මහනුවර යුගයේ පඬිවරු කියපු ගමන් අපිට මතක් වෙන්නේ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හාමුදුරුවන්ව. ඇත්තටම කිව්වොත් උන්වහන්සේ නැත්නම් අද අපේ රට මොන වගේ තත්ත්වෙකට පත් වෙලා තියෙයිද කියන එක ගැනත් අපිට හිතාගන්න අමාරුයි. උන්වහන්සේ අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් ලංකාවේ බුද්ධ ශාසනය වගේම අධ්‍යාපනය දියුණු කරන්න සුවිශාල කාර්යභාරයක් ඉෂ්ඨ කළා. අපි අද කතා කරන්න යන්නේ උන්වහන්සේගේ කාර්යභාරයට දායකවෙමින් මහනුවර යුගය බබළවපු පඬිවරු කිහිප දෙනෙක් පිළිබඳව.
1. සිටිනාමලුවේ ධම්මජෝති හිමි
සරණංකර හිමියන්ගේ සාමනේර අවධියේ පටන් උන්වහන්සේගේ සෙවනැල්ලක් ලෙස සිටිමින් බුද්ධශාසනය යළි බැබළවීමේ කාර්යභාරයට දායක වූ හිමිනමක් විදිහට ධම්මජෝති හිමියන් හඳුන්වන්න පුළුවන්. උපාලි හිමියන් අතින් උපසම්පදාව ලබා ගැනීමෙන් අනතුරුව පහත රට මාතර ප්‍රදේශයට වැඩම කළ උන්වහන්සේ පහත රට ආගමික සහ සමාජයීය කටයුතු වර්ධනය කිරීමට කටයුතු කළා. බාලාවතාර සංග්‍රහය නම පාලි ව්‍යාකරණ කෘතිය රචනා කිරීම උන්වහන්සේ අතින් සිදුවුණු ප්‍රධානතම ශාස්ත්‍රීය කටයුත්ත විදිහට හඳුන්වන්න පුළුවන්.
2. ඉලිපැන්ගමුවේ හිමි
සරණංකර හිමියන් විසින් ආරම්භ කරපු සිල්වත් සමාගමේ මුල්කාලීන සාමාජිකයෙකු වූ ඉලිපැන්ගමුවේ හිමියන් සරණංකර සාමණේරයන් වෙතින් පාලි ව්‍යාකරණ ආදිය ඉගෙනුම ලබා තවත් ශිෂ්‍යයන් ගණනාවකට තමන් ලබපු දැනුම බෙදා දීමට කටයුතු කළා. පසු කලෙක අනුරාධපුර අටමස්ථානය ප්‍රදේශයට වැඩම කොට එහි දියුණුවට කටයුතු කරමින් සිටියදී උන්වහන්සේ රෝගාතුරව අපවත් වෙලා තියෙනවා.
3. කදිරාගොඩ හිමි
සිල්වත් සමාගමේ තවත් ප්‍රමුඛතම හිමිනමක් වූ උන්වහන්සේ සරණංකර හිමියන් වෙතින් ධර්ම ශාස්ත්‍රය හදාරා තිබෙනවා. ඉන්පසුව රඹුකන දියසුන්නත විහාරය වෙත වැඩම කරලා එම විහාරය වැඩිදියුණු කිරීමටත්, ශිෂ්‍ය පරපුරක් බිහි කිරීමටත් මුන් වහන්සේ මුල පුරලා තියෙනවා. බාලාවතාර කෘතියට ලියැවිලා තිබෙන සුප්‍රකට සන්නයක් වන ඔකඳපොල සන්නය ලියවෙන්නේ කදිරාගොඩ හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය වුණු දියසුන්නත ධම්මජෝති හිමියන් අතින්.
4. තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමි
කලින් සඳහන් කරපු තුන් නමම සරණංකර හිමියන්ගේ සෘජු ශිෂ්‍යවරයන් නම් නෙමෙයි. උන්වහන්සේගේ පළමු ශිෂ්‍යයා විදිහට තිබ්බොටුවාවේ හිමියන්ව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම එකල විසූ භික්ෂූන් වහන්සේලා අතරින් සංඝරාජ හිමියන්ට පසුව පාණ්ඩිත්‍යයෙන් දෙවැනි තැනට පත් වූයේ උන්වහන්සේ බව සඳහන් වෙනවා. මහනුවර යුගයට අදාළ වන චූලවංශ කොටස, ශ්‍රී සද්ධර්මාවවාද සංග්‍රහය, සතිපට්ඨාන සූත්‍ර සිංහල සන්නය, සද්ධම්මෝපායනය සිංහල සන්නය ආදී කෘති ගණනාවක් උන්වහන්සේ විසින් රචනා කර තිබෙනවා. මීට අමතරව රට පුරා විහිදී ගිය විහාරස්ථාන ගණනාවක් ප්‍රතිසංස්කරණය කිරීමටත් මුන්වහන්සේ මූලිකත්වය දී තිබෙනවා. මේ නිසාම උන්වහන්සේට උප සංඝරාජ පදවිය පිරිනැමීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කටයුතු කළ බව කියැවෙනවා.
5. දරමිටිපොල ධම්මරක්ඛිත හිමි
සරණංකර හාමුදුරුවන්ගේ දෙවැනි ශිෂ්‍යයාව වුණු මුන්වහන්සේ සැලකෙන්නේ ඒ අවධියේ විසූ විශිෂ්ඨතම පාලි ගුරුවරයා විදිහට. උපසම්පදාව ලබාගැනීම සඳහා සියම් දේශය වෙත යැවෙන සංදේශ ගණනාවක් රචනා වන්නේ මුන් වහන්සේගේ මූලිකත්වයෙන්. පන්සිය පනස් ජාතක පොතට ඇතුළත් නොවූ ජාතක කීපයක් එකතු කොට සිංහලයට පරිවර්තනය කිරීමත් උන්වහන්සේගේ අතින් වූ තවත් විශේෂ සේවයක්.
6. ගිනිගත්පිටියේ සංඝරක්ඛිත හිමි
උපසම්පදාව ලබා ගැනීමෙන් අනතුරුව සත්කෝරලයේ නායක පදවියට පත් කෙරුණු උන්වහන්සේ එම ප්‍රදේශයේ පිහිටා තිබෙන විහාරස්ථාන ගණනාවක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළා. දළදා අෂ්ඨකය, මුනිරාජ අෂ්ඨකය, ශ්‍රී පාද ලාංඡන අෂ්ඨකය ආදී අෂ්ඨක ග්‍රන්ථත් තෙරුවන් මාලාව වැනි එළුසිලෝ රචනාත් මුන්වහන්සේ අතින් ලියැවුණු ග්‍රන්ථ විදිහට හඳුන්වන්න පුළුවන්.
7. රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත හිමි
සරණංකර හිමියන්ගේ සිව්වන ශිෂ්‍යයා විදිහට සැලකෙන රඹුක්වැල්ලේ හිමියන්ට පසුකලෙක අනුනායක පදවියක් පවා හිමි වුණා. සුප්‍රකට ධර්ම කථිකයෙක් විදිහට ජනතාව අතර මහත් ජනප්‍රසාදයක් ඉසිලූ උන්වහන්සේ සුවිශාල ගෝල පරම්පරාවක් බිහි කිරීමට දායකත්වය දැක්වූවා. වස් කවි කීමට දක්ෂයෙකු ලෙස අද දක්වාම ජනප්‍රවාදයේ එන කුංකුණාවේ සුමංගල හිමියන් මුන්වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස සැලකෙනවා.
මහනුවර යුගයේ පඬිවරු පිළිබඳව එක ලිපියකින් විතරක් කරුණු ගෙන එන්න අපහසුයි. මේ ලිපියට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ අනෙකුත් පඬිවරු පිළිබඳවත් තොරතුරු ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply