කෙනෙක්ව සෙක්ස් කරන්න පොළඹවා ගැනීම වෙනුවෙන් කවදාවත් නොකිව යුතු කාරණා මේවා තමයි!

සෙක්ස් කරන්න අපි හැමෝම ආසයිනේ. ඒක ඉතින් අස්වාභාවික, නරක දෙයක් නෙවෙයි. ඕන නම් කෙනෙක්ට තනියෙන් වැඩක් කරගන්න පුළුවන්. එහෙම නැතිනම් තව මනුස්සයෙක් එක්ක සෙක්ස් කරන්නත් පුළුවන්. හැබැයි ඔය තව කෙනෙක් එක්ක සෙක්ස් කරනවා කියන එක ඒ තරම්ම සරල දෙයක් නෙවෙයි. ඇයි? ඒකට දෙන්නෙක්ගේ කැමැත්ත ඕනනේ. බැඳපු දෙන්නෙක්ට හරි ආදර සම්බන්ධතාවයක ඉන්න දෙන්නෙක්ට හරි ඒක සාපේක්ෂව ලේසියි. එහෙම නැතිනම් ඉතින් ඒකට කෙනෙක් එක්ක සම්බන්ධතාවයකට යන්න ටිකක් මහන්සි වෙන්න ඕන. ඒ කියන්නේ ඔය ලිංගික සේවා සපයන කෙනෙක්ගෙන් මුදලට පහස ලබාගැනීම කියන එක අමතක කළොත්.

හරි, ඔතනට එනකල් ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් සමහරු ඉන්නවා, තමන්ට සෙක්ස් කරන්න තියෙන වුවමනාව නිසා තව මිනිස්සුන්ව රවට්ටන. අපි සුලභව සිද්ධ වෙන දේ ගමු. සමහර කොල්ලෝ ඉන්නවා, කෙල්ලෙක්ව ඇඳට ගෙනියන්න තියෙන වුවමනාවට දහසක් ජාති කියනවා. මෙන්න මේ කියන දේවල් වලින් කිසිසේත්ම නොකළ යුතු, නොකිව යුතු දේවලුත් තියෙනවා. මොකද, ඒ වගේ දේකින් ගෑණු ළමයෙක්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන් දේවල්. අන්න ඒ නිසා අපි හිතුවා එහෙම කොල්ලෙක් නොකිව යුතු දේවල් ලැයිස්තුවක් හදන්න.

 

1. මං ඔයාව බඳිනවා!

මේ හේතුව අංක එකට ගන්නත් ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි, මේක ගොඩක් දෙනෙක් පාවිවිචි කරන සුලභ ට්‍රික් එකක් වීම. විශේෂයෙන්ම ආසියාතික කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයක් විවාහ වෙන්න කලින් සෙක්ස් කරන්න එච්චර කැමති නැහැනේ. හැබැයි බඳිනවා නං ඕන දෙයක් හා. ආන්න ඒක තමයි මේ ජාතියේ උන්දැලා ප්‍රයෝජනේට ගන්නේ. ඉතින් අඟවනවා තමන් කෙලින්ම කසාදේ හිතේ තියාගෙන තමයි ආශ්‍රය කරන්නේ කියලා. සමහරු ගෙවල් වලට ඇවිත් වැඩිහිටියෝ එක්කත් කතා කරනවා. ඊට පස්සේ ඉතින් ඔන්න දෙන්නා නිදහසේ පෙම් සුව විඳිනවා. ටික කාලයක් සෙක්ස් කළාට පස්සේ ඕන්න මේකා කියනවා මගේ හදවතේ හිලක් නංගි, ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බුවෙයි කියලා. ඊට පස්සේ ෆෝන් වැඩකරන්නෙත් නෑ!!

 

2. ඔයා රැඩිකල්, නිදහස් කාන්තාවක් වෙන්න ඒයි!

මේක ගොඩක් ඔය රැඩිකල් සීන් එකේ ඉන්න අයියලා පාවිච්චි කරන කතන්දරයක්. දැන් අපි හැමෝම කැමතියිනේ අනික් අයට වඩා වෙනස් වෙන්න, කැපී පේන්න එහෙම. ඒකේ ගැටළුවක් නෑ. එතකොට කවුරුහරි කාන්තාවක් ඇත්තටම තමන් ලිංගිකත්වය ගැන නිදහස් මතවාදයක් දරණ නිසා ගිහින් තමන් කැමති කෙනෙක් එක්ක සෙක්ස් කළත් කිසි ගැටළුවක් නෑ. හැබැයි ඉතින් කවුරුහරි ඔය සමාජෙට වැටුණු අලුත නංගියෙක්ට “ඔයා රැඩිකල් වෙන්න නංකි, නිදහස් වෙන්න නංකි” කියලා තෙල් ගහලා, “ඔයා මාත් එක්ක යහන්ගත වෙලා බලන්න වෙනස” කියලත් කියනවා. කෙල්ලෙක්ව ඇඳට ගෙනියන්න කියන එව්වා හෙන ගොන් කතා මචං!

 

3. අපෝ ඔයා ෆෝවර්ඩ් නෑනේ!

ඔන්න කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක යාලු වෙනවා. කෙල්ල පොඩ්ඩක් සාම්ප්‍රදාය ගරු කරනවා. ඒ කියන්නේ ඔය පොඩි මොනවා හරි කළත්, හරියට සෙක්ස් කරන්න නම් කසාදයක්වත් බඳිනකල් ඉන්න ඕන කියලා හිතන්නේ. හැබැයි කොල්ලට එහෙම බෑ. සමහර විට ඌ කසාදේ ගැන හිතලවත් නෑ. ඉතින් ඌ හිතනවා මේ කෙල්ල හෙනම පසුගාමී තැනකනේ ඉන්නෙ මේ මොඩර්න් වර්ල්ඩ් එකේ කියලා. ඒ නිසා ඉතින් ඌ හැම වෙලේම අර කෙල්ලගේ මතේට ගරහනවා. “ඔයා මේ අලුත් ලෝකෙට පොඩ්ඩක්වත් ෆෝවර්ඩ් නෑනේ, ඔහොම බෑ, පොඩ්ඩක් සෙක්ස් කරලා, ජීවිතේ එන්ජෝයි කරන්න ඕන” කියලා කියනවා. ඕක ගොං කතාවක් විතරක් නෙවෙයි, කෙනෙක්ගේ ආත්ම විශ්වාසය විනාස කරන්න පුළුවන් බලු කතාවක්. අන්න ඒක මතක තියාගන්න!

 

4. ඔයා මට ආදරෙයි නං මාත් එක්ක මෙහෙම කරන්න!

නංගිලා, කවුරුහරි මනුස්සයෙක් තමන් එක්ක ලව් කරන්න ඇවිත්, සෙක්ස් කරන්න ඒ තරම් කැමැත්තක් නැතුව ඉන්න කෙල්ලෙක්ට “ඔයා මට ඇත්තටම ආදරෙයි නං මාත් එක්ක සෙක්ස් කරන්න” කියලා කියනවා නං, කරුණාකරලා ඌට සෙරෙප්පුවෙන් දෙකක් දීලා එතනින් පැනලා දුවන්න! අවාසනාව කියන්නේ, ගොඩක් වෙලාවට ඔය ආදරේ නං කාඩ් එකට ගොඩක් කෙල්ලෝ නැවෙනවා. හැබැයි ඉතින් එහෙම කියන එකෙක් වෙන කරන්නම දෙයක් නැතිනං ඇරෙන්න ආදරේ හින්දා කෙල්ලෙක්ව කසාද බඳින එක වෙන දෙයක් නෙවෙයි. ඔහොම කතන්දර කියන එකෙක් ගාව ආදරයක් තියෙන්න විදියක් නෑ.

 

5. ඔයා වගේ කෙනෙක් එක්ක මං ඇරෙන්න වෙන කවුද එන්නේ?

මෙන්න මනුස්සයෙක්ව මානසිකව ඇදවට්ටවන්න පුළුවන් තවත් බලු කතාවක්. මේක එක එක විදියට වෙන්න පුළුවන්. මේකට විශේෂයෙන්ම අහුවෙන්නේ ඔය අඩු ආත්ම සම්මානයක් තියෙන අය තමයි. එහෙම කෙනෙක්ට කෙනෙක් එක්ක එක පාරටම සෙක්ස් කරන්න වුවමනාවක් නොතිබ්බත්, “ඔයා කවුද මං කවුද, ඔයා වගේ කෙනෙක් එක්ක මං ඇරෙන්න වෙන කවුද එන්නේ” වගේ කතාවක් කිව්වහම, මුලින්ම මානසිකව ඇද වැටීමත්, ඊට පස්සේ අර කෙනාගේ කැමැත්තට එකඟ වීමත් වෙන්න පුළුවන් දෙයක්. හැබැයි මේ වගේ දේකින් සිද්ධ වෙන මානසික හානිය දීර්ඝ කාලීනයි. 

 

6. මං ජීවිතේ නැති කරගන්නවා!

සමහර අයියලා සෙක්ස් කරන්න කෙනෙක්ව පොළඹවා ගන්න මේ කාඩ් එකත් ප්ලේ කරනවා කියහන්කෝ! ඉස්සර කොහොමත් ඔය ආදරේ දිනාගන්න “මං මැරෙනවා” කාඩ් එක සමහරු ඕන තරම් ප්ලේ කරලා තියෙනවනේ. මෙතනදී ඕක “මට ජීවිතේ තිත්ත වෙලා” වගේ ලයින් එකකින් තමයි එන්නේ. ගොඩක් වෙලාවට විවාහක ඩයල්ස්, තමන්ගේ විවාහ ජීවිතේ ෆුල් අබ්ලික්, ලාන්තරස් කියලා පෙන්නලා තමයි ඕකට එන්ටර් වෙන්නෙත්. ඉතින් සමහර උපාසිකා ගුණ තියෙන ඇත්තෝ මහා පුණ්‍යකර්මයක් කරනවා කියන අදහසින් යුතුව ඔහොම අයියෙක් එක්ක සෙක්ස් කරන්න යනවා. ආයෙ ජීවිතයක් ගලවා ගැනීමක්නේ, සෙල්ලං නෑ! හැබැයි ඉතින් ඔය වගේ කතන්දරත් හෙන ගොං. එච්චරයි කියන්න තියෙන්නේ!

 

7. එයාගෙන් පළිගන්න තියෙන හොඳම ක්‍රමේ මේක තමා!

දැං ඔය ලව් එකක් කැඩිලා ෆුල් අප්සෙට් එකේ ඉන්න නංගියෙක් ගාවට ලං වෙන අයියෙක්, දුක අහලා, දුකට හේතුව, දුක නැති කිරීම ගැන එහෙම දේශනා කරලා නංගියාගේ හිතේ ඇතිවුණු හිදැසට ගාණට සෙට් වෙනවනේ. එහෙම එව්වා වෙනවා. ඒවලට දොසක් කියන්නත් බෑ, දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් හානියක් වෙන්නෙත් නැතිනම්. හැබැයි දැන් අර දාලා ගියපු එකා එක්ක තියෙන තරහා, තමන්ගේ සෙක්ස් වුවමනාව පිරිමහගන්න ක්‍රමයක් බවට පත් කරගන්න සමහරුත් ඉන්නවා. ඔන්න ගහනවා තෙල, “අරූට පේන්නම ඔයා මාත් එක්ක හොඳට ජීවිතේ එන්ජෝයි කරලා, ෆුල් ෆන් එකක් අරං ඉන්න” කියලා. නරක දේ කියන්නේ ඒ වගේ වචන පිළිගන්න අයත් ඉන්නවා.

ඇත්තටම දෙන්නෙක්ගේ කැමැත්තෙන්, බොරු කියන්නෙ නැතුව, රවට්ටන්නෙ නැතුව කරන සෙක්ස් වල වැරැද්දක් අපිට කියන්න බෑ. හැබැයි ඉතින් ඒක සම්පූර්ණ කැමැත්තක් නෙවෙයි නේද? නොමඟ යැවීමක් නේද?

 

එහෙනම් අපි ආස කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ඒ කෙනාව කැමති කරගන්නෙ කොහොමද? සරලයි. මනුස්සයෙක් විදියට අවංකව කිට්ටු වෙන්න. තමන්ගේ ඇත්ත අදහස් අවංකව කියන්න. ඒ කෙනාත් එක්ක ආස සෙක්ස් කරන්න නම් ඒක කියන්න. එයා ඒකට අකමැති නම් ජෙන්ට්ල්මන් කෙනෙක් වගේ ඒක පිළිඅරගෙන ඉවත් වෙන්න. එච්චරයි. කෙල්ලෙක් එක්ක හෝ කොල්ලෙක් එක්ක සෙක්ස් කරන තැනට යන එකත් වෙනම ආට් එකක්. අඩු තරමින් අන්න ඒ ආට් එක ඉගෙන ගන්න. ඒකෙන් සෙක්ස් කියන දේ ඇත්තටම රස විඳින්න පුළුවන් දෙයක් බවට පත් වෙයි.