පිපිරෙන ස්මාට්ෆෝන් වලින් බේරෙන්න නම් මේ උපදෙස් මතක තියාගන්න!

මේක අහපු ගමන් ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙවෙයි වගේ නේද හිතෙන්නේ? ෆෝන් එකක් පුපුරනවා අපි දැකලවත් තියෙනවද? අනික ෆෝන් එක බෝම්බයක් වගේ පුපුරන්න බෑනේ. ඕන්නං අර මිෂන් ඉම්පොසිබල් එකේ “මිෂන් බ්‍රීෆ්” එකක් එන ෆෝන් එකක් වගේ ඕන නං දුම් දාලා පොහ් ගායි. එච්චරයිනේ? එහෙම හිතුවට ඇත්තටම එහෙම වෙන්නෙ නෑ. ඇත්තටම ෆෝන් එකක් පිපිරීමෙන් අපිට දරුණු ගණයේ තුවාල සිද්ධ වෙන්න පුළුවන්. මැරෙන්නත් පුළුවන්. මිනිස්සු මැරිලත් තියෙනවා. දැන් තේරෙනවනේ බරපතලකම? ආන්න ඒ නිසා තමයි ඕනම ෆෝන් එකක් පුපුරන්න පුළුවන් කියන අදහස ඇතුව පරිස්සම් වෙන එක වටින්නේ.

 

1. ඕනවට වඩා රත් වෙනවා වගේද?

ෆෝන් එක සාමාන්‍යයෙන් සෑහෙන්න පාවිච්චි කරනකොට රත් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මට්ටමට වඩා රත් වෙනවා නම් ඒක පොඩ්ඩක් බලන්න වෙනවා. විශේෂයෙන්ම අපේ වගේ උෂ්ණ දේශගුණයකුත් ඔය බැටරි ලෙවල් වලට වගේම, රත් වීමටත් බලපානවා. දැන් නවීනතම ස්මාට්ෆෝන් වල නම්, චාර්ජ් කරනකොට ඕනෑවට වඩා ෆෝන් එක රත් වෙනවා නම් චාර්ජ් වෙන එක ඔටෝමැටිකලි නවතිනවා. හැබැයි එහෙම නොවෙන ෆෝන් එකක් නම්, ඕනාවට වඩා රත් වෙනකොට පොඩ්ඩක් සැලකිලිමත් වීම ඇඟට ගුණයි.

 

2. මොකද්ද චාජරේ?

ගොඩක් එක්ස්පර්ට්ලා කියන කතාවක් තමයි මේක. ඒ කියන්නේ ඔරිජිනල් චාර්ජර් එකක් පාවිච්චි කරන්න කියන එක. ඇත්තටම දැන් එක එක ෆෝන් වලට හරියන්නේ විශේෂිත චාර්ජර් කියලා දෙයක් නෑ. ගොඩක් ෆෝන්ස් වල එන්නේ එක්කෝ මයික්‍රෝ USB පෝට් නැත්තං USB Type-C පෝට්. එතකොට දැන් අලුත් සමහර ෆෝන් වර්ග එක්ක චාර්ජර් එන්නෙත් නෑ. හැබැයි එහෙමයි කියලා හිතන්න බැරි තරම් අඩු ගාණට තියෙන චාර්ජර් අරගෙන ෆෝන් වලට පාවිච්චි කරන්න එපා කියලා තමයි කියන්නේ. එකක්, ඒවෑයින් කොහොමත් හරියට චාර්ජ් වෙන්නෙ නැති ගැටළු එන්න පුළුවන්. අනික, ෆෝන් පුපුරන සීන් එකටත් ඔය කොලිටි නැති චාර්ජර් වලින් දායකත්වයක් ලැබෙන්න පුළුවන්ලු. 

 

3. ඩෑෂ්බෝඩ් උඩ තියන්න එපා

ෆෝන් එකක් ඕනෑවට වඩා රත් වුණහම පුපුරන්න හැකියාවක් තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ. එතකොට දැන් සමහර අය කාර් එකේ යනකොට ෆෝන් එක තියාගෙන යන්නේ කොහේද? ඩෑෂ්බෝඩ් එක උඩ. විශේෂයෙන්ම අවුරුද්දේ වැඩි කාලයක් පිච්චෙන්න ඉර පායලා තියෙන, අව්ව තියෙන රටක, ඩෑෂ්බෝඩ් එක උඩ තියෙන ෆෝන් එක කොයි විදියට රත් වෙනවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ආන්න ඒ නිසා, ෆෝන් එකට ආදරයක් තියේ නං, ඩෑෂ්බෝඩ් එක උඩ ෆෝන් එක ඔහේ තියලා තියෙන පුරුද්ද මගහරවා ගන්න එක හොඳයි! 

 

4. ඩැමේජ් වුණොත් පරිස්සමෙන්

සාමාන්‍යයෙන් අපේ අතින් ෆෝන් එක කොයි තරම් බිම වැටෙනවද? ගොඩක් වෙලාවට එහෙම වැටෙන එකෙන් අපිට පේන විදියට වෙන ඩැමේජ් එක වෙන්නේ එක්කෝ ෆෝන් එකේ බඳ පළුදු වෙන එක නැතිනම් ස්ක්‍රීන් එක පළුදු වෙන එක, ඉරිතලන එක තමයි. හැබැයි ෆෝන් එකක් දිගින් දිගටම එහෙම වැටෙන එක, හානි සිද්ධ වෙන එක එක්ක ෆෝන් එකේ බැටරියත් ඩැමේජ් වෙන්න පුළුවන් නේද? එහෙම ඩැමේජ් වුණත් ෆෝන් එක දිගටම වැඩ් කරයි. හැබැයි ෆෝන් සම්බන්ධ එක්ස්පර්ට්ලා කියනවා මෙහෙම බැටරිය ඩැමේජ් වෙන එකෙන් වුණත් ෆෝන් එකක් පුපුරන සීන් එකක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වැටුණු ගමන් පුපුරනවා කියන එක නෙවෙයි. වැටිලා, බැටරියට හානි වෙලා තියෙද්දිත් පාවිච්චි කරනකොට එහෙම වෙන්න පුළුවන් කියලා.

 

5. දවස් ගණන් චාජරේ

ඇත්තටම නවීන ස්මාට්ෆෝන් වල අපි මුළු දවසම චාර්ජර් එකේ ෆෝන් එක ගහලා තිබුණත් අවුලක් වෙන්නේ නෑ. මොකද, නවීන ස්මාට්ෆෝන් වල තියෙන තාක්ෂණයත් එක්ක, ෆෝන් එක සම්පූර්ණයෙන් චාර්ජ් වුණාට පස්සේ කරන්ට් ෆ්ලෝ එක නවත්තන්න ෆෝන් එක දන්නවා. හැබැයි ඉතින් හැමෝම අතේ තියෙන්නේ නවීන ස්මාට්ෆෝන් නෙවෙයිනේ. අන්න ඒ නිසා, චාර්ජරේට ෆෝන් එක එක දිගටම ගහලා තියෙන එකෙන් ෆෝන් එකට ඩැමේජ් වෙන්න පුළුවන් විතරක් නෙවෙයි, ඕවර්හීට් වෙන්නත් පුළුවන්, ෂෝට් සර්කිට් වෙන්නත් පුළුවන්. 

 

6. තැන නොතැන නොබලා පාවිච්චි කරන්න එපා

මේක ඇත්තටම ෆෝන් එක පුපුරන එකටම අදාළ දෙයක් නෙවෙයි. වෙන වෙන දේවල් පුපුරන එකටත් අදාළ දෙයක්. ඒ කියන්නේ සමහරු ඉන්නවා ඔය පෙට්‍රල් ෂෙඩ් එකක් ගාවදී වුණත් පොම්පෙට හේත්තුව දාගෙන ෆෝන් වලින් එක එක වැඩ කරන. හැබැයි ෂෙඩ් එකේ ගහලම තියෙනවා ෆෝන් එහෙම පාවිච්චි කරන්න එපා කියලා. ඒත් එව්වා ගණන් ගන්නෙ නැති අයියලා ඕන තරං. එතකොට ෆෝන් එකක් විතරක් නෙවෙයි, මුළු ටැංකියම පුපුරන අවදානමක් වුණත් තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අන්න ඒ නිසා තැන නොතැන බලලා ෆෝන් එකක් පාවිච්චි කරන එක හොඳයි. කොහේ හරි ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා අවදානම් සලකුණක් ගහලා තියෙනවා නම්, ඒ කියන්නේ එතන ෆෝන් පාවිච්චි කරන්න එපා කියන එක තමා!

 

7. හැබැයි බය වෙන්නත් එපා!

දැන් මෙච්චර කතන්දර කියලා බය නොවී හිටියහම ෆෝන් එක පුපුරන්නෙ නැතුව තියෙයිද? නෑ එහෙම එකක් නෙවෙයි. ෆෝන් එක පුපුරනවා කියලා කේන්දරේ කියලා තියේ නං ආයෙ ලෑන්ඩ්ෆෝන් එක වුනත් පුපුරන්න ඇහැකිනේ. හැබැයි ඇත්තටම අපි කියන්න යන්නේ වෙනම කතාවක්. දැන් අර සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7 ෆෝන් එකේ නිෂ්පාදන දෝෂයක් නිසා එව්වා හිටු කියලා පුපුරනවා කියලා කතාවක් ගියානේ. ඒ නිසා කොම්පැණියට සිද්ධ වුණා ඒ ගැලැක්සි නෝට් 7 ෆෝන්ස් ආයෙමත් කැඳවන්න. හැබැයි ඇත්තටම එහෙම පුපුරපු ප්‍රමාණය 90 ක් 100 ක් වගේ ලු. ඒ කියන්නේ සමස්ත නිෂ්පාදිත නෝට් 7 මිලියන 2.5 න් 0.004% කටත් වඩා අඩු ප්‍රමාණයක්. අනික ඒක විශේෂයෙන්ම සිද්ධ වුණු නිෂ්පාදන දෝෂයක්. එහෙම එව්වා හැමදාමත් වෙන්නෙ නෑනේ. එහෙම බලනකොට අපේ අතේ තියෙන ෆෝන් එක පුපුරන්න තියෙන්නේ බොහොම අඩු සම්භාවිතාවක්!

 

හැබැයි, සූදානම් සරීරේ කෝකටත් හොඳයි!

 

බැරි වෙලාවත් වෙන කෙල්ලෙක්ට යවපු මැසේජ් එකක් ෆෝන් එකේ තිබිලා හාමිනේට අහුවෙලා, ෆෝන් එක අපේ මූණෙ වැදිලා පුපුරන්නත් පුළුවන් නේද? ඔව්, වෙන්න පුළුවන්. හැබැයි උඩ කියපු ටිප්ස් වලින් නම් ඒ වගේ අනතුරකින් බේරෙන්න බැරි වෙයි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *