මහනුවර යුගයේ අප්‍රකට චරිත

මහනුවර යුගය කියන්නේ ජාතියක් වශයෙන් අපි ස්වාධීනව හිටපු අවසාන කාල පරිච්ඡේදය. ලංකාවේ ඉතිහාසයේ ආරම්භක අවධියේ ඉඳන් මුහුණ දීමට සිදු නොවුණු අන්දමේ දැවැන්ත අභියෝග රාශියකට මුහුණ දෙන්න මහනුවර යුගයෙදී අපට සිද්ධ වුණා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ අති ප්‍රබල යුරෝපා ජාතීන් තුනක ප්‍රතිරෝධය මධ්‍යයේ සිංහල සංස්කෘතිය සහ බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට මහනුවර රාජධානිය සමත් වුණා. අපි අද කතා කරන්න යන්නේ මහනුවර රාජධානි සමයේ ඉතිහාසය තුළ එතරම් කතාබහට ලක් නොවන අප්‍රකට චරිත කීපයක් පිළිබඳවයි.

 

1. වීරසුන්දර බණ්ඩාර 

පළමු රාජසිංහ රජු සමයේදී ඔහුගේ සමාන්තර පාලකයෙකු ලෙස උඩරට ප්‍රදේශය පාලනය කළ වීරසුන්දර බණ්ඩාර එම ප්‍රදේශය තුළ අතිශයින් ජනප්‍රිය පාලකයෙක් බවට පත්වුණා. ඔහු පිළිබඳව සැක සිතීමෙන් අනතුරුව රාජසිංහ රජු විසින් බොරු වලක ලෑමෙන් ඔහුව මරණයට පත් කිරීමට අණ දෙනු ලැබුවා. සිය පියාගේ මරණයෙන් අනතුරුව වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙත පලා ගිය අතර පසු කලෙක පළමු විමලධර්මසූරිය ලෙස මහනුවර යුගය බැබළවීමට ඔහු සමත් වුණා.

 

2. මහා අස්ථාන කුමාරයා 

පළමු විමලධර්මසූරිය රජුගේ සහ කුසුමාසන දේවියගේ වැඩිමහල් පුත් කුමාරයා වුණු මහා අස්ථාන කුමාරයා ළාබාල වියේ පසු වූ නිසා ඔටුන්න සෙනරත් රජු හට හිමි වුණා. නමුත් මහවැලි ගඟේ දිය නෑමට ගිය කුමරු දියේ ගිලීමෙන් මියගිය අතර බොහෝ දෙනෙක් විශ්වාස කළේ මහා අස්ථාන කුමාරයාව සෙනරත් රජුගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මරුමුවට පත්කළ බවයි.

 

3. විජයපාල කුමාරයා 

සෙනරත් රජු තමන්ගෙන් පසුව මහනුවර ප්‍රදේශය කොටස් තුනකට බෙදා තම පුත් කුමරුවන් තිදෙනාට පැවරූ අතර මාතලේ ප්‍රදේශයේ පාලනය විජයපාල කුමාරයා වෙත පවරන ලැබුවා. පසු කලෙක සිය සහෝදරයා වූ රාජසිංහ රජු සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් අනතුරුව පෘතුගීසීන් වෙත පලා ගිය විජයපාල කුමාරයා  කතෝලික ආගම වැළඳගත් බව කියවෙනවා.

 

4. කුමාරසිංහ කුමාරයා

සෙනරත් රජු විසින් ඌව ප්‍රදේශය පාලනය කිරීම සඳහා පවරන ලද්දේ කුමාරසිංහ හටයි. ඌව ප්‍රදේශයේ අද දක්වා පවතින ඇතැම් වෙහෙර විහාර ගොඩනගන ලද්දේ කුමාරසිංහ රජු විසින් බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එසේම මෙම රජුද රාජසිංහ රජු සමඟ ගැටුම් ඇති කර ගත් බවත්, අකාලයේ හටගත් රෝගාබාධයක් නිසා  මිය ගිය බවත් කියවෙනවා.

 

5. මුත්තුසාමි 

රාජාධිරාජසිංහ රජුගෙන් පසුව සිහසුනේ අනුප්‍රාප්තිකයා බවට නීත්‍යානුකූලව පත්වීමට සිටියේ මුත්තුසාමි කුමාරයා වුවත් මහ අදිකාරම් ධූරය දැරූ පිළිමතලාවේගේ බලපෑම මත රජකම සඳහා කන්නසාමි කුමාරයා පත් කරනු ලැබුවා. තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව පළි ගැනීමට සිතූ මුත්තුසාමි ඉංග්‍රීසීන් වෙත පලා ගිය අතර ඉංග්‍රීසීන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව බලයෙන් පහකිරීමේ ආක්‍රමණයක ප්‍රධානීත්වය මුත්තුසාමි වෙත පවරනු ලැබුවා. එහෙත් එම ආක්‍රමණය අසාර්ථක වූ අතර අවසානයේ දී මුත්තුසාමිට හිස් ගැසුම් කෑමට සිදුවුණා.

 

6. උනම්බුවේ බණ්ඩාර 

ශ්‍රී  වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ ලෙයින් උපන් එකම පුත්කුමාරයා ලෙස උනම්බුවේ බණ්ඩාර කුමරු  හැඳින්වීමට පුළුවන්. නමුත් ඔහුගේ මව යකඩ දෝලියක වීම නිසා උඩරට රදළයන් ඔහුව සිහසුනට පත් කිරීමට විරුද්ධ වූ අතර  එහි ප්‍රතිඵලය වූයේ නායක්කාර් රාජවංශයට උඩරට සිංහාසනය උරුම වීමයි. පසුව මහනුවර රාජ සභාවේ අදිකාරම් ධුරයක්ද උනම්බුවේ බණ්ඩාර කුමරු විසින් ඉසිලූ බව කියවෙනවා.

 

7. මීගස්තැන්නේ අදිකාරම් 

ඇතැම් වාර්තා වලට අනුව  ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ උඩරට රාජධානියේ පළමු අදිකාරම් ධූරය මීගස්තැන්නේ අදිකාරම් වෙත පැවරුණු අතර ඔහු රජුව නිසි මග ගෙන යෑමට කටයුතු කළ බව කියවෙනවා. පිළිමතලාවේ රාජද්‍රෝහී වීම නිසා එම ධූරය සඳහා මීගස්තැන්නේ පත් කිරීම ජනතාව අතර ජනප්‍රිය වූ බවක් ද සඳහන් වෙනවා. ඔහුගේ මරණයෙන් පසුව ඇහැලේපොළ වෙත මහාධිකාරම් ධූරය පැවරීම හැර වෙනත් විකල්පයක් රජුට නොතිබූ අතර අවසානයේදී සමස්ත මහනුවර රාජධානියේ අවනතියට එම පත් කිරීම හේතු කාරණාවක් බවට පත් වුණා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක කියවා ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

One response to “මහනුවර යුගයේ අප්‍රකට චරිත”

  1. Kamal says:

    මහා අස්ථාන කුමරු කුසුමාසන දේවියහේ හා සෙනරත් රජුගේ පුතා වේ. ඔහු සෙනරත් රජුගෙන් ලසු දෙවන රාජසිංහ ලෙස රජ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *