කොරෝනා සමයේ ආරක්ෂිතව සාප්පු සවාරි යන්නේ කොහොමද?

ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ලහි ලහියේ සුදානම් වෙන ගමන් අමතක කරන්නම බැරි වැදගත් කාරණාවක් ගැන තමයි මේ කියන්න යන්නේ. අවුරුදු කිව්වම ඉතින් අපිට ඉස් ඉස්සෙල්ලාම මතක් වෙන්නේ සාප්පු සවාරිනෙ. ඔන්න මේ පාරත් අවුරුද්ද යන්තම් ලං වේගෙන එනකොටම කට්ටිය පාරට බැහැල සාප්පු සවාරි පටන් අරගෙන. හැබැයි මේ පාර වෙනදට වඩා වෙනස්, අපිට අමතක කරන්නම බැරි කාරණාවක් තියෙනවනේ. ලංකාවේ අපි විතරක් නෙමෙයි. මුළු ලෝකයම ඉන්නේ දරුණු කොරෝනා වසංගතයට මැදිවෙලා. ඉතින් ෂොපින් කරන්න යනවනම් මේ ගැන ලොකු අවධානයක් දෙන එක අපි හැමෝගෙම වගකීමක්.මොකද සමාජයේ ජීවත්වෙන පුරවැසියන් විදිහට අපි මේ රෝගයෙන් ආරක්ෂාවෙන එක වගේම අනික් අයගේ ආරක්ෂාව තහවුරු කරන එකත් අපේ අතේ තියෙන වැඩක්නේ. ඒ නිසා කියවලම බලමු කොරෝනා සමයේ තමන්ගේ වගේම අනිත් හැමෝගෙම ආරක්ෂාව තහවුරු වෙන විදිහට සාප්පු සවාරියේ යෙදෙන්නේ කොහොමද කියල. 

 

1. සෙනඟ අඩු දවස්

ඔන්න මුලින්ම මතක තියාගන්න ඕනෙ අපි මේ ෂොපින් යන්නෙ නොයාම බැරි නිසයි. ඒ කිව්වේ අත්‍යාවශ්‍යම දේවල් ගන්න විතරක් මේ වතාවේ ෂොපින් කිරීම සිමා කරන්න. හිතේ හැටියට ආපහු ෂොපින් කරන්නනම් මේ වසංගතය ඉවරවෙන කාලයක් වෙනකන්ම ඉන්න වෙනවා. ඊළඟට ගෙදරින් එක්කෙනෙක් හෝ උපරිම දෙන්නෙක් මේ වැඩේට සහභාගී වෙන්න. පොඩි දරුවන් එහෙම හැකි තරම් ගෙදර තියලා යන්න. 

ඊළඟට පුළුවන් තරම් සෙනඟ අඩු දවස් මේ ෂොපින් කිරීමට තෝරගන්න. කලින් වගේ එක එක ඩිස්කවුන්ට් තියෙන දවස්, නිදහසේ යන්න පුළුවන් නිවාඩු දවස් තෝරගෙන ෂොපින් කිරීම මේ වතාවේ අවදානම්. ඒ නිසා පුළුවන් තරම් සෙනඟ අඩුවෙන් ඉන්න දවසක් මේ වැඩේට තෝරගන්න. තදබදය අඩුවෙන තරමට මේ නපුරු රෝගය පැතිරීමේ සම්භාවිතාව හුඟක් දුරට අඩුයි.

 

2. හරි ෂොපින් ප්ලෑන් එකක්

ඊළඟට ගෙදරින් යන්න කලින් යන ගමනේ සියලු විස්තර ප්ලෑන් කරගෙන යන්න. ගන්න අවශ්‍ය ඇඳුම් පැළඳුම්, භාණ්ඩ මොනවද, ගන්න තැන මොනවද කියන සියලුම විස්තරය ප්ලෑන් කරගෙන යන්න. එතකොට ගතවෙන කාලය වගේම පාරේ වෙන අනවශ්‍ය රස්තියාදුව අඩුයි. ඒකෙනුත් වෙන්නෙ අවදානම අඩුවෙන එකයි.

වෙන වතාවල් වල වගේ මහන්සියට පාරේ පේස්ට්‍රි ෂොප් වලින් කෑම කන්න තියාගන්න එපා මේ වතාව. පුළුවන් තරම් ඉක්මනට ගිහින් වැඩේ කරගෙන ඉක්මනට එන්න.

 

3. මාස්ක් සහ සැනිටයිසර්

අමතක නොකර මාස්ක් අරගෙන යන්න. විශේෂයෙන්ම එකකට වඩා අරගෙන යන්න. මගදී මාස්ක් එකක් කැඩුනත්, හැලුනත් අවදානමක් ගන්න ඕන නැහැනේ. ඒ වගේම හෑන්ඩ් සැනිටයිසර් එකක් බෑග් එකේ දාගෙන යන්න. ෂොප් එකකට ඇතුල් වෙන තැනදී අත් හේදුවට ඇතුළට ගියාට පස්සෙත් අල්ලන අල්ලන ඇඳුමක්, බඩුවක් ගාණෙත් අත්දෙක සැනිටයිස් කරගන්න අමතක කරන්න එපා.

 

4. නිවැරදි තොරතුරු

ලේසියට, හදිස්සියට ෂොප් එකට ඇතුල්වෙන තැන තියෙන තොරතුරු පොත උඩින් පල්ලෙන් පුරවන්න එපා. එක්කො බාර්කෝඩ් එක හරියට ස්කෑන් කරන්න. එහෙමත් නැත්තම් පොතේ ඉල්ලලා තියෙන ඔක්කොම තොරතුරු වෙලාව අරගෙන පැහැදිළිව පුරවන්න. රෝගය පැතිරීම ගැන හරියට ට්‍රැක් කරන්න වගේම ඒ පැතිරීම සීමා කරන්නත් මේ තොරතුරු හුඟක් උදව් වෙනවා.

 

5. අඩුවෙන්ම Fit-on

ඇදුමක් ගන්න ගියාම fti-on නොකර ගන්න කියන එකනම් විහිළුවක්. විශේෂයෙන්ම අපේ කාන්තා පාර්ශවයට. ඒ නිසා එපාම කියන්නෙ නැහැ. හැබැයි පුළුවන් තරම් fit-on කිරීම සීමා කරන්න. මොකද fti-on කරද්දී ඇඳුම් පැළඳුම් ස්පර්ශ වෙන වාර ගැන වැඩියි වගේම හුඟක් වෙලාවට මුහුණ, නහය ස්පර්ශ වෙන නිසා රෝගය බෝ වීමේ අවදානමත් වැඩියි. අනික හුඟක් වෙලා පෝලිම් වල ඉන්නත් වෙනවා.

පුළුවන් තරම් සයිස් එක ෂුවර්, පාර්සල් කරපු ෂර්ට් වගේ ඇඳුම් මිලදී ගන්න. Fit-on නොකර බැරිම අවස්ථාවකනම් හරියට මාස්ක් එක දාගෙන ඇඳුම් ඇඳලා බලන්න. අවසානයේදී මතක ඇතුව අත් සැනිටයිස් කරගන්න. 

 

6. මීටරේ දුර

ෂොපින් කරද්දී හුඟක් අයට අමතක වෙන දෙයක් තමයි මේ මීටරේ දුර. විශේෂයෙන් දිගම දිග කැෂියර් පෝලිම් වලදී. හැබැයි මේ කාරණේ නම් හැකි හැමවිටදීම කියලා සැහැල්ලුවෙන් කියන්න බැහැ. අනිවාර්යයෙන්ම මතක් කරලා මීටරේ දුර හැම අවස්ථාවකම පවත්වාගන්න. වෙන කෙනෙක් ලඟට එනවනම් එක්කෝ එයාට මතක් කරලා හරි නැත්තම් තමන් ඉවත්වෙලා හරි මේ මීටරේ පරතරය රැකගන්න.

 

7. ගෙදර ඇවිත් හරියට පිරිසිඳු වෙන්න

ඔක්කොමත් කරලා ඇඳුම් අරගෙන ගෙදර ආවට පස්සෙත් වැඩේ ඉවර වෙන්නෙ නැහැ. ගෙනාපු ඇඳුම් ඇඳලා බලන්න හදිස්සි වෙන්න එපා. එළිමහනේ පැය 8ක්වත් තියෙන්න අරින්න. තෑගි දෙන ඇඳුම් ඇරුනහම පාවිච්චියට ගන්න ඇඳුම් ඔක්කොම අනිවාර්යයෙන්ම හොඳින් සෝදලා මැදලා භාවිතයට ගන්න.

නිදහසේ ෂොපින් කරලා අවුරුදු සමරපු අපිට මේ හිරවුණාජීවිතය හරිම හිසරදයක් තමයි. ෂොපින් කරන එකේ තියෙන සතුටත් නැතිවෙලා යනවා මේ විදිහට තමන්ටම නීති රෙගුලාසි දාගෙන ෂොපින් කරන්න ගියහම. ඒත් ඉතින් මොනව කරන්නද? මේක ලෝක ව්‍යසනයක්නේ. අද දවසේ පුංචි කැපකිරීම් ටිකක් කරල මේ රෝගය පැතිරෙන එක සීමා කරනොගත්තොත් අවුරුදු කෑවා වගේ නෙමෙයි. අවුරුදු මාසෙ ඉවර වෙනවත් එක්කම අපේ මේ පුංචි රටට තවත් කොරෝනා රැල්ලකට මුහුණ දෙන්න වෙයි. ඊට වඩා ලේසියිනෙ ඉතින් ඇත්තටම ටිකක් වැඩිපුර පරිස්සම් වෙන එක. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *