කුල භේදය ලංකාව වෙනස් කරපු හැටි ගැන අපි මීට කලින් ආටිකල් එකක් ඔබට ගෙන ආවා.
වර්තමානය වෙද්දී තරමක් අඩුවෙන් දකින්න ලැබුණට අතීත ලංකාවේ නම් කුල භේදය ඉතාම දැඩිව පැවතුණ බව නොරහසක්. ඉතින් අපි හිතුවා මේ ගැන දැනුවත් වෙන්න කැමති ඔබට අපේ රටේ පැවතුණ සහ අදටත් පවතින කුලයක් ගැන තොරතුරු රැගෙන එන්න. ඒ තමයි අතීතයේ අපේ රටේ ජීවත් වෙච්ච නීචම කුලය විදියට සලකන රොඩී කුලය. ඒ කුලය ගැන තොරතුරු ටිකක් අද අපි කතාකරමු..
1. රොඩී කුලය කියන්නේ?
රොඩී කුලය කියන්නේ ලංකාවේ කුල වලින් නීචම කුලය හැටියට හැඳින්වෙන කුලය. ඒක ඔයාල දැනටමත් දන්නවා ඇති. මේ කුලය කොච්චර පහත් විදිහට සැලකුණාද කියනවනම් ඒ කාලේ පන්සලකටවත් මේ කුලයේ අයව වද්දගත්තෙ නෑ. කොටින්ම මෙයාලව මුහුණට මුලිච්චි වුනොත් මුළු දවසම අසුබ විදියට ගෙවෙයි කියලා තමයි ඒ කාලේ කුලවත්තු හිතුවේ. මේ රොඩීනුත් වර්ග කිහිපයක් ඉන්නවා නාහල්ල හා වන්නි නමින්…
2. මරණයට වඩා දඬුවමක්?
අතීතයේ මරණ දඬුවම තරම්ම දඬුවමක් හැටියට සැලකුණාලු වැරදි කළ ගැහැණුන්ව රොඩී කුලයට පැන්නවීමේ දඬුවම. කොච්චරද කියනවනම් ඒ කාලෙ මෙම දඬුවම ලැබූ ගැහැණුන් තමා ජීවිතය පවා නැතිකරගත්තලු. ඒක ඒ තරම්ම නින්දාවක් විදියටයි ඔවුන් සලකලා තියෙන්නේ…
3. ආරම්භය
රොඩී කුලයේ ආරම්භය ගැන නම් ජනප්‍රවාද ගොඩක් තියනවා. ඒවා වලින් ජනප්‍රියම එක ගැන කෙටියෙන් කියන්නම්. පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ රජුට මුවමස් සපයන පුද්ගලයා මුවමස් හිඟ වෙලා තිබ්බ නිසා රජුට මිනී මස් ලබාදීලා තියනවා. රජතුමත් මේ ගැන නොදැන ඒ මසට ලොකු ආශාවකින් ඉඳලා තියෙන්නේ. රජුගේ දියණිය රත්නවල්ලීත් මේ දේ දැනන් හිටියත් මේක ගැන රජුව දැනුවත් කරේවත් නෑ. කොහොමහරි පසුව මේක රජතුමා දැනගන්නවා. ඉන් පස්සේ මේ හැමෝටම දඬුවම් පණවන්න රජු කටයුතු කරනවා. රත්නවල්ලී කුමරියව රොඩී කුලයේ මිනිසකු සමග බන්දවා ජීවිත කාලෙම හිඟා කකා ජීවත් වෙන්න කියලා අණ කරනවා. ඒ විදියට තමයි කලින් අපි කියපු වන්නි හෙවත් නවරත්නවල්ලි රොඩී කුලය ආරම්භ වුණාය කියල එක් ජනප්රවාදයක කියවෙන්නෙ. ඒක නාහල්ල රොඩී කුලයට වඩා තරමක් උසස් කුලයක් හැටියටයි සැලකෙන්නෙ…
4. රොඩීන් ගැන තියෙන තවත් ජනප්‍රවාද
රොඩීන් ගැන කියවෙන තවත් ජනප්‍රවාද රැසක් තියනවා. කලින් අපි කියවූ රත්නවල්ලි කුමරිය ගැන කතාව නම් පැරණි ලිඛිත මුලාශ්රවල සඳහන් වෙලා නෑ. සාලිය කුමරු හා අශෝකමාලා නම් රොඩී කෙල්ලගේ ආදර කතාව නිසා සාලිය කුමරුට රජකම පවා අහිමි වුණ බවට අපේ සමහර අතීත කතාවල සඳහන් වෙනවා. තව ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක් වුණු තෝමස් මේට්ලන්ඩ් හා රොඩී කෙල්ලක් වූ ලොවීනාගේ මවුන්ට් ලැවීනියා ආදර කතාවත් මේ කුලය හා බැඳුණු ජනප්‍රිය කතා පුවතක්. ඊට අමතරව ජෝන් ඩොයිලි ලියූ පොත්වලත් රොඩී කුලය ගැන යම්යම් තොරතුරු තියෙනවා…
5. ඇඳුම් පැළඳුම්
අතීතයේ රොඩීන් හට උඩුකය වැසෙන ලෙස ඇඳීමට හා වස්ත්‍ර ඉනෙන් පහලට ගැටගසා ඇඳීම තහනම් වී තිබූ බව පැරණි මූලාශ්‍ර වල දැක්වෙනවා. ඊට පස්සේ මිශනාරීන්ගේ පැමිණීමත් එක්ක ගොඩාක් රොඩීන් කතෝලික ආගමට යොමුව තිබෙනවා. ඒ එක්කම ඔවුන්ට වස්ත්‍ර ඇඳීමේ අයිතියත් හිමිව තිබෙනවා….
6. ප්‍රසිද්ධිය
රොඩී කුලයේ ජනතාව ගොඩාක් ප්‍රසිද්ධ වශී ගුරුකම්, විවිධ භාණ්ඩ තැනීම, හූනියම් වගේ දේවල්වලට. ඒ නිසා ඒ කාලේ මිනිස්සු රොඩීන් ඉස්සරහට මුලිච්චි වීමත් අසුබ දෙයක් විදියටයි දැක්කේ. බුදුන් කල විසූ ආනන්ද හිමි දිනක් පිඬු සිඟා වඩිද්දී රොඩී කාන්තාවක් විසින් ජලය ලබා දුන් බවත්, එම ජලය පානය කළාට පස්සේ උන්වහන්සේ ඇයට වශී වූ බවත්, එය නැති කිරීමට බුදුන් වහන්සේ විසින් ජලනන්දන නම් පිරිත දෙසා වදාළ බවත් ජනප්රවාදයේ සඳහන්ව තියෙනවා.
7. වර්තමානයේත් රොඩීන් ජීවත් වෙනවාද?
මේ කුලයේ උදවිය වර්තමානයෙත් ජීවත්වෙනවා. කලින් කිව්වා වගේ මොවුන් රැකියා රැසක නිරත වෙනවා. ඉංග්‍රීසින්ට පිංසිද්ද වෙන්න මොවුන්ටත් දැන් ඕන රැකියාවක නිරත වෙන්න පුළුවන් නිදහස ලැබී තිබෙනවා. ඊට පස්සේ 1978 විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක ඔවුන්ට අයෝජන ප්‍රවර්ධන කලාපයන්හි රැකියා ගොඩාක් හිමිවුණා. දැන් ඔවුනුත් සාමාන්‍ය මිනිසුන් වගේ අපි අතරේ ජීවත්වෙනවා ඇති…
බුදුන් වහන්සේ කියන විදියට අපි බ්‍රාහ්මණයෙක් වාසලයෙක් වෙන්නේ අපි ඉපදුණ තැනින් නෙමෙයි. අපේ ක්‍රියාවෙන්. අවාසනාවකට මේ කුල භේදය පෙර තරම්ම නොවුණත් අදටත් යම් පමණකින් හරි අපේ රටේ ජනතාව අතර දකින්න තියනවා. එය අනාගතයේදී නැත්තටම නැති වේවි කියලා අපි බලාපොරොත්තු තබාගනිමු.
Leave a Reply