“මේ ජීවන කතරේ… සැප දුක සමබර වේ…” කිව්වෙ අමරදේව මාස්ටර්. කිව්වෙ අමරදේව මාස්ටර් වුණාට, ලිව්වෙ චන්ද්‍රරත්න මානවසිංහ ශූරීන් වුණාට මේ කතාවනම් අපි කොයි කාටත් එක වගේම ගැලපෙන කතාවක්. ජීවිතේ කියන්නෙ සැප දුක කියන දෙකම සමබරව ලැබෙන තැනක්. ඉතින් සැප විතරක්ම විඳින්න, හැමදාම හැමදේම දිනන්න විතරක්ම ජීවත් වෙන්න කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවනම් ඔන්න ඒක මිරිඟුවක්. ජීවිතේ උනාම සැප වගේම දුකත් බලාපොරොත්තුවෙන්න ඕන. දිනුම වගේම පැරදුමත් බලාපොරොත්තු වෙන්න ඕන.
ඔන්න අපි අද මේ ලියන්න යන්නෙ ඒ පෙර සූදානමට උදව් වෙන කාරණා ටිකක්. ජීවිතේ දවස ගාණෙ ගලාගෙන යනකොට අපිට කොයිතරම්නම් පරාජයන් වලට මුහුණ දෙන්න වෙනවද. ඒවා ආදරේ සම්බන්ධ, රැකියාව සම්බන්ධ, යාළු මිත්‍රකම් සම්බන්ධ වගේම එදිනෙදා ජීවිතේ සම්බන්ධ ඕනම පරාජයක් වෙන්න පුළුවන්. ඒ කොයිදේ උනත් මේ කියන්න යන්නෙ ඒ පරාජයේම එල්ලිලා ඉඳලා අනික් දේවලුත් විනාස කරගන්නෙ නැතුව ජීවිතේ පරාජයන් දරාගෙන ඉදිරියට යන හැටි.
1. පරාජය පිළිගන්න
මෙන්න මේක හුඟ දෙනෙක් නොකරන දෙයක්. හැබැයි ඒ හැමෝටම පරාජයන් දරාගන්න, ජීවිතේ ඉස්සරහට යන්න අමාරු වෙන්නෙත් ඇත්තටම මෙන්න මේ දේ නොකරන නිසාම තමයි. ජීවිතේ මොන ප්‍රශ්නය ආවත්, මොනදේ නැති උනත් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන ඒ තත්ත්වය පැහැදිළිව තේරුම් ගන්න එකයි. පරාජයක් උනත් එහෙමයි. සිදුවුණ දේ මොකක්ද කියල පැහැදිළිව තේරුම් අරගෙන පැරදුණ බව, දෙයක් නැතිවුන බව පිළිගන්න ඕන. එතනින් එහාට තමයි හිත හදාගෙන ආයෙ නැගිටින එක කරන්න පුළුවන්. එහෙම නැතුව අනේ මට මෙහෙම දෙයක් සිද්ධවුණා කියල පිළිගන්න බෑ, දරාගන්න බෑ කියලා නැවතිලා හිටියොත් හැමදාම එකම තැන තමයි.
2. අලාභය සංසන්දනය කරන්න
මේක ටිකක් විහිළු කතාවක් වගේ පෙනේවි. හැබැයි මේකත් හරිම වටිනා පියවරක්. ඔන්න අපි හිතමුකෝ ඔයාට පරාජයකට මුහුණ දෙන්න සිදුවුණේ කරගෙන යන ව්‍යාපාරයේ හෝ රැකියාවේ කියල. එහෙම තැනකනම් අලාභය කොච්චරද කියල ගණන් හදලා සංසන්දනය කරන්න හරිම ලේසියි. හැබැයි ආදරේ කරන කෙනෙකුගේ අහිමිවීමක්, හීනයක් බොඳවීමක් වුණොත්? ඔව් එතකොටත් පුළුවන් අලාභය සංසන්දනය කරන්න. මෙහෙම ප්‍රශ්න ඇතිවුනහම ජීවත්වුණා ඇති වගේ හිතුණත් තමන්ගේ ජීවිතේ තරම්, ඒ ජීවිතේ ජීවත් කරනව තරම් වෙන කිසිම දෙයක් වටින්නෙ නැහැ. විශ්වාස නැත්තම් පිළිකා වාට්ටුවක අවසාන අදියරේ ජීවිතේ ගණින ලෙඩ්ඩුන්ගෙන් අහල බලන්නකෝ. ඒ නිසා මොනදේ වුණත් මම තාමත් ජීවත්වෙනවනේ, ඉදිරියටත් ජීවත්වෙන්න ඕනනේ කියන කාරණාව තදටම හිතට ගන්න.
3. ජීවිතේ වඩා ලොකු අරමුණු මතක් කරගන්න
පරාජය වෙච්ච පොඩි දේ ගැන නොහිතා ඒ දිහාම බලන් නොඉඳ තමන්ට තියෙන ලොකු ඉලක්ක වලට අවධානය යොමුකරන්න. ඒ ඉලක්කය වෙනුවෙන් අලුතෙන් මහන්සි වෙන්න පටන් ගන්න. මේ දේ නැති උනාට මට දවසක මේ හිත තියෙන ලොකුම ලොකු ඉල්ලකය දිනලා සතුටුවෙන්න පුළුවන් නේද කියලා අලුතෙන් හිතන්න පටන් ගන්න. පොඩි පොඩි පසුබෑම් අතරමඟදී සිද්ධ වුණත් යන්න තියෙන ලොකු ගමන දිහා බලලා ලේසියෙන්ම හිත හදාගන්න පුළුවන්. ඒ දිනුම එක්ක බලනකොට මේ පරාජය මොනතරම් පොඩිද කියලා හැඟීමක් හිතට කාවද්දන්න පුළුවන්.
4. ලඟම කෙනෙකුට කතාකරන්න
ලඟම හිතවත් කෙනෙකුගේ හිත සනසන වචන අහිමිවීමක්, පරාජයක් වෙලා ඉන්න වෙලාවක තරම් කවදාවත්ම වටින්නෙ නැහැ. අපි ඉස්සෙල්ලා කියපු කාරණා තුනම හිතේ දුකට, කලබලේට ඔයාට අමතක වුණත් ලඟම හිතවතෙකුට පුළුවන් ඒ දේවල් ඔයාට මතක් කරලා දෙන්න. ඔයාගේ ඕනම පරාජයකදී හයියට එයා ළඟ ඉන්න බව මතක් කරලා දෙන්න. තනිවෙලා කියන හැඟීමෙන් ඔයාව මුදවන්න.
5. වෙනසකටත් එක්ක චාරිකාවක් යන්න
ඇවිදිනව කියන්නෙ හුඟක් හිතින් වදවිඳින ප්‍රශ්නවලට ටක්කෙටම හරියන විසඳුමක්. අපි කලින් කියපු ලඟම හිතවත් කෙනෙක් එක්කම හරි කවුරුත්ම නැත්තම් තනියම හරි පොඩි චාරිකාවක් යන්න. යන එන ගමන් නිදහසේ කල්පනා කරන්න, තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වගේම ගිහින් ලස්සන දේවල් බලලා එනකොට හුඟක් දුරට හිත හදාගන්නත් පුළුවන්. අනික රට වටේ ඇවිදිනකොට මිනිස්සු ජීවත් වෙන්න එදිනෙදා කරන අරගල දැක්කම මගේ පරාජය මොකක්ද කියලා හිතෙන්නත් බැරි නැහැ. කොයිහැටි වෙතත් පරිසරයේ ඇවිදලා එනකොට හිත හුඟක් දුරට සනීප වෙනවා.
6. අලුත් තැනකින් පටන් ගන්න
පරාජයෙන් පස්සෙ අඬලා දොඩල, හිතලා බලලා, ඇවිදලා ඔක්කොම කරල ආවට පස්සෙ අලුත්ම තැනකින් ජීවිතේ පටන් ගන්න. අමතක කරන්න අමාරු පරණ මතක තියෙනවනම් හැමදාටම හරි නැත්තම් තාවකාලිකව හරි ඒවා මඟහැරලා ඉන්න පුළුවන් වෙනස්ම තැනකින් ගමන පටන් ගන්න. අලුත් රැකියාවක්, අලුත් විනෝදාංශයක් වගේ දේවල් මේකට උදව්වක් වෙන්න පුළුවන්. ලොකු ලොකු දේවල් බැරිනම් යන එන මඟ හරි ටිකක් වෙනස් කරන්න. අලුත් වෙනසට හුරුවෙන අතරේ පරණ පරාජය අමතක කරන්න ලේසියි.
7. හැකිතාක් කාර්‍යබහුල වෙන්න
ඔන්න අන්තිම වගේම හොඳම විසඳුම. පරාජය මොන විදිහක එකක් උනත්, ඒ කිව්වේ රැකියාවක් අහිමිවීමක්, ආදරේ අහිමිවීමක් වගේ කොයි විදිහක එකක් උනත් අමතක කරන්න, හිත හදාගන්න ලේසිම විදිහ තමයි කාර්‍යබහුලවීම. පුළුවන් තරම් අවධානය වෙනස් කරන්න පුළුවන් දේවල් වලට යොමුවෙන්න. හැබැයි ඉතින් රස්සාව නැති උනොත් හෝ රස්සාවක් නැති කෙනෙක් කොහොමද බිසී වෙන්නේ කියල හිතෙන්න පුළුවන්නේ. ඒකට තමයි මේ උත්තරේ. ඒ අයට පුළුවන් පොත් කියවන්න, ෆිල්ම්ස් බලන්න, මල් වවන්න වගේ ඕනම විනෝදාංශයක නිරත වෙන්න. ඇයි ජොගින් යන්න, ඇඟ ගැන හිතන්න මහන්සි වෙන්න. ඔය කොයිතරම්නම් ක්‍රමද. කොහොමහරි කමක් නෑ බිසී වෙන්නයි ඕනේ. පරාජය අමතක වෙනකන්ම කාර්යබහුල වෙන්න.
Leave a Reply