අවුරුද්දත් කිට්ටුවටම ඇවිල්ලා. පුරුදු විදියට තෙල් තාච්චිය ලිපේ තියන්න බලන් ඉන්න උදවියට එයාලා දන්න කැවිලි වලින් එහාට ගිය වෙනස්ම කැවිලි ටිකක් මේ පාර ගේන්න හිතුවා. ඉතින් ඔයාලගෙ අවුරුදු මේසෙ ලස්සන කරගන්න මෙදා පාර මේ කැවිලි ටිකත් එකතු කරගන්න.
1. කොමල වට්ටන්
අවශ්‍ය ද්‍රව්‍ය
- තෙත හාල්පිටි ග්‍රෑම් 200
- පාන්පිටි ග්‍රෑම් 50
- පොල්පැණි බෝතල් 1/2
- ගාගත් පොල් කෝප්ප 1
- බැදීමට තෙල්
- ලුණු
- එනසාල් ඇට කිහිපයක්
- පැණි කාලක් ලිපේ තියලා උණු වෙනකොට පොල් ටික දාලා ඒකට එනසාල් ඇට දාගන්න. රස අනුව ලුණු දාලා පොල් ටික මලවගන්න. දැන් මේකෙන් පොඩි බෝල හදාගන්න.
- හාල්පිටි හා පාන්පිටි එකතු කරලා මේකට ඉතුරු පැණි ටික එක්ක ලුණු පොඩ්ඩක් දාලා කැවුම් මිශ්‍රණයක් හදාගන්න. මේක තරමක උකුවට හදාගන්න.
- තෙල් තාච්චිය ලිපේ තියලා මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා පොඩ්ඩක් තුනීවට පතුරුවන්න. මේක පිපිලා එනකොට සාදාගත් පොල්පැණි ගුලිය තියලා තෙල් හැන්දෙන් තද කරන්න. ඊළඟට මේ කැවුම තෙල් හැන්දෙන් උඩට අරන් හැන්ද උඩ තියාගෙනම පැණිපොල් ගුලිය උඩට කැවුම් බැටර් එක දාලා ආයෙ තෙල් එකට දාලා තෙල් ඉහමින් උඩට බැදගන්න. මේක ගොඩක් රසවත් කෑමක්.
2. විබර
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු හාල්පිටි ග්‍රෑම් 500
- උකු පොල්කිරි කෝප්ප 2
- බිත්තර 1
- රස අනුව ලුණු
සීනි සිරප් එකට
- කලරින් ස්වල්පයක්
- සීනි ග්‍රෑම් 200
- වතුර
- හාල්පිටි කිහිප වතාවක් හලාගන්න. දැන් මේ පිටි ටික බැදගන්න. පොල්කිරි වලට ලුණු හා බිත්තර දාලා කලවම් කරගන්න. දැන් පිටිවල රස්නෙ තියෙද්දිම පොල්කිරි ටික දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
- මේ ටික ඉඳිආප්ප වංගෙඩියට දාල මුරුක්කු හදන අච්චුවෙන් මේක කැමති රටාවකට වක්කරගන්න.
- මිශ්‍රණයෙ තද ගතිය වැඩි නම් පොල්කිරි ටිකක් දාගන්න. මේක කෙසෙල් කොළයක් උඩට වක්කර ගත්තනම් හොඳයි. මොකද විබර එක කෙසෙල් කොළෙන් අතට අරන් තෙලට දාලා බැදගන්න ලේසියි එතකොට.
- දැන් විබර ටික එකින් එක ලා දුඹුරු පැහැයක් එනකම් බැදගන්න. හොඳටම බදින්න එපා. මේක නිවුණම හුළන් නොවදින්න වහලා දවස් 5කින් නැවත බැදගන්න.
- සීනි සිරප් එක හදන්න සීනි හා වතුර එක් කරලා ලිපේ තියන්න. හොඳට නටනකොට කලරින් ටික දාලා උතුරවගන්න. සිරප් එක උකු වෙනකොට ලිපෙන් බාලා දෙවනි පාරට බැදගත්ත විබර උඩට වක්කරගන්න.
3. මුකුළු
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- ගාගත් පොල් කෝප්ප 1
- සීනි කෝප්ප ½
- කරදමුංගු කුඩු පින්ච් එකක්
- ලුණු
- බැදගැනීමට තෙල්
- පොල් වලට පාන්පිටි හා ලුණු දාලා හොඳට අතින් තද කරමින් කලවම් කරගන්න. පොල් වලින් කිරි ගතිය එනකල් අතින් මිරිකමින් කලවම් කරගන්න. මේකට කරදමුංගු සහ සීනි දාලා හොඳට අනමින් කලවම් කරගන්න.
- හැඩ හදාගන්න පුළුවන් ගාණට මෘදු ඩෝ එකක් එනකම් වතුර පොඩ්ඩ පොඩ්ඩ එකතු කරමින් අනාගන්න.
- මිශ්‍රණයෙන් පොඩි බෝලයක් අරගෙන උල් හයක් හිටින විදියට (රූපයේ පරිදි) වටෙන් අතින් මුකුළු ටික හදලා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.
4. කේසරී
අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං කෝප්ප 1/2
- සීනි කෝප්ප 1
- ගී කෝප්ප 1/2
- වතුර කෝප්ප 1
- මුද්දරස්පලම් ග්‍රෑම් 100
- කජු ග්‍රෑම් 100
- සැෆ්රන් හෝ කහපාට කලරින් ස්වල්පයක්
- මුලින්ම ගී පොඩ්ඩක් පෑන් එකට දාලා මුද්දරස්පලම් හා කජු ගී වල බැදලා පැත්තකින් තියාගන්න.
- ඉතිරි ගී ඔක්කොම මේ පෑන් එකටම දාගෙන රුලං එකතු කරලා විනාඩි 5ක් විතර බැදගන්න. ලිපෙන් බාගන්න.
- වතුර ටික ලිපේ තියලා උණුවෙනකොට මේ බැදගත් රුලං ටික දාගන්න. සීනි ටිකත් දාලා හැඳිගාන්න. වතුර හිඳිලා මිශ්‍රණය කැටි ගැසෙනකල් ලිපේ තියාගන්න.
- මේ අතර ගී ටිකක දියකරගත් සැෆ්රන් හා බැදගත් සියල්ලම දාලා හොඳට කලවම් කරලා බටර් ගාගත් ට්‍රේ එකකට දාලා තුනී කරලා කෑලි කපාගන්න.
5. පනා කැවුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි 500g
- පොල් කිරි කෝප්ප 1
- බිත්තර 1
- කහකුඩු ස්වල්පයක්
සීනි පැණිපත් කිරීම සදහා
- සීනි 100 g
- වතුර
- මුලින්ම පිටි, බිත්තර, කහකුඩු කලවම් කරලා ඒකට පොල් කිරි දමා අනාගන්න. අතේ නොඇලෙන ගානට පිටි ගුලියක් ආකාරයට එනතෙක් හොඳින් අත් ගසා පිටි ගුලිය සකසා ගන්න. වතුර දාන්න එපා.
- පිටි මෝලිය ටිකක් වෙලා තෙත රෙදි කඩකින් වසා තබන්න. ඉන්පසු ගෑරැප්පුවක් ගෙන එහි පිට පැත්තට පිටි ගුලියෙන් පොඩි කෑල්ලක් අරගෙන තියල තද කරමින් පහළට රෝල් කරන්න.
- මේ ආකාරයට මුළු පිටි ඩෝ එකම හදා ගන්න. මේ ටික ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.
- භාජනයක් ගෙන වතුර ටිකක් එක්ක සීනි ටික දාලා මද ගින්දරේ හැඳි ගාන්න. බුබුළු දාලා උඩට එනකම් ලිපේ තියලා හැඳි ගාන්න.
- මෙය විනාඩි 15ක් පමණ කළ යුතුයි. ද්‍රාවණය උකු ගතියට එන තෙක් හැඳි ගාන්න. ඒ කියන්නේ නුල් ඇදෙන පදම වනතෙක්. වතුර වීදුරුවකට මේ ද්‍රාවණයෙන් ටිකක් දැමූ විට යටට ගිලෙනවා නම් අන්න පදම හරි.
- දැන් බැදගත් පනා කැවුම් ටික මේකට දාලා හැඳි ගාන්න. ඉන්පසු ලිප නිවා දමන්න. මේ ප්‍රමාණ වලින් පනා කැවුම් 110ක් පමණ සාදා ගත හැක.
6. හකුරු බෝල
අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් පොල් කෝප්ප 1
- ගාගත් හකුරු කෝප්ප 1/2
- තලාගත් කරදමුංගු ඇට 2
- මාගරින් මේස හැඳි 2
- පෑන් එකකට පොල් හා හකුරු ටික දාගන්න. හොඳට කලවම් කරගන්න. ඊළඟට මේක සාමාන්‍ය ගින්දරේ හැඳිගාමින් කලවම් කරගන්න.
- හකුරු ටික දියවෙමින් පොල් වල තැවරෙයි. නොනවත්වා හැඳිගාමින් කලවම් කරගන්න. මේ විදියට විනාඩි 10ක් වගේ කලවම් කරනකොට මිශ්‍රණය එක ගුළියකට එයි.
- එතකොට මාගරින් ටික දාලා කලවම් කරගන්න. ටිකකින් ලිපෙන් බාලා පොඩි බෝල හදාගන්න.
7. කොලුකට්ට
අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි මිශ්‍රණයට
- හාල්පිටි කෝප්ප 1
- වතුර කෝප්ප 1
- බටර් තේ හැඳි 2
- ලුණු රස අනුව
පොල්පැණි මිශ්‍රණයට
- පැණි කාලක්
- පොල් කෝප්ප 1ක්
- කරදමුංගු දෙකක්
- වතුර ලිපේ තියලා උණුවෙනකොට ලුණු හා බටර් එකතු කරන්න. ටිකකින් පිටි ටික දාලා කලවම් කරගන්න. වතුර ගතිය අයින් උනාම ලිපෙන් බාලා හැඳි මිටකින් කලවම් කරගන්න. දැන් මේකෙන් අතේ නොඇලෙන මෘදු ඩෝ එකක් හදලා පොඩි බෝල හදාගන්න. බෝල හදන්න ඝණකම වැඩි නම් උණුවතුර පොඩ්ඩක් දාගන්න.
- පැණි කාලක් ලිපේ තියලා උණු වෙනකොට පොල් ටික දාලා ඒකට එනසාල් ඇට දාගන්න. රස අනුව ලුණු දාලා පොල් ටික මලවගන්න.
- දැන් හදාගත්තු බෝල අල්ලට තියලා තද කරලා පොඩ්ඩක් තුනී කරගන්න. මැදට පොල්පැණි ටිකක් තියලා හොඳට බෝල හදාගෙන විනාඩි 20ක් විතර ස්ටීම් කරගන්න.
Leave a Reply