කෑම බීම නිසා පරිසරය දූෂණය වෙන්න පුළුවන්ද?

පහුගිය දවස් වල සිරස ලක්ෂපති හරහා සිංහරාජ වනය එළි වීම ලොකු මාතෘකාවක් වුණා. ඒ එක්ක විවිධ දේශපාලන මතිමතාන්තරත් සමාජ ජාලා වල එහෙ මෙහෙ විසික් වුණා. එයින් එකක දෙකක කියන විදිහට හරියට පරිසරයට ආදරය කරනවා නම් අපිට මේස, පුටු, ඇඳන් ආදී ලී බඩුත් පාවිච්චි කරන්නට බැහැ. ඒක ටිකක් අන්තගාමී වුණත් එහි ඇත්තක් තියෙනවා. අපේ පරිභෝජනය වැඩි වෙන්න, වැඩි වෙන්න අපි පෘථිවියේ පරිසරයෙන් ඇදලා ගන්න දේවල් වැඩියි. කෑම ගැන සැලකීමෙදිත් ඒක එහෙමමයි. අපි ඒ ගැන ටිකක් බලමු.

 

 

1. ගෙදරින් කනවද? කඩෙන් කනවද?

අපි හිතමු අපේ ඔෆිස් එකේ, ක්ලාස් එකේ ඉන්න හැමෝම කැරට් පන්සීයක් ගාණේ ගෙදර අරන් ගියා කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට මුලින්ම කරන්නේ කට්ටිය ඒක ෆ්‍රිජ් එකේ දානවා. කැරට් වලට ආසා කෙනෙක් ඉන්නවා නම් කැරට් ටික දවසින් දෙකෙන් ඉවර වෙයි. නැති කෙනෙක් ඉන්නවා නම් කැරට් ටික දවස් ගාණක් ෆ්‍රිජ් එකේ කොන් වෙලා තිබිලා විසික් කරයි. ඒ වගේ අපි වෙන වෙනම උයාගෙන කද්දි සිද්ද වෙන නාස්තිය වැඩියි. අපි ඒ සඳහා වැයකරන බලශක්තිය වැඩියි. වෙන වෙනම හැම ගෙදරම තියෙන ශීතකරණය කූල් කරන්න අපිට කරන්ට් එක වැය වෙනවා. ඒ වගේම වෙන වෙනම හට්ටි මුට්ටි වල දාගෙන උයන්නත් අපි විශාල බලශක්තියක් ගන්නවා. ඉතින් පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට ආහාර සහ බලශක්තිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න පුළුවන් තොග වශයෙන් ආහාර පිළියෙල කරනකොට. ඒ නිසා කඩෙන් කෑවා කියලා සෞඛ්‍ය අතින් යම් යම් අඩුපාඩු තිබුණත් එය පරිසරයට නම් හොඳ දෙයක්. 

 

 2. පළතුරු අහල පහළින් හෝ වවාගෙන කමු 

අපේ වත්තේ තියෙන පළතුරු ගස්වල ගෙඩි වවුල්ලු, ලේන්නු කාල ඉතිරි වුණොත් අපිත් කනවා. එහෙම වත්තේ හැදෙන අඹ, දෙළුම්, ගස්ලබු ගෙඩියක් හරි ගෙවල් ලඟ කොටුවකින් වවලා විකුණන පළතුරු හරි ගන්නවා නම් එතනදිත් පළතුරු ලබාගන්න ලොකු දුරක් යන්න වෙන්නේ නැහැ. එහෙම නැතිව අපි ඈත දේශ දීපංකරේ ඉඳලා එන රට ඇපල්, මිදි, දොඩම් වගේ ඒවට පෙම් කරනවානම් ඒවා ගුවනින් හෝ නැවෙන් ඇවිත්, අපේ රටේ ශීත ගබඩාවල තිබිලා, ඒවා අපේ අතට එන්නේ පරිසරයට අහිතකර ක්‍රියාවලියක් හරහායි. 

 

3. කාලෙට හැදෙන ගඩා ගෙඩි කමු 

ඉස්සර අපේ ගම් වල අඹ වාරයට කොල්ලෝ අඹ කනවා. කජු වාරෙට කජු. ඒ වගේමයි එළවළුත්. එක කාලෙකට වැවේ වතුර හිඳිලා ගියාම මිනිස්සු නෙළුම් අල හාරගෙන කනවා. තව කලෙකට වැවේ උඩහ සරුවට හැදෙන පළා කොළ කඩාගෙන කනවා. ඒ විදිහට කාලෙන් කාලයට අධිකව අස්වනු හැදෙන බෝග තියෙනවා. වගා කරද්දි වුණත් කොපමණ රටින් ඇට ගෙනල්ලා හිටෙව්වත් එක කාලෙකට ගස්ලබු, දූරියන්, රඹුටන් වගේ පළතුරු නොසෑහෙන්න අපිට හමු වෙනවා. ඒ විදිහට ඒ කාලයට අදාළ ආහාර ගන්න එක පරිසරය පැත්තෙන් හොඳයි.  ඒ වගේම මේ කාලෙන් කාලෙට හැදෙන පළතුරු වැඩි වැඩියෙන් කෑවා කියලා ශරීරයට වැඩිපුර සීනි ආදිය එකතු වෙන්නෙ නැතිවෙන්න අපේ සිරුර සැකසී තිබෙන බවත් සොයාගෙන තියෙනවා. 

 

4. මස් මාළු සහ සැකසූ මස් 

මස් කෑම කියන්නේ අපේ රටේ සෑහෙන අඩු දෙයක්. මාළු නම් වැඩිපුර තියෙන නිසා අපිට වැඩිපුර කැවෙනවා. මේ මස් හදන්න සතුන් ඇතිකරන්නට ඕනි. ධාන්‍ය වර්ග සතුන්ට කවලා සතුන් මගින් අපේ ආහර වේල නිපදවාගැනීම පරිසර හානියට අත වනන ක්‍රියාවලියක්. අපි නවසීලන්තයේ සාරවත් තණබිම් නිල් පාටට, කොළ පාටට දැක්කට ඒ සාරවත් තණබිම් වලට එකතු කරන රසායනික දේවල් නිසා නවසීලන්තයෙත් වතුර වලට විස එකතු වෙලා… වතුර කොළ පාට වෙලා. ඒ නිසා අපි මස් මාංශ ආහාරයට ගැනීම අඩු කරලා අපේ පුරුදු එළවළු, පළතුරු සහ ධාන්‍ය සපිරි ආහාර වේලට යොමුවන එක පරිසර හිතකාමී ප්‍රවේශයක්. 

 

5. අසුරන සහ බෑග්ස් 

පරිසර හිතකාමී බව ගැන දැන් සුපිරි වෙළඳ සැල් කතා කළාට අපි බටු ගෙඩියක් ගත්තත් ඒකටත් වෙනම පාර්සලයක් දෙන්න පුරුදු කළේ සුපර් මාර්කට් සංස්කෘතියම තමයි. මේ පොලිතින් හෝ කඩදාසි හෝ කුමන හෝ අසුරනයක් කියන්නේ අපි ආහාරයට ගන්න දෙයක් නෙමෙයි.  ආවරණ බොහෝ විට දිරන්නෙත් නැති තරම්. ඉස්සර පොළේ ගියාම අපි එකම මල්ලට හැම දේම දාගෙන පොල්තෙල් ගේන්න එහෙම ගෙදරින් බෝතලයකුත් අරගෙන ගියා. අපි අද වාහනයෙන්ම සුපිරි වෙළඳ සැලට යනවා නම් බෑග් කාරුණිකව ප්‍රතික්ෂේප කරලා අපේ බඩු ටික අමාරුවෙන් හරි ගෙදරින් ගෙනියන රෙදි මල්ලකට දාලා ගන්න එකෙනුත් පරිසරයකට සතියකට එකතු වෙන පොලිතින් මලු දහයක් පහළොවක් වත් අඩු කරගන්න අපිට පුළුවන් වෙනවා. 

 

6. ආහාර නාස්තිය අඩු කරමු 

අපි අපේ බඩේ ගාණට බෙදාගන්න හදාගන්න දන්නවද? උත්සව අවස්ථාවක කෑම මේසයක් අස් කරන්න ලැබුණොත් බෙදාගෙන බාගෙට කාලා ඉවත ලන කෑම කිලෝ ගාණක් අපිට හමු වෙනවා. පුරුද්දක් විදිහට මේ ආහාර නාස්තිය පරිසරයට නරක දෙයක්. එය කසල විදිහට දිරනවා ඇති. නමුත් ඒ ආහාර නිෂ්පාදනය කරන්නත් අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ පස ආදිය වැය වෙලා ඉවරයි. ඒ වගේම ආහාර එළවළු, පළතුරු ආදිය කොරටුවේ සිට අපේ ගෙදරට ඇවිත් අපේ බඩට යන්න කලින් අවස්ථා ගණනාවකදී නාස්ති වෙනවා. මේ නාස්ති වීම මගිනුත් අපි පොළවට වද දීලා, පෘථිවියට වද දීලා, රසායනික ගහලා ඒ වැයකරන කාබන් ප්‍රමාණය අපතේ යනවා. 

 

7. වස විස නැති එළවළු පරිසර හිතකාමීද? 

දෙවන ලෝක යුද්ධයට කලින් මිනිස්සු හිතාගෙන හිටියේ වගා කරන්න බොහොම ඉඩකඩ තියෙන ලොකු රටවල් තමයි ලෝකයේ දියුණු වෙන්නේ කියලා. ඒත් පසුකාලීනව වගාවට තාක්ෂණය එකතු වුණා… විවිධ රසායනික පොහොර සහ කෘෂි රසායන ආවා. නවීන බීජ වර්ග ආවා. ඒවා මගින් අඩු ඉඩකින්, අඩු කාලයකින් වගා කරන්න පුළුවන් වුණා. අපි සරලව හිතුවොත් ඒ කාලේ තිබුණ මා වී, හීනට වී ආදී පැරණි වී වර්ග මාස හයක් පුරා කුඹුරේ තියෙන්නට ඕනා. ඒ කාලය පුරාවට වතුර සහ පොහොර සාරය ඒ වී වලින් ලබාගන්නවා. ඒත් නවීන වී ආවට පස්සේ දැන් මාස තුන හමාරෙන් අස්වනු ගන්නට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් කිසිම කෘත්‍රිම දෙයක් යොදන්නේ නැතිව වගා කරන්න ගොවියන් දිරිමත් කරනවා කියන්නේ ගොවියන් විසින් වැඩිපුර භූමිය, වැඩිපුර සම්පත් නාස්ති කරන්න අපි එයාලව දිරිමත් කිරීමම තමයි. ඉතින් දැඩි ලෙසම වස විස ඇති සහ නැති ලෙස වෙන් කරගැනීමත් පරිසරයට ඒ තරම්ම හිතකාමී අදහසක් නෙමෙයි. 

 

පරිසරය කියන්නේ කැලේ විතරක් නෙමෙයි. ඒත් කැලය කියන්නේ විශේෂිත පරිසර පද්ධතියක්. ඒක රැකගැනීමත් වැදගත්. ඒ වගේම අපි චීනයේ බෙයිජින්, ඉන්දියාවේ දිල්ලි වගේ නගර අද මූණ පාලා තියෙන තියෙන තත්ත්වය ගැනත් හිතන්නට ඕනි. පරිසරය ගැන නොහිතා දැඩි ලෙස වායු දූෂණය කළ නිසා ඒ නගරවල නගර වැසියන්ට දැන් කොරෝනා නැති කාලෙත් මාස්ක් දාගෙන ඉන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ පරිසර විනාශයේ අතුරු ඵල අපි කරා ළඟා වෙන්න කලින් පුළුල්ව පරිසරය ගැන හිතලා අපේ කෑමෙන් බීමෙන් පවා පරිසර හිතකාමී වෙන්නට ඕනි. එතකොට අපිට අනාගතයේ එන පරිසර ව්‍යසනය හමුවේ අපි පුද්ගලිකව හරි පරිසරය වෙනුවෙන් කැපවුනා කියලා හිත හදාගන්නට පුළුවන්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *