නැපෝලියන් සහ ජොසෆින් ආදර කතාව – 2 කොටස

ඔබට මතක ඇති මීට මාසෙකට විතර කලින් අපි නැපෝලියන් සහ ජොසෆින් ආදර කතාවේ පළමු කොටස ඔබ වෙත ගෙන ආවා. අපි අද ඒ ආදර කතාව ගැන වැඩිදුරටත් දැන කියා ගමු. පළමු කොටස කියවන්න අමතක වුණානම් පහත ලින්ක් එකෙන් ඒක කියවලාම මේ ලිපියට එන්න. 

නැපෝලියන් සහ ජොසෆින් ආදර කතාව

 

 

1. විවාහය ගලායයි 

නැපෝලියන් සහ ජොසෆින් යන දෙදෙනාම දිගින් දිගටම අනියම් සබඳතාවන් පවත්වාගෙන ගියත් දෙදෙනාටම දෙදෙනා නැතුව ඉන්න බැරි වුණා. නැපෝලියන්ගේ සමාජ තත්ත්වය මත ඇතැම් අවස්ථාවල ජොසෆින්ගේ ජීවිතය පවා අනතුරේ හෙලුනා. එක්තරා අවස්ථාවක ඔපෙරා ශාලාවකට යමින් සිටියදී නැපෝලියන්ව ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. නමුත් වැරදීමකින් එය එල්ල වුණේ ජොසෆින් ගමන් කළ අශ්ව රථයටයි. කෙසේ නමුත් එම බෝම්බ ප්‍රහාරයෙන් රාජකීයයන්ට කිසිදු හානියක් සිදු වුණේ නැහැ.

 

2. රාජාභිෂේකයට පෙර 

ප්‍රංශයේ අධිරාජ්‍යයා ලෙස නැපෝලියන් බොනපාට් අභිෂේක ගැනීමට දින කීපයකට පෙර නැපෝලියන් සහ ජොසෆින්ගේ පරිවාර ස්ත්‍රියක් යහන්ගතව සිටින ආකාරය ජොසෆින්ගේ අතටම අසුවීමෙන් පසුව දැඩි කෝපයට පත්වූ ඇය නැපෝලියන්ට දෝෂාරෝපණය කළ අතර ඊට පිළිතුරු ලෙස නැපෝලියන් තම සිංහාසනය සඳහා උරුමක්කාරයකු ඇගෙන් නොලැබේ නම් ඇයව දික්කසාද කරන බවටත් තර්ජනය කරනු ලැබුවා. කෙසේ නමුත් ජොසෆින්ගේ දියණියගේ මැදිහත්වීම මත ඔවුන් දෙදෙනා යළිත් සමගි වුණා.

 

3. රාජාභිෂේකය 

නැපෝලියන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් ජොසෆින් අධිරාජිනිය ලෙස කිරුළ පැළඳීම ගැන එතරම් යහපත් ආකල්පයක් දැක්වූයේ නැහැ. කෙසේ නමුත් දිගින් දිගටම නැපෝලියන් ඇයව අභිෂේක ගැන්විය යුතුය යන මතයේ සිටියා. උත්සව අවස්ථාව සඳහා පැමිණි පාප්තුමා ඔවුන් දෙදෙනා පල්ලියේ යළිත් විවාහ විය යුතු බව පැවසුවත් නැපෝලියන් විසින් එම අදහස ප්‍රතික්ෂේප කළ බව කියැවෙනවා. එසේම ජොසෆින් හට තම රාජාභිෂේක උළෙලේ ප්‍රමුඛස්ථානය ලැබිය යුතු නිසා නැපෝලියන් විසින් එම උත්සවය සඳහා තම මවගේ පැමිණීම වළක්වනු ලැබුවා. 

 

4. නැපෝලියන්ගේ උරුමකරු මියයෑම

 

මේ වන විට ජොසෆින්ගේ දියණිය වන හෝර්ටෙන්සේ නැපෝලියන්ගේ වැඩිමහල් සහෝදරයා වන ලුවී බොනපාට් සමග විවාහ වී සිටි අතර ඔවුන් දෙදෙනාගේ පළමු දරුවා නැපෝලියන් චාල්ස් ලෙස නම් කරනු ලැබුවා. බොහෝ දෙනෙක් නැපෝලියන් බොනපාට්ගෙන් පසුව මේ දරුවා අධිරාජ්‍යයා වනු ඇතැයි විශ්වාස කළ නමුත් වයස අවුරුදු පහේ දී ඔහුගේ මිය යෑමත් සමඟ සිහසුනට උරුමකරුවෙකු සිටිය යුතුයි යන මතය නැපෝලියන් තුළ යළිත් ඇති වුණා.

 

5. දික්කසාදය 

අවසානයේදී නැපෝලියන් ජොසෆින්ව දික්කසාද කිරීමට තීරණය කළ අතර ඊට එකම හේතුව වන්නේ උරුමකරුවෙකු පිළිබඳ ප්‍රශ්නයයි යන්න බව ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළා. දික්කසාදයද උත්සවාකාරයෙන් සිදු වුණු අතර ජොසෆින් හට අධිරාජනිය යන ගෞරව නාමය දිගටම තබා ගත හැකි බවත්, ඇයට අවශ්‍ය මුදල් සහ ආභරණ ලබා දිය යුතු බවත් නැපෝලියන් පැවසුවා. දික්කසාදයෙන් පසුව වුණත් ඔවුන් දෙදෙනා අතර පැවතියේ සමීප මිත්‍රත්වයක්.

 

6. නවාරේහී ආදිපාදිවරිය

පසුව නැපෝලියන් විසින් ජොසෆින් හට නාවරේහි ආදිපාදවරිය යන ගෞරව නාමය පිරිනමනු ලැබූ අතර ඇතැම් අවස්ථාවල ප්‍රංශ වංශවතුන් අනුව යමින් සූදු කෙළීම නිසා ඇය ණයවලට පැටලීම පමණක් ඔහු විවේචනය කරනු ලැබුවා. මේ කාලයේ දී නැපෝලියන් තම දෙවැනි විවාහයෙන් ලැබුණු පුත්‍රයාව බැහැදැකීමට ජොසෆින් හට අවස්ථාව ලබාදුන් අතර එම හමුවීම අතිශයින් සංවේදී එකක් වුණු බව කියවෙනවා. නැපෝලියන්ගේ රුසියානු ආක්‍රමණය සිදුනොකළ යුතු එකක් බව ඇය විසින් නැපෝලියන්ට දැනුම් දුන් බවත් ඇතැම් වාර්තාවල කියවෙනවා.

 

7. ආත්මීය සහකරුවන් දෙදෙනෙකුගේ මරණ

1814 වසරේ ප්‍රංශයේදී ජොසෆින් මියගිය අතර ඒ වන විට එල්බා දූපතේ පිටුවහල් ජීවිතයක් ගත කරමින් සිටි නැපෝලියන් මේ පුවතත් සමඟ අතිශයින් කැළඹීමට පත්වුණා. තමන් ඇයට අවංකව ආදරය කළ බව ඔහු තම සමීපතමයන්ට පවසා සිටියා. අවසානයේදී ඉන් වසර හතකට පසුව 1821 දී නැපෝලියන් ශාන්ත හෙලේනා දූපතේ දී මිය ගියා. ඔහුගේ අවසන් වදන වූයේ “ජොසෆින්” යන්නයි.

 

පසුගිය ලිපියේ ආරම්භයේ සඳහන් කළා වගේ මේක මහා සංකීර්ණ ආදර කතාවක් කියන එක ඔබට වැටහෙන්න ඇති. එහෙමනම් ඉතින් මේ ආදර කතාව ගැන ඔබේ අදහස් පළ කර ගමන් මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.