සප්ත මහද්වීප ගැන දැනගමු

 

මූදු පහක්, මහද්වීප 7ක් ලෝකයට අයිතියි. ඒක අස්සේ මිනිස්සු බිලියන 8ක් විතර යහතින් ඉන්නවා. මේ ලෝකය ගැන වුණත් හැම දෙයක්ම අපිට දැනගන්න කවදාවත් බැහැ. ඒත් මහද්වීප ගැන බොහොම සරල කරුණු ටිකක් හරි දැනගෙන ඉන්න එක වටිනවා. මොකද දරුවෙක් යමක් ඇහුවත් අපිට ඒ ගැන කියන්න සරල අදහසක් තියෙන එක වටිනවා.

 

1. ආසියාව

ආසියාව කියන්නේ අපිත් අයිති වෙන ලෝකේ විශාලතම මහද්වීපය. ඒ වගේම ආසියානු මහද්වීපයේ ලෝක ජනගහණයෙන් බාගෙකට වඩා මිනිස්සු ජීවත් වෙනවා. ගණනින් මිනිස්සු බිලියන 4.6ක් ආසියානු මහද්වීපයේ ඉන්නවා. ආසියානු නගර වලත් මහා විශාල සෙනගක් ඉන්නවා. ඒ අතර මුම්බායි, බැංකොක්, මැනිලා, තෝකියෝ, ෂැන්හයි, ක්වාලාලම්පූර්, ජකර්තා වගේ නගර ජනප්‍රියයි. ආසියාවේ ඉන්න හොඳ සල්ලිකාරයෝ තමයි මැදපෙරදිග ඉන්න තෙල් රටවල් ටික. ආසියානු මහද්වීපයේ විතරක් භාෂා 2300ක් කතා බහ කෙරෙනවා. එයින් වැඩිමනක්ම පාවිච්චි වෙන බස තමයි චීන බස. චීන බස බිලියන 1.4ක් පාවිච්චි කරනවා.

 

2. ඔස්ට්‍රේලියාව, ඕෂනියාව

ඕෂනියා කලාපයට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වනුවාටු සහ ඒ කලාපයේ පැසිපික් සාගරයේ තියෙන කුඩා දිවයින් කිහිපයක් අයිති වෙනවා. ඔස්ට්‍රේලියානු සුවිශාල සමතලා බිම මහද්වීපයක් ලෙසට හැඳින්වෙනවා. ඕෂනියා කලාපයේ සුපිරිම නගර තමයි සිඩ්නි, මෙල්බර්න්, පර්ත් සහ බ්‍රිස්බේන්. ඒ නගර 4ම තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ. සුවිශාල වපසරියක් තිබුණත් මුළුමහත් ඕෂනියාවේම ජීවත් වෙන්නේ ලංකාව වගේ දෙගුණයක් විතර වෙන මිලියන 43ක මිනිස්සු ටිකක් විතරයි.

 

3. අප්‍රිකාව

අප්‍රිකාව මිනිසාගේ නිජබිම විදිහට සැලකෙනවා. දැනට සොයාගෙන තියෙන පොසිලමය සාධක අනුව මිනිසා කියන්නේ අප්‍රිකාවෙන් ආරම්භ වෙලා ලෝකය පුරා විහිදුන ජීවියෙක්. අප්‍රිකානු මහාද්වීපයට රටවල් 54ක් අයිතියි. ඒ රටවල් 54 මිනිස්සු බිලියන 1.3ක් ඉන්නවා. නයිජීරියාවේ ලාගොස්, කොන්ගෝවේ කින්ෂාරා, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්, ඊජිප්තුවේ කයිරෝ අප්‍රිකාවේ ජනප්‍රිය නගර කීපයක්. අප්‍රිකාව ලොව තිබෙන දුප්පත්ම මිනිස්සු වෙසෙන කලාපයක්. 1500-1900 යුගයේදි අප්‍රිකානු බිම් වලට කඩා වැදුන යුරෝපීයයන් අප්‍රිකාවේ තිබෙන සම්පත් විතරක් නෙමෙයි මිනිසුනුත් වහලුන් වශයෙන් ඒ රටවලට රැගෙන ගියා. ලෝකයේ දිගම ගඟ වෙන නයිල් නදිය රටවල් කිහිපයකටම ජීවය සපයමින් අප්‍රිකාව හරහා ගලාගෙන යනවා.

 

4. උතුරු ඇමරිකාව

උතුරු ඇමරිකාව කිව්වම අපිට සුටුස් ගාල මතක් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඒත් උතුරු ඇමරිකාවට රටවල් 23ක් අයිති වෙනවා. ඒ අතර කැනඩාව, මෙක්සිකෝව, බටහිර ඉන්දීය කොදෙව් සහ තවත් රටවල් අයිතියි. ලෝකයේ තිබෙන සුවිශාලම දූපත වෙන ග්‍රීන්ලන්තය භූගෝලීයව අයිති වෙන්නේ උතුරු ඇමරිකාවට. ඒත් ඒකේ හිමිකාරීත්වය තියෙන්නේ යුරෝපයේ ඩෙන්මාර්කයට. මිලියන 580ක් ජනතාව ඉන්න උතුරු ඇමරිකාවේ 80%ක් ජනතාව ක්‍රිස්තියානි අය. ඒත් දැන් නම් ඇත්තටම ආගම අදහන අය සීග්‍රයෙන් අඩුවෙනවා. උතුරු ඇමරිකා කලාපයේ වැඩි පිරිසක් ඉංග්‍රීසි කතා කරනවා. නැතිනම් දෙවන බස විදිහට හෝ ඔවුන් ඉංග්‍රීසි බස පාවිච්චි කරනවා.

 

5. යුරෝපය

යුරෝපය කියන්නේ සංවර්ධිතම ලෝක කලාපයක්. යුරෝපයේ තියෙනව ලෝකේ පොඩිම රටවල් දෙකක්. එකක් වතිකානුව අනෙක මොනැකෝව. වතිකානුව ඉතාලියේ රෝමය තුළ තියෙනවා මොනැකෝව ප්‍රංශය තුළ තියෙනවා. යුරෝපයේ රටවල් 44ක් තියෙනවා. යුරෝපීයයන් ලොවට වැඩිම බලපෑමක් කළ ජාතියක්. ඔවුන් 1500න් පසුව සිදුකළ යටත්විජිතකරණ වැඩපිළිවෙළ නිසා මුලු ලෝකයටම යුරෝපීය සංස්කෘතික බලපෑම් දැඩිව එල්ල වුණා. අපිට, ඉන්දියාවට පවා යුරෝපීය ගතිසිරිත් ආදිය ඒ කාලේ එන්නට ඒ යටත්විජිතකරණය හේතු වුණා. යුරෝපා කලාපය අනෙක් කලාප වලට වඩා දේශපාලනිකව එකමුතුයි. එංගලන්තය යුරෝපා සංගමයෙන් අයින් වුණත් තවමත් යුරෝපා සංගමය ප්‍රබල සංවිධානයක්.

 

6. දකුණු ඇමරිකාව 

දිගම කඳුවැටිය වන අන්දීස් කඳුවැටිය තියෙන්නේ දකුණු ඇමරිකාවේ. ඒ වගේම උසම දිය ඇල්ල ඒන්ජල් තියෙන්නෙත් දකුණු ඇමරිකාවේ. චිලීයේ ඇටකාමා කාන්තාරය දකුණු ඇමරිකාවේ වියළිම බිම වෙනවා. මිලියන 430ක ජනතාවක් දකුණු ඇමරිකාවේ ජීවත් වෙනවා. දකුණු අමරිකාව තුළ ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරය පිහිටලා තියෙනවා. දකුණු ඇමරිකානු රටවල් අපිට නම් වඩාත් සමීප වෙන්නේ පාපන්දු ක්‍රීඩාව නිසා. ආජන්ටිනා, බ්‍රසීල තරු අප රටේත් පාපන්දු රසිකයින් අතර තවමත් ජනප්‍රියයි.

 

7. ඇන්ටාර්ක්ටිකාව

හැම මහද්වීපයකම මිනිස්සු ජීවත් වුණාට ඇන්ටාර්ක්ටිකාවේ ඉපදී එහේම හැදී වැඩෙන ජනතාවක් නැහැ. උතුරු ඇමරිකාවේ, නවසීලන්තය වැනි පසුව ඇතිවුන රටවල පවා ස්වදේශිකයින් කියල ජාතියක් උන්නා. ඒත් දැඩි ශීත කාලගුණය යටතේ බුරුතු පිටින් පෙන්ගුවින්ලා දකින්නට හිටියට මිනිස්සු නම් ඇන්ටාර්ක්ටිකා තමුන්ගේ වාසභූමියක් විදිහට තෝරාගත්තේ නැහැ. ඇන්ටාර්ක්ටිකාවෙන් සියයට අනූවක් පමණ අයිස් වලින් වැහිල තියෙනවා. මේ අයිස් වල මුලු ලෝකයේම පිරිසිදු ජලයෙන් 60%කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. දේශගුණික විපර්යාස නිසා ඇන්ටාර්ක්ටික් අයිස් දියවෙන්න පටන් අරං තියෙනවා. එහි පිහිටුවා ඇති පර්යේෂණ මධ්‍යස්ථාන වල රටවල් කිහිපයකම පර්යේෂකයින් දිගුකාලීන පර්යේෂණ කටයුතු කරනවා. 

 

මහද්වීප සහ ජනතාව ගැන ඉගෙනගන්න භූගෝල විද්‍යාව කියන්නේ විද්‍යාවන් අතර පැරණි එකක්. එයින් ලෝකයේ යථා ස්වරූපය ගැන සරු කාරණා ටිකක් ලෝකයට බෙදා දෙනවා. ඉතින් දරුවන්ට මේ මහද්වීප රටවල්, මුහුදු ගැන ආකර්ෂණීය පිංතූර එක්ක විස්තර තිබෙන ඉංග්‍රීසි පොත පත තිබෙනවා. ඒ වගේම දැන් වීඩියෝ තියෙනවා. ඒවා හරහා පාසැල් පොතෙන් ලැබෙන දැනුමට වඩා වැඩි දැනුමක් දරුවන්ට දෙන්න පුළුවන් නම් ඒකත් වටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *