කරුණක්
6. මණ්ඩාවල පඤ්ඤාවංශ හිමි
ප්‍රංශයේ වැඩ වසමින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන මණ්ඩාවල පඤ්ඤාවංශ හාමුදුරුවෝ ලංකාව සහ ප්‍රංශය අතර සාහිත්‍ය පාලමක් බැඳලා තියෙනවයි කියල කිව්වත් වරදක් නැහැ. උන්වහන්සේ විසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “විරාගය” කෘතිය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළා කියලා දන්නෙ බොහොම අතළොස්සක් දෙනා විතරයි. ඒ වගේම උන්වහන්සේ ප්‍රංශ දාර්ශනිකයන්ගේ සහ ලේඛකයන්ගේ කෘති කීපයක් සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා.
7. එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ
සෙනරත් පරණවිතාන මහතාට පවා සොයාගත නොහැකි වුණ සෙල්ලිපි සහ පුදබිම් ගණනාවක් මේධානන්ද හාමුදුරුවෝ සොයාගත්තා. ඒ වෙනුවෙන් උන්වහන්සේ ගත කළේ අතිශය දුෂ්කර ජීවිතයක්. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී තර්ජන මධ්‍යයේ පවා උන්වහන්සේ තමන්ගේ උත්සහය අත්හැරියේ නැහැ. ඇතැම් අය දේශපාලනයට යොමු වීම නිසා උන්වහන්සේව විවේචනයට ලක්කරත් රට වෙනුවෙන් උන්වහන්සේ කරලා තියෙන සේවය ඊට වඩා දස දහස් ගුණයකින් වැඩි බව මේ විවේචනය කරන පුද්ගලයින් දන්නේ නැහැ.
අපි මේ ලිපියට ඇතුළත් කළේ බණ පොතෙන් ඔබ්බට ගිය භික්ෂූන්වහන්සේලා කිහිප දෙනෙක්ගේ නම් විතරයි. මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු තවත් භික්ෂූන්වහන්සේලා පිළිබඳව කමෙන්ට් සටහනක් තියන ගමන් වැඩි පිරිසකට කියවන්න මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply