දැන් අපි සාමාන්‍යයෙන් ෂොපින් යන්නේ කොහොමද? මල්ලක් එහෙම අරගෙන, ඇඳලා පැළඳලා යනවා කඩේකට. කඩයක් කිව්වට මෙව්වා සුපර් මාකට්, ෂොපින් මෝල්ස් එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම ගිහිල්ලා අපි තෝරලා බලලා කරලා ඕන්න අපිට ඕන කරන බඩු ගන්නවා. ඒවා අරන් ගෙදර එනවා. හැබැයි ඔන්ලයින් ෂොපින් කරනකොට සීන් එක වෙනස්. අඳින්න පළඳින්න දෙයක් නෑ. ගෙදරින් එලියට යන්න දෙයක් නෑ. කම්පියුටර් එකෙන් නැතිනම් ස්මාට්ෆෝන් එකේ ඇප් එකෙන් ඔන්ලයින් බඩු විකුණන්න තියෙන ස්ටෝර් එකකට ගියා, තමන්ට ඕන කරන බඩු මොනවද කියලා ෆොටෝ බලලා, කියවලා කරලා ඔන්ලයින් ෂොපින් කාට් එකට දාගත්තා, ඊට පස්සේ එක්කෝ ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝ ඩෙබිට් කාඩ් එකෙන් බිල ගෙව්වා නැතිනම් කෑෂ් ඔන් ඩිලිවරි දැම්මා, එච්චරයි!
ඉස්සර නම් ගොඩක් අය ඔන්ලයින් ෂොපින් වලට යන්න ටිකක් බය වුණාට, විශේෂයෙන්ම පහුගිය කොරෝනා කාලේදී එහෙම වෙන විකල්පයක් නැතුව ගියා සමහරුන්ට. මේ වෙනකොට ලංකාවේ වුණත් හිතන ඕනම බඩුවක් මුට්ටුවක් ගන්න ඔන්ලයින් තැන් තියෙනවා. ඇත්තටම ඔන්ලයින් ෂොපින් කියන්නේ අනාගතේටත් ගැලපෙන වෙළඳ ක්‍රමයක්, හා නැද්ද? අන්න ඒ නිසා අපි හිතුවා, ඔන්ලයින් ෂොපින් කරන එකේ තියෙන වාසි ටිකක් කියලා, පොඩ්ඩක් කට්ටියව ධෛර්යමත් කරලා ගන්න.
1. පහසුව
මේකේ නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් ඇත්තෙම නැහැනේ. උඩිනුත් කියපු විදියට ඔන්ලයින් ෂොපින් කරන කොට තමන් කඩේට ගිහින් බඩුවක් ගන්නකොට තියෙන වෙහෙස මහන්සිය ඇත්තෙම නෑ. ඒ වගේම කාලයත් සෑහෙන්න ඉතුරුයි. මොකද, විනාඩි ගාණක් ඇතුළතදී ෆෝන් එකෙන් වුණත්, කම්පියුටර් එකෙන් වුණත් අපිට ඕන බඩුවක් ඕඩර් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් කඩේකට ගියාට පස්සේ අපිට ඕන බඩුවක ස්පෙසිෆිකේෂන් අනං මනං අපි කඩේ අයගෙන් අහලා දැනගන්න ඕන. ගොඩක් වෙලාවට එයාලා කියන දෙයක් තමයි. හැබැයි අපිට ඔන්ලයින් ෂොපින් කරනකොට ඒ විස්තර ඔක්කොමත් ෂොපින් සයිට් එකේ හෝ ඇප් එකේ දාලා තියෙන නිසා පහසුයි.
ඊට පස්සේ ගෙවීම් කටයුතු එහෙමත් පහසුයි. කාඩ් වලින් ගෙවන්න බෑ බෑ වගේ නම්, කෑෂ් ඔන් ඩිලිවරි දාගන්න පුළුවන්. ඒකත් පහසුයි.
2. සල්ලි ඉතුරුයි
ඔන්ලයින් ෂොපින් කරනකොට මුලින්ම සල්ලි ඉතුරු වෙන්නේ අපිට ට්‍රාන්ස්පෝට් කොස්ට් එකක් නැති නිසා. ඒ කියන්නේ අපි ගිහින් බඩු අරගෙන එන්න නම් යනකොටත් කීයක් හරි වියදම්, එනකොටත් කීයක් හරි වියදම්. ලොකු බඩුමුට්ටු අරගෙන එනකොට නම් ප්‍රවාහනේට තවත් අමතර වියදම්. හැබැයි එහෙම බලනකොට අපිට බඩු ගෙදරටම ගෙනැල්ලා දෙන සේවාවක් හරිම ආර්ථිකමය වශයෙන් ලාභදායීයි. හැබැයි ඒ ලාබේ හරියට ගන්න නම්, ඒ අය ඩිලිවරි වලට කොච්චර ගන්නවද, ඩිලිවරි ෆ්‍රීද, සැඟවුණු ගාස්තු එහෙම තියෙනවද කියලා හරියට හොයලා බලන්න ඕන.
ඒ ඇරෙන්න ගොඩක් වෙලාවට ඔන්ලයින් ෂොපින් කරනකොට ආතල් ඩිස්කවුන්ට්ස් සෙට් වෙනවා. අන්න ඒකෙනුත් අපිට සල්ලි ඉතුරුවක් වෙනවා.
3. තෑග්ගක් එහෙම යවන්න ලේසියි
ඇත්තටම තෑගි බෝග යැවීමේදී දැන් කාලේ වෙනකොට පහසුම විකල්පයක් තමයි ඔන්ලයින් ෂොපින්. හේතුව, පහසුවෙන්ම අදාළ තැනට අදාළ තෑග්ග යවන්න පුළුවන් කම තිබීම. අපිට තෑගි ගන්න කඩෙන් කඩේට යන්න වුවමනාවක් ඇත්තෙම නෑ. ඊට පස්සේ කඩෙන් තෑගි අරගෙන ඩිලිවරි සර්විස් හොය හොයා දඟලන්න ඕනැත් නෑ. කෙලින්ම අවශ්‍ය වෙබ් සයිට් එකට ගිහින්, ඕන විදියට තෑගි තෝරලා, ඒවා පැක් කරන්න ඕන විදියත් තෝරලා දීලා, ඕන නම් තමන්ගෙන් නෝට් එකකුත් යවන්න සෙට් කරන්න පුළුවන්. ඒ නෝට් එකට පර්සනලයිස්ඩ් මැසේජ් එකක් ලියවෙන්න ඕන නම් ඒකත් කරගන්න පුළුවන්. මේ ඔක්කොම කම්පියුටරේ ඉස්සරහා ඉඳගෙන විනාඩි ගාණකින් කරගන්න පුළුවන් එකම ලොකු දෙයක්, හා නැද්ද? අනික ඕන දුරබැහැරකට තෑගි යවන්නත් මේ ක්‍රමේ තමයි ලේසි.
4. මිල ගණන් සසඳන්න ලේසියි
මේක ඇත්තටම ඔන්ලයින් ෂොපින් කරන පාරිභෝගිකයෙක් දැනගෙන ඉන්න ඕනම ට්‍රික් එකක්. ඒ තමයි, මොකක් හරි දෙයක් ගන්න කලින් මිල ගණන් සංසන්දනය කරන එක. දැන් අපි හිතමු කඩෙන් සපත්තු කුට්ටමක් ගන්න ගියා කියලා. අපි එක පාර පළවෙනි කඩෙන් ගන්නෙ නෑ. ගණන් අහනවා. ඊලඟට පොඩ්ඩක් බලලා එන්නං කියලා ඊලඟ කඩේට යනවා. ගණන් අහනවා. ඔහොම කඩවත් කීපෙකම ගණන් අහලා, තියන ඩිසයින් බලලා, හොඳම සහ ලාභම එක ගන්නවා. දැන් ඔන්ලයින් ෂොපින් කරනකොට ඔය වැඩේම ඊට වඩා සෑහෙන්න ලේසියෙන් කරන්න පුළුවන්. බලනවා තමන්ට අවශ්‍ය බඩුව විකුණන්න තියෙන ඔන්ලයින් ෂොප්ස්. ඒක ගූග්ල් සර්ච් එකකින් වුනත් ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් බලනවා වොරන්ටි කොහොමද, ඒජන්ට් වොරන්ටිද, බඩුවේ කොලිටිය, විශ්වසනීයත්වය සහ මිල ගණන් කොහොමද කියලා. දැන් ඔය සංසන්දනයෙන් පස්සේ අපිට අවශ්‍ය තැනින් අවශ්‍ය දේ හොඳම මිලකට ගන්න පුළුවන්.
5. තරගකාරී ඩිස්කවුන්ට්ස්
උඩින් කියපු ඩිස්කවුන්ට් කතන්දරේ වෙනම ගත්තත් ඔන්ලයින් ෂොපින් වලදී හොඳ වාසියක් වෙනවා. මොකද, මේ වෙනකොට ඔන්ලයින් ෂොපින් සයිට්ස් සහ ඔන්ලයින් බිස්නස් සෑහෙන්න තියෙන නිසා, එකිනෙකා පරයලා ඩිස්කවුන්ට් දෙන්න හැමෝම උත්සුක වෙන නිසා. අන්න එතකොට පාරිභෝගිකයාට ඒකේ වාසිය ගන්න පුළුවන්. ඒ වගේම, ගොඩක් වෙලාවට මේ ඔන්ලයින් බිස්නස් වලදී තරගකාරීත්වය නිසාම, බඩුවකට ඩිස්කවුන්ට් දෙන ගමන්ම, ඩිලිවරිත් ෆ්‍රී ඔෆ් චාර්ජ් ලබාදෙන්නත් ඒ අය උත්සාහ කරනවා. අන්න එතකොටත් ඉතින් වාසිය පාරිභෝගිකයාටම තමයි.
ඒ නිසා අපි කියන්නේ, උඩ කියලා තියෙන විදියට මුලින් ගණන් සසඳලා බලලා බඩු ගන්න කියලා තමයි.
6. වද දෙන සේල්ස් පීපල්ස් නෑ
මේක නම් හැම තැනටම අදාළ නෑ. දැන් සමහර වෙලාවට කඩේකට ගියාට පස්සේ අපි කඩෙන් එලියට එන්නේ ලේ පුච්චගෙන. ඒ සමහර සේල්ස් කරන කට්ටිය නිසා. එක්කෝ උන් අපිව ගණන් ගන්නෙ නෑ. අපි අහන බඩුව තියෙනවද කියලවත් කියන්නෙ නෑ. ආවනං, කඩේ පීරලා බඩුව හොයාගෙන, ඕන්නං අරං පලයං කියලා තමයි ඉන්නේ. ඒ වගේම තවත් සේල්ස් කරන සෙට් එකක් තමයි අරක ගන්න මේක ගන්න කිය කියා බඩු ඇඟේ ගහන්න වද දෙන එව්වෝ. උන් එක්කත් ඉතින් පුදුම වාතයක්. ඒ විතරක් නෙවෙයි, අපිට ඕන්නැති බඩුත් සමහර වෙලාවට ගන්න සිද්ධ වෙනවා ඒකෙන්.
හැබැයි ඉතින් ඔන්ලයින් ෂොපින් කරද්දී ඔය මොන කරදරයක්වත් නෑ. ඕන දේ තියෙනවද බැලුවා, තියෙනවා නං ගත්තා!
7. හොරෙන් ගන්නත් පුළුවන්
නෑ, නෑ, මේ කියන්නේ හොරෙන් බඩු ගන්න සීන් එකක් නෙවෙයි. ඇත්තටම මේ කියන්නේ අපිට කාට හරි සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් දෙන්න වගේ දේකට හොරෙන් බඩු ගන්න ඕන වුණොත්, කඩේකට ගිහින් බඩු ගන්නවට වඩා ඔන්ලයින් ෂොපින් ඉතාම ලේසියි. එතකොට අර ඉස්සර වගේ වයිෆ්ට සර්ප්‍රයිස් තෑග්ගක් දෙන්න ඕන වුණහම හොරෙන් කඩෙන් ගෙනැල්ලා, ගෙදර ගරාජ් එක මුල්ලේ හංගලා දඟලන්න ඕන නෑ. කෙලින්ම වයිෆ්ගේ ඔෆිස් එකටම ඩිලිවර් කරන්න පුළුවන්. හරිම සිම්පල් ප්ලෑන් එකක්.
දැන් ඒ කියන්නේ ඔන්ලයින් ෂොපින් වල කිසිම අප්සට් එකක්, අවාසියක් නැද්ද? අපි එහෙම කියන්නෙ නෑ. ඕනම දේක වගේ ඔන්ලයින් ෂොපින් වලත් ගැටළුකාරී තැන් තියෙනවා. හැබැයි ඒ හැම ගැටළුවක්ම වගේ තමන් සිහිනුවණින් කටයුතු කරනවා නම් විසඳාගන්න පුළුවන් එව්වා තමයි!
Leave a Reply