අපි හිතනවට වඩා හුඟක් බුද්ධිමත් අලි ඇතුන්

අලියා කියල කියන්නෙ ගොඩබිම ජීවත්වෙන විශාලම ජීවියා. අපි හැමෝම අලියා ගැන හොඳටම දන්නෙ එහෙමනේ. ලෝකයේ අලි ඇතුන් ප්‍රභේද තුනයි ජීවත් වෙන්නෙ. ඒ අප්‍රිකානු අලි ප්‍රභේද දෙකක් සහ ආසියානු අලි විදිහටයි. කොහොම උනත් ලෝකයේ, විශේෂයෙන්ම ආසියාවේ අලිගහණය අනෙක් සතුන්ට සාපේක්ෂව බැලුවහම බොහොම අඩු මට්ටමකයි තියෙන්නෙ. ඒ නිසාම අලියා කියල කියන්නෙ විශේෂයෙන් රැකගත යුතු සත්ව සම්පතක්. 

දැන් මේ කියන්න යන්නෙ අලි ඇතුන්ගේ තවත් විශේෂත්වයක් ගැන කතන්දරයක්. ලොකුම ජීවියා වීම, අඩුවෙන් ඉන්න සත්ව කොට්ඨාසයක් වීම කියන කාරණා වලට අමතරව අලියා කියන සතා හරිම විශේෂයි උන්ගේ තියුණු බුද්ධිය නිසා. සාමාන්‍යයෙන් අනෙක් සතුන්ට පිහිටලා නැති බොහොම ලොකු තීක්ෂණ බුද්ධියක් අලියා සතුව තියෙනවා. ඉතින් මේ කතා කරන්න යන්නෙ අන්න ඒ විශේෂ බුද්ධිය ගැන කාරණා කිහිපයක්. 

 

1. දීර්ඝ මතකය

අලි ඇතුන් කියන්නෙ ඉතා දීර්ඝ මතකයක් තියෙන සත්ව කොට්ඨාසයක්. ඔවුන් තුළ පවතින සුවිශේෂීම හැකියාව වෙන්නෙත් මේ අපූරු මතක ශක්තියම තමයි. ඔවුන්ගේම රැලේ ඉන්න සතුන් හෝ වෙනස්ම තැනක දකින අලි ඇතුන් ගැන ඔවුන්ගේ වයස, ප්‍රමාණය වගේ කාරණා අනුව මතක තබා ගැනීමේ සුවිශේෂී හැකියාවක් අලි ඇතුන්ට තිබෙන බව කියනවා. 

ඒ වගේම මිනිසුන් හෝ කාලයකට කලින් මුණ ගැසුණු ඔවුන්ගේ වර්ගයේම වෙනත් අලියෙක් හරි බොහෝම කාලයකට පස්සෙ හමුවුනහම කොයිතරම් වෙනස්කම් වලට භාජනය වෙලා හිටියත් ඒ මිනිසා හෝ සතා හඳුනාගැනීමේ හැකියාවකුත් අලි ඇතුන්ට තියෙනවා. ඒ කියන්නෙ තමා කුඩා කාලයේ මුණ ගැහුණු තමාගේ වයසේම අලි පැටවෙකු හරි නැත්තම් කුඩා දරුවෙකු හරි වසර ගණනාවකට පස්සේ ඔවුනුත් වයසින් වැඩිලා වෙනස් උනාට පස්සෙ උනත් හඳුනාගන්න අලියෙකුට පුළුවන්.

 

 

2. කටහඬවල් තේරුම් ගැනීම

 

මිනිස් කටහඩවල් අනුව ඔවුන්ව හඳුනාගන්න, ඔවුන්ගේ අදහස් තේරුම් ගන්න අලින්ට පුළුවන්. ඒ විදිහට තමයි ඔවුන් මිනිසුන්ව වර්ග කරගන්නේ සහ ඒ අනුව ප්‍රතික්‍රියා කරන්නෙ. අලි ඇතුන් මරපු ඉතිහාසයක් තියෙන අයව මේ ක්‍රමයෙන් වෙන් කරලා හඳුනාගෙන ක්‍රියාකරන්න ඔවුන්ට හැකියාව තියෙන බව තමයි කියන්නෙ. 

 

 

3. විවිධ උපාංග භාවිතය

ඒ වගේම තමයි විවිධ උපාංග භාවිතා කරලා එදිනෙදා වැඩ කරගන්න හැකියාවකුත් මේ අලි ඇතුන්ට විශේෂයෙන් පිහිටලා තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් මේ වීඩියෝවෙන් නරඹන්න පුළුවන්. 

 

 

මේ ඇමරිකාවේ Smithsonian ජාතික සත්වෝද්‍යානයේ ජීවත්වෙන කණ්ඩුල කියන ආසියානු අලි පැටවා. ඔහු දින ගණනාවක් තිස්සේ ඔහුට වඩා උසින් එල්ලා තියෙන පළතුරු ටිකක් කඩාගන්න කෝටු කැබලි වගේ විවිධ උපාංග භාවිතා කරලා උත්සාහ කරලා තියෙනවා. අවසානයේ කොහේදෝ ඉඳලා ප්ලාස්ටික් පෙට්ටියක් පෙරලාගෙන එන කණ්ඩුල ඒ මත නැගලා මේ පළතුරු කඩාගන්න සමත් වෙනවා. මේ මඟින් අලින්ගේ ගැටළු විසඳා ගැනීමේ සහ උපාංග භාවිතා කිරීමේ හැකියාවන් මනාව ප්‍රදර්ශනය වෙනව කියල තමා සත්ව උද්‍යානයේ විශේෂඥවරුන් කියන්නෙ.

 

 

4. ශරීර භාෂාව හඳුනා ගැනීම

කටහඬවල් වගේම මිනිසුන්ගේ ශරීර භාෂාව, ඒ කිව්වේ body language එකත් හඳුනාගන්න අලි ඇතුන්ට විශේෂ හැකියාවක් තියෙන බව කියනවා. මේ body language කියල කියන්නෙ ඇත්තටම මිනිස්සු වෙච්ච අපිටවත් හරියට තේරුම් ගන්න අපහසු දෙයක්නේ. හැබැයි අලි ඇතුන් මිනිස්සුත් එක්ක වැඩ කරනකොට, මිනිසුන් මුණගැහෙනකොට ඔවුන්ව වෙන්කරලා හඳුනාගන්න, තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න මේ විශේෂිත හැකියාව භාවිතා කරනවා කියල තමයි කියන්නෙ. ඒ ඒ මිනිස්සු හැසිරෙන ආකාරය අනුව ඔවුන්ගෙන් තමන්ට තර්ජනයක් තියෙනවද, නැත්තම් ඔවුන් එක්ක පාඩුවේ ඉන්න පුළුවන්ද කියන එක මේ හැකියාවෙන් තමයි ඔවුන් තේරුම් ගන්නෙ.

 

 

5. සහකම්පනය

අලි ඇතුන් කියන්නෙ මේ සහකම්පනය කියන ගුණාංගය ඉහළින්ම පිහිටපු සත්ව කොට්ඨාසයක්. ඒ කියන්නෙ සරලව කිව්වොත් තමන්ගේ කෙනෙකුගේ දුකකදී, කරදරයකදී හිත උණුවෙන ගතිය. ඕක අද කාලේ හුඟක් මිනිස්සුන්ටත් නැති එකේ ඇත්තෙන්ම මේ අලි ඇතුන්ටවත් තියෙන එක අපිට සෑහෙන්න සතුටු වෙන්න පුළුවන් කාරණයක් කොහොම උනත්. 

රැලේ ඉන්න එක අලියෙක් දුකින් කරදරයෙන් ඉන්න වෙලාවක අනෙක් අලි හෝ අඩුම තරමේ රැලේ ඉන්න වෙනත් එක අලියෙක් හරි මේ සතා ලඟ ඉඳගෙන පහසුව සලසන අවස්ථාවන් බොහෝවිට අපිට දකින්න පුළුවන්. 

 

 

6. දුක්වීම

ඔවුන්ගේ වරිගයේ කෙනෙක් මියගියහම හෝ කරදරයකට පත්වුනහම ඒ අනෙකා වෙනුවෙන් දුක්වීම, ඒ දුක ප්‍රකාශ කිරීම මේ සතුන් තුළ දකින්න පුළුවන් තවත් එක විශේෂ ලක්ෂණයක්. එක අලියෙක් මියගියහම රැලේ අනික් අලි සේරම මේ මියගිය අලියාගේ මළකුණ වටා එකතුවෙලා මහා හඬින් ශෝකය ප්‍රකාශ කරන විදිහ දකින්න පුළුවන්.

දුක වගේම සතුටත් එහෙමම තමයි හැබැයි. සතුට ප්‍රසිද්ධියේ බෙදාගන්නවා අපි නොදැක්කට එක ඇතින්නකට පැටියෙක් ලැබුණම රැලේම ඇතින්නන්ට කිරි එරෙනවා කියන කතාවත් මේ එක්කම සම්බන්ධ ඇති.

 

7. කථන හැකියාව? 

අලින්ට කතා කරන්නත් පුළුවන් කිව්වොත් විශ්වාස කරන්නත් පුළුවන්ද? ටිකක් අපහසුයි නේද? හැබැයි මේ සම්බන්ධ පරීක්ෂණ කරපු කණ්ඩායම් කිහිපයක්ම තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා මිනිස් භාෂාවන් වල සමහර වචන අනුකරණය කරන්න අලින්ටත් හැකියාවක් තියෙනවා කියල. කථන හැකියාව කියලා කිව්වට සම්පූර්ණ භාෂාවක්ම කතා කිරීමක් ගැන නෙමෙයි මේ කියන්නෙ කියල පැහැදිලියිනෙ. කොහොමින් හරි කොරියානු භාෂාවේ වචන කිහිපයක් අනුකරණය කරන ඇතකුගේ මේ වීඩියෝවෙන් ඒ ගැන පුංචි අදහසක් ගන්න පුළුවන්.

 ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ ගැනත් විවිධ මත පලවෙලා තියෙනවා.

අලි ඇතුන් ගැන වගේම ඔවුන්ගේ බුද්ධිය ගැන කතා කරද්දී අපිට ඉහලින්ම මතක් වෙන සතෙක් තමයි රාජා හස්තියා. මේ සත්වයා ඉතා බුද්ධිමත්ව කටයුතු කරපු අවස්ථා ගැන රස කතා ගොඩක් ඉතිහාසයේ තියෙනවා. අපි ඒ ගැනත් දවසක කතා කරමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *