පුරාණ ඉන්දියාවේ මහා ඍෂිවරු

පුරාණ ඉන්දියාවේ හින්දු සභ්‍යත්වය තුළ  මිනිසෙකුට මෙලොවදී පත්විය හැකි ඉහළම තත්ත්වය ඍෂි තත්ත්වය යැයි පිළිගැනීමක් තිබ්බා. මිනිසුන් ලෙස ඉපදී වසර ගණනාවක් තිස්සේ (ඇතැම් තැන්වල සඳහන් වන විදිහට වසර දහස් ගණනක්) උග්‍ර තපස් කිරීමෙන් අනතුරුව දෙවියන්ගේ ප්‍රසාදය ලබා ඍෂි භාවය ලබා ගන්නා බව කියවෙනවා. අපි අද කතා කරන්න යන්නේ හින්දු සාහිත්‍යය තුළ සඳහන් වෙන සෘෂිවරු කීපදෙනෙක් ගැන.

 

1. වාල්මිකී 

හින්දු භක්තිකයන්ගේ පූජනීයත්වයට පත්වුණු රාමායණය මහා වීර කාව්‍ය ලියූ ඍෂිවරයා ලෙස සැලකෙන්නේ වාල්මිකීයි. පුරාකතා වලට අනුව බ්‍රාහ්මණ ගෝත්‍රයක උපන් මෙතුමා නාරද සෘෂිවරයා සමඟ ඇතිවුණු කතාබහකින් පසුව උග්‍ර තපසක යෙදීමට තීරණය කළා.එහිදී ඔහු තපස් රැකීමට කෙතරම් යොමු වුණාද කියතොත් ඔහුගේ ශරීරය වටා වේයන් තුඹසක් පවා බැන්දා. වේ තුඹස යන අර්ථය ලබාදෙන වාල්මිකී යන නම ඔහුට ලැබුණේ මේ ආකාරයට බව කියවෙනවා.

 

2. ව්‍යාස

පස්වන වේදය ලෙස හින්දු බැතිමතුන් අතර සම්භාවනාවට ලක් වන මහා භාරතය ලියූ ශ්‍රේෂ්ඨතම ඍෂිවරයා ලෙස සැලකෙන්නේ ව්‍යාසයි. ඇතැම් පුරා කතා වලට අනුව ව්‍යාස ඍෂිවරයා විෂ්ණු දෙවියන්ගේම කොටසක් බව සඳහන් වෙනවා. ඊට අනුව ද්වාපර යුගයේදී සත්‍යවතී නම් ධීවර ගමක ප්‍රධානියෙකුගේ දියණියකට සහ පරාශර ඍෂිවරයාට දාව මෙතුමා උපත ලබා තිබෙනවා. ඇතැම් මූලාශ්‍රවලට අනුව මෙතුමාගේ සැබෑ නාමය ක්‍රිෂ්ණ ද්වීපරායනයි. ඊට හේතුව ලෙස සඳහන් වන්නේ මෙතුමාගේ සිරුරේ කළු පැහැයයි.

 

3. නාරද

හින්දු දේව සාහිත්‍යය තුළ අතිශය ජනප්‍රිය තැනක් හිමිකරගන්නා මෙම ඍෂිවරයා සංචාරක සංගීතඥයෙකු සහ කතා කියන්නෙකු ලෙසට නිරූපණය වී තිබෙනවා. මහා බ්‍රහ්මයාගේ මනසේ නිර්මාණයක් ලෙස සඳහන් වන මෙතුමා දිව්‍ය ලෝක සහ මනුෂ්‍ය ලෝක අතර ප්‍රවෘත්ති සහ ප්‍රඥාව රැගෙන යාම සිදු කරනවා. ඇතැම් තැන්වල සෘෂිවරුන් අතර රජු යන අර්ථය ලබාදෙන ඍෂිරාජ් යන අභිධානය ද මෙතුමා සඳහා භාවිතා වෙනවා.

 

4. දුර්වාස

ශිව දෙවියන්ගේ සහ පාර්වතියගේ උග්‍ර බැතිමතෙකු ලෙස සඳහන් වන දුර්වාස ඍෂිවරයා හින්දු සාහිත්‍ය තුළ සඳහන් වන්නේ ක්ෂණිකව කෝපයට පත්වන පුද්ගලයෙකු ලෙසටයි.කෙසේවෙතත් මෙතුමා මනුෂ්‍යයන් අතරදී මෙන්ම දෙවියන් අතරදීත් දැඩි සම්භාවනාවට ලක් වනවා. ඒ ආකාරයටම ඇතැම් විට සුළු අත්වැරදීමක් නිසා පවා දෙවියන් සහ මනුෂ්‍යයා එක ලෙසටම මෙතුමාගේ ශාපයට ලක් වනවා. ඇතැම් හින්දු පුරාකතාවල ගලා යාම සිදුවන්නේ මෙතුමාගේ සාපයක් මත පදනම් කරගෙනයි.

 

5. පුලස්ත්‍යය

රාවණා රජුගේ සීයා ලෙස රාමායණයේ සඳහන් වන පුලස්ත්‍යය සෘෂිවරයා මහා බ්‍රහ්මයාගේ මනසේ නිර්මාණයක් ලෙස සඳහන් වන සෘෂිවරුන් අතර එක් අයෙක්. මහා බ්‍රහ්මයා වෙතින් විෂ්ණු පුරාණය ඉගෙනුම ලබා ඉන් අනතුරුව මෙතුමා විසින් පරාසර සෘෂිවරයාට එය ප්‍රගුණ කළ බව කියවෙනවා. එසේම තවත් ජනප්‍රවාදයකට අනුව පද්ම පුරාණයද මේ ආකාරයටම මෙතුමා විසින් ප්‍රගුණ කර තිබෙනවා.

 

6. පරාශර

හින්දු පුරාණ ග්‍රන්ථ බොහොමයක  කතුවරයා ලෙස පූජනීයත්වයෙන් සැළකෙන මෙම ඍෂිවරයා අතින් ලියැවුණු පළමු පුරාණ ග්‍රන්ථය ලෙස සැළකෙන්නේ ඉහත සඳහන් කළ විෂ්ණු පුරාණයයි. වාශිෂ්ඨ සෘෂිවරයාගේ මුණුබුරෙකු ලෙස සඳහන් වන මෙතුමා  ශක්ති මහා සෘෂිවරයාගේ පුතා බවට ද ව්‍යාස ඍෂිවරයාගේ පියා බවට ද වැඩිදුරටත් සඳහන් වනවා. කෙසේ නමුත් වර්තමානයේ දී බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ පරාශර යන නාමය බොහෝ පුරාණ ග්‍රන්ථවල රචකයන් විසින් භාවිතා කළ බවයි.

 

7. වාශිෂ්ඨ

උසස්ම සෘෂිවරු සත්දෙනා ලෙස සැළකෙන සප්ත මහා ඍෂිවරු අතරින් ජේෂ්ඨතමයා මෙන්ම මහත් සම්භාවනාවට ලක් වන ඍෂිවරයා වන්නේ මෙතුමායි. එසේම සෘග්වේදයේ හත්වැනි මණ්ඩලයේ රචකයා ලෙසත් මෙතුමා ගෞරවාදරයට ලක් වනවා. තවත් සඳහනකට අනුව වේදාන්ත ගුරුකුලයේ ආරම්භකයා වන්නේ ද මෙතුමායි. අග්නි පුරාණයේ එක් රචකයෙකු ලෙස සඳහන් වන මෙතුමා ඇතැම් මූලාශ්‍රවලට අනුව විෂ්ණු පුරාණයේ ද රචකයා වනවා. රාමායණයට අනුව රගු රාජවංශයේ උත්තම පූජකයාද රාමාගේ ගුරුවරයා වන්නේ ද මෙතුමායි.

 

අපි මේ ලිපියට ඇතුළත් කරලා තියෙන්නේ ඍෂිවරු හත්දෙනෙක් වුණාට හින්දු පුරාකතා වලට අනුව ඍෂිවරු දහස් ගණනක් ඉන්නවා. ඒ සියළු දෙනා ගැනම නොවුණත් පුළුවන් තරමක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *