අමුවෙන් කන්න බොන්න පුළුවන් එළවළු වලින් රෙසිපි 7ක්

උයලා කනවා වගේම එළවළු අමුවෙනුත් කන්න පුළුවන් කියලා දන්නවද? එළවළුවක නිසි ගුණය ලැබෙන්නෙ ගොඩක් පිසගන්නෙ නැතුව කනකොටයි. මේ විදියට හැම එළවළුවක්ම කන්න බැරි උනත් පුළුවන් ටිකක් තියනවා. අපි අද කියන්න යන්නෙ අමුවෙන් රසට හදාගන්න පුළුවන් ඒ වගේ එළවළු වර්ග කිහිපයක් ගැනයි

 

1. දඹල සම්බෝලය 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලපටි දඹල කරල් 8 ක්
  2. ගා ගත් පොල් ටිකක් 
  3. රතුළූණු ගෙඩි 2 
  4. අමුමිරිස් කරල් 2
  5. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  6. ලුණු කුඩු ස්වල්පයක් 
  7. දෙහි යුෂ

 

  • දඹල කරල් අරන් එය හීනියට කපා ගන්න. ඒක වෙනම බෝල් එකකට දා ගන්න. 
  • රතුළූණු හා අමුමිරිස් කරල් ද හීනියට කපා ගෙන ලුණු සහ ගම්මිරිස් එක්ක පොල් වලට දාල අනාගන්න.
  • මේ මිශ්‍රණය කලින් දඹල දා ගත් බෝල් එකටම දමා හොඳින් කලවම් කරන්න. අන්තිමට දෙහි යුෂ එයට එක් කර කලවම් කර ගන්න. 

 

2. පිපිඤ්ඤා මොහිටෝ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඇට පොතු ඉවත් කරගත් පිපිඤ්ඤා ගෙඩියකින් 1/4ක් 
  2. දෙහි ගෙඩියක යුෂ
  3. මිංචි කොළ හතරක් පහක්
  4. මී පැණි මේස හැන්දක්
  5. සීනි තේ හැඳි 2
  6. සෝඩා අවශ්‍ය තරම්
  7. අයිස් කැට

 

  • දෙහි, පිපිඤ්ඤා, සීනි, මිංචි කොළ සහ මී පැණි එකට බ්ලෙන්ඩ් කරගන්න. ස්මූත් පේස්ට් එකක් වෙනකම් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. 
  • උස ග්ලාස් එකකට අයිස් කැට දාලා ඒකට හදාගත්ත පිපිඤ්ඤා මිශ්‍රණය දාගන්න. ග්ලාස් එක පිරෙනකම් සෝඩා දාගෙන උඩින් මිංචි කොළ, දෙහි පෙති හා පිපිඤ්ඤා පෙති එකතු කරල සරසගන්න. 

 

3. කැකිරි ජූස් 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඉදුණු කැකිරි ගෙඩියක් 
  2. සීනි මේස හැඳි 1
  3. ලුණු කුඩු ස්වල්පයක් 
  4. වතුර කෝප්ප 1/2

 

  • කැකිරි ගෙඩිය ගෙන එහි පොතු ඉවත් කර ගන්න. එය දික් අතට කපා ගෙන එහි ඇති ඇට ඉවත් කර ගන්න. (කැකිරි ඇට ඉවත් කර ගන්නේ ඒවාත් සමග කැකිරි ජූස් එක තිත්ත වෙන්න පුළුවන් නිසා)
  • දැන් කැකිරි ටික බ්ලෙන්ඩර් එකට දාන්න. එයට සීනි හා වතුර එක් කරගෙන බ්ලෙන්ඩ් කරගන්න. 

 

4. කැරට් සලාද

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට් කරගත් කැරට් අල 1
  2. රතුළූණු ගෙඩි 3 
  3. අමුමිරිස් කරල් 1
  4. සිහින්ව කපාගත් තක්කාලි ගෙඩියක්
  5. සිහින්ව කපාගත් සලාද කොළයක්

 

සැලඩ් ඩ්‍රසින් එකට 

 

  1. ගම්මිරිස් කුඩු 
  2. ලුණු කුඩු 
  3. දෙහි යුෂ 
  4. ඔලිව් තෙල් තේ හැන්දක්
  5. සීනි තේ හැන්දක්

 

  • රතුළූණු ගෙඩි හා අමුමිරිස් සිහින්ව කපා ගන්න. රතුළූණු, අමුමිරිස්, සලාද කොළ හා තක්කාලි ටික කැරට් එක්ක වෙනම බෝල් එකකට දාලා කලවම් කරගන්න. 
  • ඩ්‍රසින් එක හදාගන්න ගම්මිරිස්කුඩු, ලුණු කුඩු, ඔලිව් තෙල්, සීනි සහ දෙහි වෙනම බෝල් එකක ගෑරප්පුවකින් ගසාගන්න.  
  • පිළිගන්වන්න කලින් හදාගත්ත ඩ්‍රසින් එක කැරට් මිශ්‍රණයට දාල කලවම් කරගන්න. හැමදාම කන කැරට් සලාදයට වඩා වෙනස්ම රසයක් ගෙනේවි.

 

5. කොහිල අල සම්බෝලය 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොහිල අල 1
  2. කැරට් අල 1 
  3. කරපිංචා ස්වල්පයක් 
  4. රතුලුණු ගෙඩි 2
  5. අමුමිරිස් කරල් 2 
  6. ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  7. ගාගත්ත පොල් ටිකක්
  8. ලුණු කුඩු ස්වල්පයක් 
  9. දෙහි යුෂ 

 

  • කොහිල අල ටික සිහින්ව කපලා අයිස් වතුරට දාල එක පාරක් සෝදල අරගන්න. කැරට්, කරපිංචා, රතුළූණු, අමුමිරිස් සිහින්ව කපා ගන්න. ඒකට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, පොල් එක් කරන්න. 
  • අයිස් වතුරෙන් සෝදල, වතුර මිරිකගත්ත කොහිල අල ටිකත් ඒකටම දාගෙන දෙහි යුෂ ටිකක් දලා හොඳින් කලවම් කරන්න. 

 

6. ගෝවා රයිතා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හීනියට කපාගත් ගෝවා කෝප්ප 1/2
  2. හීනියට කපාගත් ළූණු ගෙඩි 2
  3. අමුමිරිස් කරල් 1
  4. ලුණු කුඩු ස්වල්පයක් 
  5. මීකිරි මේස හැඳි 4ක්

 

  • හීනීයට කපා ගත් ගෝවා වලට අමුමිරිස් දාලා ළූණු, ලුණු හා මීකිරි දමා හොඳින් කලවම් කරන්න.  
  • ෆ්‍රිජ් එකේ පොඩි වේලාවක් තියලා පිළිගන්වන්න. 

 

7. රාබු කොළ සලාද

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ‍රාබු දළු කිහිපයක් 
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් තක්කාලි ගෙඩි 1/2
  4. ලුණු කුඩු ස්වල්පයක් 
  5. ගම්මිරිස්කුඩු තේ හැඳි 1 
  6. දෙහි බෑයක යුෂ

 

  • රාබු දළු හීනියට කපා ගන්න. එයට චොප් කර ගත් ළූණු හා තක්කාලි එක් කරන්න. ඊළඟට ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු එක් කර දෙහි යුෂ ටිකක් දලා හොඳින් කලවම් කරන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *